වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පැතුම සමාජ මෙහෙවරයි

මගේ පැතුම සමාජ මෙහෙවරයි

කැළුම් දහම්ප්‍රිය මාලගේ

පාසල් වියේ සිටම පුංචි තිරයේ නිවේදකයකු ලෙස කටයුතු කරමින් සිය අනාගත අඩිතාලම දමා ගත් ඔහු 2013, 2014 වසර වලදී විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳම ප්‍රවෘත්තිය ස්වර්ණවාහිනිය වෙනුවෙන් නිර්මාණය කරමින් පිට පිට රාජ්‍ය සම්මාන ලැබීමට සුදුසුකම් ලැබීය.

ප්‍රේක්ෂක හදවත් හඬවමින් ස්වර්ණාවාහිනී පුංචි තිරයේ දිග හැරුණු දෙපා වාරු නැති දරුවෝ වෙනුවෙන් කළ ප්‍රවෘත්තිය ප්‍රේක්ෂක හදවත්වල සදා නොමැකෙන ප්‍රවෘත්තියක් වීමට තරම් හැඟුම්බර විය. කලාත්මක විය.

එවන් වූ කලා කුසලතාවයන් මුසු වූ දක්ෂතා රැසකින් හෙබි ශිශි කැලුම් දහම්ප්‍රිය මාලගේ සමඟ කළ පිළිසඳරකි මේ.

ඔබගේ ජීවන ගමන පාසල් වියෙන් පටන් ගත්තොත්?

මගේ මුල්ම අධ්‍යාපනය කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව කොළඹ අශෝක විදුහලට ඇතුළත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. එහිදී විවිධ සාහිත්‍ය සංගම්වලට බැඳී විවිධ නිලතල හොබවමින් විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයකු ලෙස කටයුතු කළා. ඒ අතර විවාද කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් එහි නායකයා ලෙසත් කටයුතු කරමින් විද්‍යාලයට විශාල ගෞරවයක් ලබා දුන්නා. ඒ අතරේදී රූපවාහිනියේ මුතුහර ළමා සමාජයේ නිවේදකයෙකු ලෙස ද කටයුතු කළා.

පාසල් ජීවිතයෙන් පසු අවධිය සිහිපත් කළොත්?

ටී. එන්. එල්. රූපවාහිනියේ ඉසුර ගුවන් විදුලියේ ආරම්භක නිවේදකයා ලෙස මම වෘත්තීය ජීවිතය 1998. 5. 28 දින ආරම්භ කළා.

එහිදී බෞද්ධ වැඩ සටහන් ඇතුළු විවිධ වැඩ සටහන් වගේම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ද මෙහෙය වූවා.

ඊට පස්සේ ටී. එන්. එල්. ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වී නිවේදකයකු ලෙසත් වසර පහක පමණ කාලයක් සහකාර ප්‍රවෘත්ති සංස්කාරක ලෙසත් කටයුතු කළා.

මගේ ජීවිතයේ විශේෂම කඩඉම ටී. එන්. එල්. නාළිකාවේ ඒ. එස්. පී පැදුරු පාටිය. ඒ වෙනුවෙන් පැවැත් වූ වැඩ සටහන් දෙසීයකට අධික ප්‍රමාණයකට වසර පහක් පුරා නිවේදකයෙක් ලෙස දායකත්වය ලබා දීමට හැකියාව ලැබීම තමයි මා කිව්වේ මගේ ජීවිතයේ කඩඉමක් කියලා.

එහිදී මට විවිධ කලාකරුවන් මෙන්ම රසවතුන් සමඟ ඔබ මොබ ගැවෙසෙමින් මගේ මාධ්‍ය ජීවිතයට යම් ජීවයක් ලබා ගත්තා කිව්වොත් නිවැරැදියි.

ඔබ ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ?

2010 වසරේදී මම ස්වර්ණවාහිනියේ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වුණා. එයින් මගේ දක්ෂතා ඉහළ නංවා ගන්න විශාල පිටුවහලක් වුණා.

මම නිවේදකයකු ලෙස විවිධ අවස්ථාවල සම්මානයට හා ඇගැයීමට පාත්‍ර වුණත් ප්‍රවෘත්ති අංශයක් නියෝජනය කරමින් මට සම්මාන ලැබෙන්න මූලිකත්වය සපයලා දුන්නේ ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති අංශය.

ඔබ ලබා ගත් සම්මාන ගැන කතා කළොත්?

මට මුල්ම සම්මානය ලැබෙන්නේ ඒ. එස්. පී. පැදුරු පාටිය අඛණ්ඩව වසර පහක් පුරා නිවේදකයකු ලෙස මෙහෙය වීම. ඒ වෙනුවෙන් මට 'පොදු ජන සම්මානය' ලැබුණා. අනතුරුව මට 'හෙළ විරු උත්තමාචාර' සම්මානය ලැබුණේ 2009 වසරේදී. බම්බලපිටිය මුහුදු තීරයේදී පුද්ගලයෙකුට පොලුවලින් පහර දීම රහසිගතව පටිගත කර කාලයේ වැලිතලාවෙන් වැසී යාමට බොහෝ දුරට ඉඩ තිබූ මිනීමැරුමක් රටට හෙළි කිරීම නිසයි 2008 හා 2010 වසරවලදී ජනසංනිවේදකයින්ගේ සංගමයේ සම්මාන උළෙලේදී මැකෝ සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ වගේම 2013 වසරේදී රාජ්‍ය සම්මාන උළෙලේදී කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ ප්‍රවෘත්තිය වෙනුවෙන් හා 2014 වසරේදී පොළොන්නරුවේ දෙපා වාරු නැති දරුවෙක් වෙනුවෙන් කළ ප්‍රවෘත්තිය වෙනුවෙන් මට පිට පිට දෙවන වතාවටත් හොඳම ප්‍රවෘත්තියට හිමි රාජ්‍ය සම්මානය හිමි වුණා.

ඔබ ඔබේ ජීවන ගමන දෙස ආපසු හැරී බැලුවොත් සතුටු වෙනවාද?

ඇත්තටම ඔව්. විශාල සතුටක් ලබනවා. වසර 17 ක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ රැඳෙමින් වරෙක නිවේදකයකු ලෙස තවත් පැත්තකින් කැමරා ශිල්පියෙකු, ඒ වගේම ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සම්මාන පිට සම්මාන ලබද්දී දැනෙන සතුට මේ යැයි කියන්න බැහැ.

ඔබ මෙසේ සම්මානයට පාත්‍ර වෙද්දී ඔබට මොකද හිතෙන්නේ. ඒ පසුපස යම් සුවිශේෂී පුද්ගලයෙක් සිටිනවාද?

ඇත්තටම එක් කෙනෙක් නොවෙයි. පුද්ගල සමාගමක් ඉන්නවා. ප්‍රථමයෙන් මම ඊ. බී. සී. මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ ස්වර්ණවාහිනී නාළිකා ප්‍රධානි බුද්ධික කුලසේකර, ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති අංශ ප්‍රධානි චමින්ද කරුණාරත්න, නියෝජ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ෂර්ලි උපුල් කුමාර වගේම ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය ඇතුළු ලයිව් ඇට් එයිට් කණ්ඩායම.

ඒ වගේම මට සෑම මොහොතකම දිරියක්, ශක්තියක් අත්වැලක් බඳු වූ මගේ දයාබර බිරිය දිනූෂා කරුණාරත්න හා මගෙ දුව දිගිනි තත්සරණි මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මාධ්‍යයේ වගකීම නොපිරිහෙලා ඉටු කරමින්, එය සමාජයට යහපතක් වන ලෙස ඉදිරිපත් කරමින් ලයිට් ඇට් එයිට් කණ්ඩායමක් ලෙස රැඳී සිට සමාජයට, රටට උපරිම අයුරින් සේවය කිරීම මගේ ඒකායන බලාපොරොත්තුවයි.