වර්ෂ 2015 ක්වූ ජූලි 16 වැනිදා බ්‍රහස්පතින්දා




මම කඩේ ගියත් මට කඩේ යන්න කවුරුවත් නැහැ

මම කඩේ ගියත් මට කඩේ යන්න කවුරුවත් නැහැ

මරණය නොමිලේ අධ්‍යක්ෂ සුසංග කහඳවලආරච්චි

සුසංග කහඳවල ආරච්චිගේ කුලුඳුල් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය මෙම මස 18 සහ 19 යන දෙදින බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හි වේදිකා ගත වේ. එය නම් කොට ඇත්තේ මරණය නොමිලේ නමිනි. වසර 25 කට ආසන්න කාලයක් නළුවකු මෙන්ම වේදිකා පරිපාලකවරයකු ද වශයෙන් කටයුතු කළ හෙතෙම මරණය නොමිලේ නිර්මාණය කරනුයේ මහේෂ් එල් කුන්චිවාර්ගේ රිෆ්ලෙක්ෂන් යන වේදිකා නිර්මාණය ඇසුරෙනි. එය සත්‍යපාල ගල්කැටිය විසින් පරිවර්ථනය කරන ලදී. මරණය නොමිලේ ගැන කතා කිරීමට සුසංග මෙලෙස සරසවිය හා එක් වුණි.

මරණය නොමිලයේ? මොකක්ද මේ?

මේක ශෝකාන්ත ප්‍රහසනයක්. නම දුටුව ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතාම බරපතල ගැඹුරු නාට්‍යයක් කියලා. එහෙම නෙවෙයි. මරණය නොමිලයේ ප්‍රේක්ෂක කොයි කාටත් විවෘතයි.

මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්?

මෙය ගමක සිට නගරයට පැමිණෙන තරුණයෙකුට මුහුණ දෙන්න සිදුවන අමුතුම අත්දැකීම් රැසක එකතුවක්. අවසානයේ ඔහු නගරයේ ප්‍රවාහයන්ට වෙනස් නොවී දිවි නසා ගන්නවා.

මරණය නොමිලේ පරිවර්ථනයක්. ඇයි ඔබේ පළමු නාට්‍ය පරිවර්ථනයක් වුණේ?

මෙහි කතාව මට පරිවර්ථනය කරලා දුන්නේ සත්‍යපාල ගල්කැටිය. ඒ පිටපත කියවද්දී මට හිතුණා ඒක මේ සමාජයට වැදගත් වන පොදු මාතෘකාවක් කියලා. එහි රිද්මයටත් මම ප්‍රිය කළා. ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන්ට හදවතට කතා කරාවි මේ නාට්‍ය තුළින්. මට ඒක විශ්වාසයි. ඒ බලාපොරොත්තු ඇතුවයි මම මේ නාට්‍ය කරන්න තීරණය කළේ.

ඔබ වේදිකාවට පිවිසෙන්නේ අනූ එක වර්ෂයේ. එතැන් පටන් දශක දෙකකුත් ඉක්මවලයි ඔබ වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නේ?

මෙච්චර කල් මම කළේ අත්දැකීම් එකතු කරගත්තු එක. වේදිකාව තුළදී ඉගෙන ගත යුතු දේ බොහොමයි. මම මේ කාලය තුළ සෑහෙන්න දුරට වේදිකාව අධ්‍යයනය කළා. නාට්‍යයක් කරන එක ලෙහෙසි නැහැ කියලා දැනගත්තේ ඒ අධ්‍යයනය තුළදීයි. ඉතින් මට නියමිත කාලය එනතුරුම ඉවසීමෙන් හිටියා. ඒ හින්දයි මෙතරම් පමා වුණේ.

ඔබේ සමකාලීනයෝ බහුතරයක් වේදිකාව අතහැර සිනමාවට, ටෙලි නාට්‍යවලට ගිහිල්ලා. නමුත් තවමත් ඔබ එතනමයි?

වේදිකාව තුළින් ලැබෙන වින්දනය අපමණයි. නාට්‍යයක් ඉවර වී වේදිකාව අතුගාන්නට පවා මම ආසයි. ඒ තෘප්තිය මට වෙනත් මාධ්‍යයක් තුළින් ලැබෙන්නේ නැහැ.

ඔබ ටෙලිවලට අකැමැතිද?

නැහැ එහෙම නෙවෙයි, මට ටෙලි අතහැරෙන්නේ වේදිකාව හින්දා. අනික දැන් ඉන්න ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු වැඩි දෙනෙක් මාව හඳුනන්නේ නැහැනෙ. ටෙලි නළුවොත් ඕනෑ තරම් ඉන්නවා. මම ටෙලිවල නැත්තේ ඒකයි.

ටෙලිවල නොසිටීම ඔබට යම් යම් පැතිවලින් අවාසියක් නොවේද?

ඔව්. ඒත් මම වේදිකාවේ ඉන්නවා. මේ වෙලාවේ මං කියන්න ඕනෑ මම ජනප්‍රිය ධාරාවේ නළුවෙක් නොවෙයි කියන එක.

මේ වේදිකා නාට්‍ය තුළත් ඔබ මුදල් සෙවීමේ පරමාර්යක් නැතිද?

කොහෙත්ම නැහැ. මෙවැනි නාට්‍යයක් තුළින් සල්ලි හොයන්න අමාරුයි. ඒක මං දැන දැනමයි නාට්‍ය නිර්මාණය කළේ. මට ඕනෑ උසස් නාට්‍යයක් ප්‍රේක්ෂකයින්ට දෙන්නයි මං එහෙම කිව්වට මේක පට්ට සුපිරි නාට්‍යයක් නොවෙයි, හොඳ නාට්‍යයක්.

මරණය නොමිලයේ හාස්‍යෝත්පාදක නාට්‍යයක් වෙලත් ඇයි මෙයින් මුදල් හොයන්න බැරි?

මේකෙ දෙපිට කැපෙන වචන නැහැ. සරල හුදු විනෝදයක් දෙන නාට්‍යයකුත් නෙවෙයි. ඒ හින්දා මම සල්ලි ඉලක්ක කළේ නැහැ.

මෙහි රඟපාන නළු නිළියන් මතක් කළොත්?

වසන්ත විට්ටච්චි, ඕෂධී ගුණසේකර, කුමුදු කුමාරසිංහ සහ මම.

මරණය නොමිලයේ ප්‍රධාන නළුවා ඔබ?

අනිත් අයත් ප්‍රධානයි. නමුත් අර තරුණයාගේ චරිිතය කරන්නේ මම.

වෙනත් නිර්මාණ මෙන් නොව වේදිකා නිර්මාණයක ප්‍රධාන චරිතයක් මවමින් අධ්‍යක්ෂණය කරන එක අසීරු කාර්යයක්?

ඇත්ත්ට ඒක අභියෝගයක්. මම කළේ මං මාවම නරඹමින් රඟපාන එක. එතකොට වැඩේ ලෙහෙසියි. නැතිනම් මේ නිර්මාණය අසාර්ථක වන්නට ඉඩ තිබුණා.

වේදිකා නාට්‍යකරුවකු වීම ගැන සතුටුද?

ඔය ගැන මම පොදුවේ කතා කරන්න කැමැතියි. මෙහෙමයි සමාජයට වෛද්‍යවරු ඕනෑ, ගුරුවරු ඕනෑ, ඉංජිනේරුවරු ඕනෑ. නමුත් කලාකරුවා ඕනෑ කියන ගැටළුව එනවා. ඒක අපි අපේම හෘද සාක්ෂියෙන් අහන්න ඕනෑ. වෙලාවකට හිතෙනවා ඇයි අපි කලාකාරයෝ වුණේ කියල.

කලකිරෙනවාද?

නැත්තෙත් නැහැ. මෙරටෙහි අඩුම සැලකුම් ලබන්නේ වේදිකා නාට්‍යකරුවෝ. ඒ අය ගැන කවුරුවත් හොයන්නේ නැහැ. ඒත් අපි නාට්‍ය කරනවා. වැඩේ අත හරින්නේ නැහැ. වෙනත් රටවල කලාකරුවන්ට බයයි දේශපාලඥයො පවා. ඒත් අපේ රටේ ඒකේ අනික් පැත්ත.

කාලයක් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ හිටියට ඔබ මේ වනතෙක් නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයෙක් නෙවෙයි?

ඒවට ඉතින් වෙන වෙන කට්ටිය ඉන්නවනෙ. මට කාගෙන්වත් ආරාධනා ලැබිලා නැහැ ඒ සඳහා. මම පස්සෙන් යන්නෙත් නැහැ.

මරණය නොමිලයේ රට වටා ගෙනියන්න ඔබ සූදානමින් සිටිනවාද?

තවම ඒ ගැන තීරණයක් නැහැ. පළමු දර්ශන වාරයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් සමඟ එවැනි බලාපොරොත්තුවක් කරා මම යන්න හිතාගෙන ඉන්නවා.

ඔබ කලින් කිව්වා නාට්‍යයක් කරන එක ලෙහෙසි නැහැ කියලා. මරණය නොමිලයේ වේදිකා ගත කරද්දී ඔබ මුහුණ පෑ අභියෝගයන් මොනවාද?

එකක් නෙවෙයි දෙක තුනක්ම අභියෝග ආවා. මම ඒ ගැන මෙහෙම කියන්නම්. මං වෙනත් අයගේ නාට්‍යවල රඟපාද්දී ඒවාහි පෝස්ටර් ගැහැව්වා, තේ හැදුවා, කඩේ ගියා, පසුතල නිර්මාණ කළා. නමුත් මම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ආවම මට ඒ වැඩක් කරගන්න කෙනෙක් නැහැ. අන්තිමේ මමම තේ හදන්න තීරණය කළා. මමම පොස්ටර් ගහනවා. ඔන්න බලන්න වේදිකා නාට්‍යක් කරන්න ඇවිල්ලා මට වෙච්ච දේ.