වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




News

දමිළ තරුණයකුගේ දමිළ භාෂිත චිත්‍රපටයක්

ඉතා දිගු කලකට පසු ශ්‍රී ලාංකේය දමිල තරුණයකු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන දමිල භාෂිත සිනමා පටයක මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. කෝමාලි කිංග් යනුවෙන් නම තබා ඇති එහි අධ්‍යක්ෂවරයා වනුයේ කිංග් රත්නම් වේ.

හාස්‍යෝත්පාදක සිනමා සිතුවමක් වන කෝමලි කිංග්, පිටරට සිට මෙරටට පැමිණෙන දමිල පවුලක් වටා ගෙතී ඇති කතා පුවතකි.

දර්ශන් ධර්මරාජ්, නිරංජනි ශන් මුගරාජා, රාජා ගනේෂන්, ගජන් ගනේෂන්, පි‍්‍රයන්ත සිරිකුමාර සමඟ මෙහි අධ්‍යක්ෂවරයා වන කිංග් රත්නම් චිත්‍රපටයෙහි චරිත මවති.

කෝමාලි කිංග් පික්චර් ඩිස්ක් ඉදිරිපත් කිරීමකි, මහින්ද අබේසිංහ කැමරාව මෙහෙයවයි. පි‍්‍රයන්ත සිරි කුමාරගේ අංග රචනයකි. හර්ෂ දිසානායක සමඟ ඇන්ජලෝ ජෝන් සංස්කරණ ශිල්පිනිය, ශ්‍රීරාම්, අරුන්, සමඟ කිංග් මෙහි සංගීත අධ්‍යක්ෂවරුන් වේ. නිමල් ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. කෝමලි කිංග් යාපනය අවට ප්‍රදේශයන්හි රූ ගැන්වීමට නියමිතය.

බැංග්ලෝර් සිනමා උළෙල සඳහා අපේ චිත්‍රපට ත්‍රිත්වයක්

මේ දිනවල පැවැත්වෙන අටවැනි බැංග්ලෝර් සිනමා උළෙල සඳහා ලාංකේය චිත්‍රපට ත්‍රිත්වයක් තෝරා ගෙන තිබේ. ඒ ප්‍රසන්න විතානගේ උසාවිය නිහඬවනු, ශමීර රංගන නා ඔටුන්නගෙ මෝටර් බයිසිකල්, කල්පන සහ වින්දන ආරියවංශගේ පේ‍්‍රමය නම් වේ. උළෙල පසුගිය ජනවාරි 28 ඇරැඹි අතර අද දින එහි සම්මාන ප්‍රදානය සිදුවනු ඇත. -

සුදු සඳ රැස් වැඩ ඇරඹේ

නව පරපුරේ කලා ශිල්පී චාමර පෙරේරා අධ්‍යක්ෂණය කිරීමට නියමිත ඔහුගේ කුලුඳුල් ටෙලි සිතුවම සුදු සඳ රැස් හි මුහුරත් උළෙල පසුගියදා කලුතර පැනරාමා හෝටලයේදී පැවැත්විණ. රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, උදිත් අබේරත්න, ෆර්නි රෝෂිනී, නිරෝෂා තලගල, පියුමි බොතේජු, ලක්ෂාන් වාත්තුහේවා, කපිල සිගේරා, නිමල් පල්ලෙවත්ත, අමීරා දිව්‍යාංජලී, රුවන් පිටිපන, ලොයිඩ් ගුණවර්ධන, කුලසිරි අමරසිංහ මෙහි චරිත මවති. සනත් සමරනායක තිර රචනයෙන් ද, කිත්සිරි හේවගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙති.

සුදු සඳ රුස් කුමා විජයපාලගේ නිෂ්පාදනයකි.

තිලක්ට සාමවිනිසුරු ධුරයක්

හැත්තෑව දශකයේ කණ්ඩායම් සංගීත ශිල්පියකු වශයෙන් කටයුතු කළ තිලක් ද මැල් සාම විනිසුරු ධුරයෙන් පිදුම් ලැබීය. එකල ප්‍රසිද්ධ වාදක මණ්ඩලයක් වූ හමිං බර්ඩ්ස්හි නිත්‍ය ගායකයා ලෙස සංගීත ලෝලීන්ගේ හද දිනාගත් තිලක් මොරටුව වේල්ස්කුමාර විදුහලේ ආදි සිසුවෙකි.

දේශීය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුවේ විශේෂ හමුව

ටෙලිවිශනය දියුණු කලා භාවිතාවක් බවට පත් කර ගැනීම සඳහා ඒ පිළිබඳ ජාතික කලා ප්‍රතිපත්තියක් සහ ගුණාත්මක බවින් යුතු නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් පිහිටුවා ගත් දේශීය ටෙලි නාට්‍ය ශිල්පි එකමුතුවේ විශේෂ හමුවක් පසුගියදා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එහිදී දේශීය ටෙලි නාට්‍ය කලාව මුහුණ පා සිටින අර්බුදයන් පිළිබඳ කතාබහ කළ අතර ඒවාට නිසි පිළිතුරු සොයා ගැනීම සඳහා යෝජනාවලියක් එළි දැක්විණ.

විදේශිය ටෙලි නාට්‍ය මඟින් මෙරට විකාශන කාලසීමා අති ක්‍රමණය කිරීම, විකාශය වන දේශීය විදේශීය නිර්මාණවල, ගුණාත්මකභාවයේ අවගමනය, සාවද්‍ය තොරතුරු සපයන සමීක්ෂණ වාර්තා ඉදිරිපත් වීම සහ දේශීය රූපවාහිනී කර්මාන්තයේ නියැළි සිටින වෘත්තිකයන්ගේ වෘත්තීය අනාරක්ෂිතභාවය යන ගැටලු යටතේ මේ යෝජනාවලිය සකසා තිබේ.

සිංහල සිනමාව සහ මම එළිදකී

සිංහල සිනමා ක්ෂේත්‍රයේ වත්මන් අර්බුදය පිළිබඳ විමර්ශනාත්මක විග්‍රහ කරමින් සනත් ගුණතිලක විසින් රචිත "සිංහල සිනමාව සහ මම" නමැති පර්යේෂණාත්මක ග්‍රන්ථය පසුගියදා කොළඹ 07 ඇල්බට් චන්ද්‍රවංකහි පිහිටි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය පණිභාරත ශ්‍රවණාගාරයේ දී එළි දැක්විණ. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර සරසවිය පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් මුඛ්‍ය දේශනය පවත්වන ලදී. ඡායාරූපයෙන් දැක්වෙන්නේ සනත් තම ග්‍රන්ථයේ මුල් පිටපත ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්ට පිළිගැන්වූ අයුරුයි.

දේදුනු ආකාසේට නවක නළු නිළියන් ඕනෑ

පි‍්‍රයන්ත කොළඹගේ නවතම සිනමා පටය වන දේදුනු ආකාසේ සමඟින් නවක නළු නිළියන් කිහිප දෙනකු රිදී තිරයට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා සරසවියට දැන්වීය. ඒ සඳහා තිර පරීක්ෂණයක් මෙම මස 07 වැනිදා දවස පුරා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙහි (ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) රෙජිනෝල්ඩ් කුරේ පදනම ශාලාවේදී පැවැත්වෙයි. රංගනයට කැමැති වයස අවුරුදු 18-35 අතර සියලු දෙනාට මෙයට සහභාගී වන්නට යැයි පි‍්‍රයන්ත කොළඹගේ ආරාධනා කරයි.

සියැස රූපවාහිනිය දෙවැනි ජන්ම දිනය සමරයි

උත්තරීතර මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් බිහිවුණු ‘සියැස’ රූපවාහිනියට වසර දෙකක් සපිරෙයි. සියැස සභාපති පී. කේ. යූ. අදිකාරම්ගේ ප්‍රධානත්වයෙන් මෙහි කටයුතු සිදුවන අතර වැඩසටහන් රැසක් මේ රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වෙයි. ඒ අතර ‘සංහිඳීයා පලස’, ‘කෘතියක වත’, ‘සායන’, ‘දැයට පිපෙන මල්’, ‘කැකුළු කොදෙව්ව’, ‘ඇදුරු සිතක මතක’ ආදී යන්න වැඩසටහන් කිහිපයක් පමණි. සියැස ටී.වී. ඔබට නැරැඹිය හැක්කේ පියෝ ටී.වී. 95 හරහායි.

කුරුලු පිහාටු සති අන්තයේ

වාසිත සමරනායක අධ්‍යක්ෂණය කළ කුරුලු පිහාටු ටෙලි සිතුවම පසුගිය ජනවාරි 23 වැනිදා සිට සෑම සති අන්තයකම සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වේ. ලයනල් වික්‍රම, චන්දික නානායක්කාර, ගාමිණි ජයලත්, කුමුදු නිශාන්ත, සහන් විජේසිංහ, නෙතලි නානායක්කාර, පේ‍්‍රස් තෙන්නකෝන්, ගයනා සුදර්ශනි, අනුරුද්ධිකා පාදුක්කගේ, ගයත්‍රි රාජපක්ෂ, අංජලී ලියනගේ, කුමුදු පි‍්‍රයංගිකා, වසත් විදුමිණ සමරනායක, කවීශා දෙව්මිණි කැටකුඹුර, පුජිත පංකජ, ඔසඳි කාවින්ද්‍යා, ප්‍රභාෂ්වරි පංචසික, ආදි නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙති.

කුරුලු පිහාටු, බොල් වී අපූරු, සුදු අරලිය, ඉහිරුණු කිරි, දෙවන වේදිකාව ආදී නාට්‍ය නිෂ්පාදනය කළ පි‍්‍රයංකා අමරතුංගගේ නිෂ්පාදනයකි.

රුක්මණී දේවිය සමරයි

අසහාය ගීත කෝකිලාවිය හා සිනමා නිළි රැජන වූ රුක්මණී දේවියගේ 93 වැනි ජන්ම දිනය පසුගියදා බෞද්ධාලෝක මාවගේ සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති ශාලාවේ උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ පැමිණ සිටි පිරිස අමතා ප්‍රවීණ නළු සතිස්චන්ද්‍ර එදිරිසිංහ දේශනයක් පැවැත් වූ අයුරුයි.

වෛද්‍ය නෙවිල්ගේ සිහින විල්තෙර නමින් සංයුක්ත තැටියක්

වෛද්‍ය නෙවිල් පෙරේරාගේ ‘සිහින විල්තෙර ’සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණි.

‘සිහින විල්තෙර ’සංයුක්ත තැටියේ ගීත දාහතරක් ඇතුළත් අතර මහාචාර්ය සුනිල් ආරියරත්න, බන්දුල නානායක්කාරවසම්, අයිරාංගනී මද්දුමබණ්ඩාර, උපුල් ජයශාන්ත, සෝමදාස සූරියආරච්චි, නෝබට් තලම්මැහැර, ජයම්පති අල්ගම, වෛද්‍ය චන්ද්‍රිකා ද සිල්වා, දිල්රුක්ෂි මීදෙණිය යන ගේය පද රචක - රචිකාවන් මේ සඳහා ගීත ලියා ඇත. ඒ ගීතවලට සංගීතය සපයා ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ, රෝහණ ධර්මකීර්ති, දිනේෂ් බෝගොඩ, කලාසූරී ස්ටැන්ලි ඕමාර්, උපුල් ජයශාන්ත, තිස්සසිරි පෙරේරා, ඉන්ද්‍රජිත් මිරිහාන යන ශිල්පීන් ය.

නිර්මාණාත්මක නාට්‍ය වැඩමුළුවක්

ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි මෙහෙය වන නිර්මාණාත්මක වැඩමුළුවක් මේ මස 14 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා නාමෙල් මාලිනී පුංචිතියටර්හි පැවැත්වෙයි. එහිදී නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, රංගාලෝකය, අංගරචනය ආදී නාට්‍ය හා සම්බන්ධ විවිධ වූ අංශ ගැන කතාබහට ලක්කෙරෙයි.

මේ වැඩමුළුව අවසානයේ එහි සහභාගි වන්නන්ගේ එකමුතුවෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කෙරෙන අතර මේ සඳහා ඔබත් සහභාගි වීමට කැමැත්තක් දක්වන්නේ නම් වැඩි විස්තර සඳහාමේ මස 14 දිනට පෙර 0112 – 672121 හා 0713- 075134 යන දුරකථන අංකවලට අමතන්න.

ජයන්තා රණවකගේ රූපණ වැඩමුළුවක් නොමිලේ

ප්‍රවීණ අංගරචනා ශිල්පී ජයන්තා රණවක මෙහෙය වන රූපණ වැඩමුළුවක් පෙබරවාරි මස 07 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පන්නිපිටිය පරණ පාරේ රූපණ ලලිත කලායතන ශාලාවේදී පැවැත්වෙයි.

වේදිකා මාධ්‍ය ක්ෂේත්‍රයට අයත් නාට්‍ය හා රංග කලා විෂය අධ්‍යයන ක්ෂේත්‍රයේ නියැළි විද්‍යාර්ථීන්ට සහ රූපණ ශිල්පයේ නිරත වීමට අපේක්ෂා කරන ආධුනිකයන්ට මෙන්ම ශිල්පීන්ටද සිය නිපුණතා වර්ධනය කර ගැනීමට මේ ඔස්සේ අවස්ථාව සැලසෙයි. ඒ නිසා නොමිලේ පැවැත්වෙන මේ වැඩමුළුවට සහභාගි වීමට කැමැත්තක් දක්වන්නෙකු වෙතොත් 0112-842516 යන දුරකථනයට අමතා පෙබරවාරි 06ට ප්‍රථම සහභාගිත්වය දන්වන්න. සීමා සහිත පිරිසකට අවස්ථාව ලබාදීමට සිදුවන බැවින් කල්වේලා ඇතිව පැමිණීම සනාථ කරන ලෙස ජයන්තා ඉල්ලීමක් කරයි.

මාරම්බරී පානදුර පුරහලේ

සුභාවිත ගීතයේ දේශීය ලකුණ සනිටුහන් කළ විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරම්බරී’ ප්‍රසංගය අද දින (04 වැනිදා) සවස 6.30ට පානදුර පුරහලේ දී පැවැත්වෙයි.

මෙහි යුග ගායනයෙන් විශාරද චරිතා පීරිස් සහ ශාරන්‍යා ජයකොඩි සහය වන ‘මාරම්බරී’ ප්‍රසංගයේ කථනය වසන්ත රෝහණ ගෙනි. මේ ප්‍රසංගය පානදුර මහජන බැංකුවේ සුබසාධක සංගමයේ ඉදිරිපත් කිරීමකි.

‘ද්විත්ව’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ දා

වසර කිහිපයකට පසුව අධ්‍යක්ෂණයට පිවිසි චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ නවතම ‘ද්විත්ව’ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළෙ පසුගියදා පිටකෝට්ටේ සෝලිස් අවන්හලේ දී පැවැත්විණි.

නළු - නිළියෝ ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඇරැඹුණු මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දේශපාලනඥයෝ රැසක් සහභාගි වී සිටියහ.

‘වාලම්පුරි’ චිත්‍රපටය හා ‘ගංගා හා නිශ්ශංක, ‘බෝඩිම’ ඇතුළු එකල ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් අධ්‍යක්ෂණය කළ බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ මේ නවතම ටෙලි නිර්මාණය ඇරැඹෙන්නේ ප්‍රවීණ නළු ටෝනි රණසිංහගේ කතා සංකල්පයකට අනුව ය. ජගත් ඇපලදෙණිය නිෂ්පාදනය කරන ‘ද්විත්ව’ කොටස් සියයකට සීමාවුණු හාස්‍යමය ටෙලි නාට්‍යයකි. මෙහි විජය නන්දසිරි, මානෙල් වානගුරු, රොඩ්නි වර්ණකුල, සුරේනි සෙනරත්, රුවන්ගි රත්නායක, ලක්ෂිකා ජයවර්ධන, අචල ජාගොඩ, උදේ කුමාරි, ශිරෝමිකා ප්‍රනාන්දු, රංජිත් ජයසේකර යන නළු නිළියෝ රඟති. කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්නගෙනි. සංගීතයෙන් ආනන්ද ගමගේ, රූපවාහිනි රචනයෙන් රිහාන් රවින්ද්‍ර ද ‘ද්විත්ව’ සඳහා දායක වෙති.

භාෂාප්‍රේමී සන්ධානයේ අටවැනි සංවත්සරය ගුවන්විදුලි සංස්ථාවේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන සූරීන් විසින් 2007 වසරේ ආරම්භ කරන ලද භාෂාප්‍රේමී සන්ධානයේ අටවැනි සංවත්සර මහා සභා රැස්වීම මේ මස 06 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලින් අද සිදු කැරෙන සිංහල භාෂා සංහාරයට එරෙහිව කටයුතු කිරීම සඳහා පිහිටුවනු ලැබූ මේ භාෂාප්‍රේමී සන්ධානයේ රැස්වීම කොස්ගොඩ සිරිසුධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ආනන්ද තිස්සකුමාර පවත්වයි. සන්ධානයේ සියලුම සාමාජික, සාමාජිකාවන්ට මෙන්ම සිංහල භාෂාව ගැන උනන්දුවක් දක්වන සැමට මේ සඳහා සහභාගි වන්නැයි භාෂාප්‍රේමී සන්ධානය විවෘත ආරාධනාවක් කරයි.

අසංක සායක්කාරගේ ජේලර් එළිදකියි

අසංක සායක්කාරගේ මංගල නවකතාව වන ‘ජේලර්’මේ මස 08 වැනිදා පස්වරු 3.00 ට රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ එළිදකියි.

එහිදී චූලානන්ද සමරනායක, කෞශල්‍ය කුමාරසිංහ යන විද්වත්හු දේශන පවත්වති. ‘ජේලර්’ අහස් මීඩියා වර්ක්ස් ප්‍රකාශනයකි.