වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




එන්සිනා කාටත් නොකියාම කෝපි කඩෙන් නික්ම ගියා ය...

එන්සිනා කාටත් නොකියාම කෝපි කඩෙන් නික්ම ගියා ය...

එන්සිනා යනු ඇගේ අන්වර්ථ නම ය. සැබෑ නම වනුයේ සුසිලා කූරගම ය. වසර විස්සකට අධික කාලයක් ‘කෝපිකඩේ’ එන්සිනා ලෙස ජනාදරයට පත් ඇය මේ වනවිට අප අතරින් සඳහටම නික්ම ගොස් හමාර ය. 1943.10.14 දින කොළඹ තිඹිරිගස්යායේ දී උපන් සුසිලා හැඳී වැඩුණේ ද කොළඹ පුරවරයේදීම ය. නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විද්‍යාලයෙන් අකුරු කළ ඇය රංගනයට පිවිසෙනුයේ ජී.ඩී.එල් පෙරේරාගේ මඟ පෙන්වීම යටතේ ය.

ඔහුගේ ‘සක්කර වට්ටං’ සුසිලාගේ පළමු නාට්‍යය විය. අනතුරුව නටඹුන්, අවන්හල, මනාපෙ ආදී නාට්‍ය රැසක සුසිලාගේ රංගනයන් දැක ගැනීමට ලැබිණ. ක්‍රමක්‍රමයෙන් ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් හඳුනා ගන්නා සුසිලා ධර්ම ශ්‍රී කල්දේරාගේ ‘දීපාංජලී’ සිනමා පටයෙන් සිනමාවට පිවිසියා ය. මුවන්පැලැස්ස, රක්තා, අජාසත්ත, හිතහොඳ චණ්ඩියා, විජේ සහ අජේ, රෝදය, චෙරියෝ ඩාලින්, කවුද බොලේ ඇලිස් ආදී සිනමා පටවල චරිත මැවූ සුසිලා වඩාත් ජනප්‍රිය වූයේ ‘කෝපිකඩේ’ ටෙලි සිතුවම සමඟින් ය.

එහි එන්සිනා වූ ඇය ඉතාම කෙටි කලකින් ඒ නම තම අන්වර්ථ නාමය බවට පත්කර ගත්තා ය. සුසිලාගේ කටකාර රංගනය කෝපි කඩේට මහත් වූ ආලෝකයක් විය. සුසිලා වේදිකා නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කොට තිබිණ. ඒ සපිරිනාගේ වලව්ව, සිලිං බිලිං සහ සත්මුතු වෙයි. ඒ නාට්‍ය රචනා කරනු ලැබුවේ ද සුසිලා විසින් ය.

එපමණක් ද නොව ‘එන්සිනාගේ සපිරිනා’ යනුවෙන් ඒකපුද්ගල ප්‍රසංග මාලාවක් ද සුසිලා විසින් පවත්වනු ලැබුවා ය. කලක් රෝගාතුරව සිටි සුසිලාගේ සිත ඉන්පසුව වඩාත් ගිලන් වූයේ රංගන කටයුතුවලට සහභාගි වීමට නොහැකි වීම නිසා ය. අසනීපය නිසා හුදකලා වූ සුසිලාගේ ලිපියක් සැකසීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවක ඒ ගැන ඈ දැඩිව සඳහන් කළා ය.

සුසිලා යනු ඉතා ම යුහුසුළුව මෙන්ම ජවසම්පන්නව කටයුතු කළ කාන්තාවක ය. දිවා රෑ නොබලා කලාවේ නියැළුණු ඇය රෝගී වූයේ ද එබැවින් ය. කෝපිකඩේ රජ කළ නළු - නිළියන් එකා දෙන්නා ජීවන රඟමඬලින් සමුගත්තේ අප ද නොසිතූ මොහොතක ය. ඔවුන් අතරට එන්සිනා මේ තරම් ඉක්මනින් එකතුවේ යැයි අප සිතුවේ නැත.

මන්ද යත් ඊයේ පෙරේදා විකාශ වූ ‘කෝපිකඩේ’ 1500 වැනි කථාංගයේ ද ඇය රංගනයෙන් දායක වූ බැවින් ය. සිවුදරු මවක වූ සුසිලාගේ ස්වාමිපුරුෂයා එම්. වී. ගුණතිලක ය. ඔහු කලක් ලේක්හවුස් ආයතනයේ ද සේවය කළ අයෙකි. සුසිලා නොමැතිව සොවින් තැවෙන ඔවුන් හා එක්ව අප ද සුසිලාට නිවන් සුව අත්වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.