වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

The X Files නැවතත්

කලකට පෙර අතිශය ජනාදරයට පත් විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවක් වූ The X Files, කෙටි රූපවාහිනී කතා මාලාවක් (Mini TV Series) ලෙස නැවතත් ප්‍රේක්ෂකයින් අතරට පැමිණ ඇත. කතා මාලා 9 කින් (කොටස් 202 කින්) සමන්විත වූ පෙර කතා මාලාවේම දිගුවක් වන මෙය කොටස් 6 කින් පසුගිය 24 වනදා සිට ‘‘Fox’  රූපවාහිනී නාලිකාවේ විකාශය ඇරඹිණි.

ඩේවිඩ් ඩකොනි සහ ගිලියන් ඇන්ඩර්සන් පෙර පරිද්දෙන්ම ෆොක්ස් මෝල්ඩර් සහ ඩානා ස්ලීගේ චරිත රඟ දක්වන මෙහි, 2002 අවසන් වරට විකාශය වූ කොටසේ සිට වසර 14 කට පසුව (2016) සිදුවන සිද්ධීන් මාලාවක් දිගහැරේ.

මේ වන විට IMDB දර්ශකයේ 9.3 / 10 ක මට්ටමක් පෙන්නුම් කරන The X Files, කෙටි රූපවාහිනී කතා මාලාව, විචාරකයින්ගේද පැසසුමට ලක්වී ඇත.

නැතිවුණු දුරකථනය සොයා ගන්නේ මෙහෙමයි

‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන, 42 හැවිරිදි මාක් රෆලෝ ලඟදි සිය මුදල් පසුම්බිය පමනක් නොව, දුරකථනයත් නැති කරගෙන. මේ බව ඔහු සැණෙකින් ට්විටර් හි පළ කර තිබුණා. එහි ඔහු මෙලෙස කියා තිබුනා. “ නිව්යෝක් නගරයේදී මගේ මුදල් පසුම්බියත්, ජංගම දුරකථනයත් නැතිවුනා. මගේ රියදුරු බලපත්‍රයත් එහි තිබෙනවා. සොයා දෙන්නෙකුට ත්‍යාගයක් සහ මා සමඟ සිටින ඡායාරූපයක් අත්සනත් සමඟ ලබා දෙනවා.”

වාසනාවකට මේ පණිවුඩයෙන් පැය 3 කට පසු ඔහුට නැති වූ දේවල් හමුවී තිබෙනවා. ඒ කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ උදවු නිසා. හමු වූ සැණින් මෙම ළමුන් දෙදෙනා සමඟ ඡායාරූයකුත් සමඟ මාක් ට්විටර්හි මෙලෙස පළ කලා. “ඇමනෙයිඩ් සහ කැතරින් බ්‍රවුන්ට මම ඉතාමත් ස්තුති වන්ත වනවා. මේ අවංක කමට බ්‍රවුන් පවුලටම මගේ ස්තුතිය පිරිනැමෙනවා.

මේ මාක් සිය මුලදක් පසුම්බිය නැති කරගත් දෙවන අවස්ථාවයි. මින් පෙර ඔහු චිකාගෝ නුවර දීත් මෙලෙසම පසුම්බිය නැති කරගත්තා. ඔහු තෙවන වතාවටත් පසුම්බිය නැති කර නොගනිත්වා යයි අපි ප්‍රාර්ථනා කරමු.

ඇවටාර් - 2 තවත් කල්යයි

සිනමා රසික සැවොම පුල පුලා බලා සිටින ජේම්ස් කැමරන් ගේ ඇවටාර් දෙවන චිත්‍රපටය නිකුත් කරන දිනය තව තවත් කල් යන බව හොලිවුඩයෙන් ආරංචි වෙයි. අවසාන වරට මෙම චිත්‍රපටය නිකුත් වන බවට ආරංචි වූයේ 2017 නත්තලේදීයි. නව දින කුමක් දැයි යන්නවත් චිත්‍රපටයේ බෙදා හැරීම භාරව සිටින 20 th Century Fox  සමාගම දන්වා නැති බවත් මේ සමඟම සඳහන්.

චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම් වල ප්‍රමාදය හේතුවෙන් මේ කල්යාම සිදුවී ඇති බව චිත්‍රපටයට සම්බන්ධ ඇතැමෙක් ප්‍රකාශ කර තිබෙනවා. ශබ්දාගාර ඉදිකිරීම් කටයුතු සහ පරිගණක සජීවීකරණ කටයුතු තවමත් මුල් අදියර වල පවතින බවත් සඳහන්. ඇවටාර් 2 හි රූපගතකිරීම් තවමත් පටන් ගෙන නැහැ. මේ අතර තවත් සමහරෙක් පවසා සිටින්නේ ඩිස්නි සමාගම විසින් ‘ස්ටාර් වොර්ස්’ චිත්‍රපටයේ ‘එපිසෝඩ් VIII’ 2017 දෙසැම්බරයේ නිකුත්කිරීමට පියවර ගෙන ඇති නිසා මෙය කල් ගියා විය හැකි බවයි.

බැට්මෑන් ද? සුපර්මෑන් ද?

බොහෝ දෙනෙක් මඟ බලා සිටි Superman vs Batman : Dawn of Justice චිත්‍රපටය තව මාස 2කින් තිරගත වීමට නියමිතයි. මෙහි බෙන් ඇෆ්ලෙක් (පර්ල් හාබර්, ආමගේඩන්, බොයිලර් රූම්) විසින් බැට්මෑන් ගේ චරිතය රඟදක්වන අතර, මෑතකදී තිරගත වූ සුපර්මෑන් චිත්‍රපටයක් වන ‘මෑන් ඔෆ් ස්ටීල්’ හි සුපර්මෑන් ට රඟ දැක්වූ හෙන්රි කැවිල් විසින් සුපර්මෑන් චරිතය රඟ දැක්වෙයි.

වෝනර් බ්‍රදර්ස් විසින් බෙදා හැරෙන මෙම චිත්‍රපටය 300, වොච්මන්, මෑන් ඔෆ් ස්ටීල් ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කල සැක් ස්නයිඩර් ගේ අධ්‍යක්ෂණයක් වන අතර, චාල්ස් වන් සහ දෙබෝරා ස්නයිඩර් ගේ නිෂ්පාදනයක්. ප්‍රවීන සංගීතවේදී හාන්ස් සිමර් ගේ සහ ජන්කී ඔඹ් ගේ සංගීතයෙන් ඔපවත් වී ඇත.

විනාඩි 151 කින් සමන්විත දීර්ඝ කතාවක් රැගත් මෙහි නිෂ්පාදන පිරිවැය ඇ.ඩො. මිලියන 200ක් බවත් හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.