වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ නළුවෙක් වීම තමයි මගේ අරමුණ

හොඳ නළුවෙක් වීම තමයි මගේ අරමුණ
 

අහම්බෙන් නළුවකු වූ ලිපිකරුවා ජේ. ප්‍රියන්ත රෝයි

ජීවන ගමනේ අහම්බයෙන් සිදුවන සමහර දේවල් ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා. ඔහුත් එවන් වූ අහම්බයකින් කලා ලොවට පිවිසුණු රංගන ශිල්පියෙක්. ජේ. ප්‍රියන්ත රෝයි වෘත්තියෙන් ටෙලිකොම් ආයතනයේ ලිපිකරුවකු ලෙස කටයුතු කළත් සිය කලා හැකියාවෙන් ද දක්ෂතා විදහා දක්වන ධෛර්යවන්ත පුද්ගලයෙක්.

ප්‍රියන්ත ඔබේ රංගන දිවියේ තතු විත්ති මතක් කළොත්?

මම මීට අවුරුදු විස්සකට විතර කලින් යාළුවෙක් සමඟ වේදිකා නාට්‍යයක් බලන්න ගියා. ඒ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ සුගත් සමරකෝන් මහතා විසින්. නාට්‍යය අවසානයේ අපි එතුමාට සුභ පතන්න ගියා. ඒ මොහොතේ ඔහු මගෙන් විස්තර අහලා රඟපාන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ ඔහුගේ 'දේශපාලුවා' කියන වේදිකා නාට්‍යයේ. ඔහු එහි මගේ රඟපෑම බලලා මගේ හැකියාව අගය කළා. ඔහු කිව්වා කලා අංශයෙන් මට හොඳ ගමනක් තියෙනවා කියලා.

ඉන් පස්සේ මාක් සැම්සන් මහතා අධ්‍යක්ෂණය කළ 'සක්වළින් එහා' ටෙලි නාට්‍යයේ ජීවියාගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. 'සක්වළින් එහා' ටෙලි නාට්‍යයේ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වුණා. අද වෙද්දී මෙම ටෙලි නාට්‍යයේ සී. ඩී. එක වෙළඳපොළේ තියෙනවා. ඒ වගේම බන්දුල ගලගෙදර මහතාගේ සම්බන්ධීකරණයෙන් සිරස නාළිකාවේ විකාශය වූ 'අපි නොදන්න ලයිව්' වැඩසටහනටත් සම්බන්ධ වුණා.

ඇත්තටම රංගන ක්ෂේත්‍රයට මගේ සිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. විශේෂයෙන්ම කලා කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා. සුගත් සමරකෝන්, බන්දුල ගලගෙදර, මාර්ක් සැම්සන් මහත්වරුන්ට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉදිරියේදීත් කලා ක්ෂේත්‍රයේ නියැළිලා හොඳ රංගන ශිල්පියෙක් වීම තමයි මගේ අරමුණ. ඔහුගේ දු. අ. - 0717215253

සරත් දික්කුඹුර අධ්‍යක්ෂණයට

මෙතෙක් රංගන ශිල්පියකු වශයෙන් කටයුතු කළ සරත් දික්කුඹුර අධක්ෂණයට පිවිසෙයි. ඒ දුර්ගා ආත්මා ටෙලි සිතුවම සමඟිනි. ආචාර්ය ජගත් විජේනායක නිෂ්පාදනය කරන මෙය නිවුන් සහෝදරියන් දෙදෙනෙකු වටා ගෙතුණු කතා පුවතකි. ජීවන් කුමාරණතුංග, මොරින් චාරුණී, ශ්‍රීමාල් වෙඩිසිංහ, රමණී සිරිවර්ධන, හර්ෂණ බෙත්මගේ, ජනිත් වික්‍රමගේ, තිසරි යුවනිකා, විනු සිරිවර්ධන, සරත් දික්කුඹුර, රොහානි වීරසිංහ, තුෂාරි වේහැල්ල, ඩී. බී. ගංගොඩතැන්න, තිස්ස ගුණතිලක, ශිරෝමිකා ප්‍රනාන්දු, මෙත්තානන්ද විතානගේ, චමින්ද දෑල, චතුර පෙරේරා, රඛිත දිකකුඹුර, ගාමිණී කුමාර, අමිල සිරිවර්ධන ආදීහු රංගනයේ යෙදෙති.

ප්‍රියන්ත ප්‍රදීප් කැමරාව මෙහෙයවයි. ප්‍රසන්න ප්‍රදීප් සහාය අධ්‍යක්ෂණයෙන් ද, රාමනායක කලා අධ්‍යක්ෂණයෙන් ද, ධනුෂ්ක හුලංගමුව අංග රචනයෙන් ද මේ සඳහා එක්වෙති. චමින්ද දෑලගේ නිෂ්පාදන කළමනාකරණයකි. දුර්ග ආත්මා කතාව සරත් දික්කුඹුරගෙනි. රිගාන් රවින්ද්‍ර පිටපත් රචකයාය.