වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත ජනප්‍රියයි, ලිව්වේ මං කියා දන්නේ නැහැ

ගීත ජනප්‍රියයි, ලිව්වේ මං කියා දන්නේ නැහැ

මෙම 05 වැනිදා (හෙට) සංගීත ලොවේ අඩ සියවස සපුරන වර්නන් පෙරේරා කියයි

  •  ගායකයෙක්,
  •  ගීත රචකයෙක්,
  •  සංගීත අධ්‍යක්ෂවරයෙක්,
  •  භාෂා පරිවර්තකයෙක්,
  •  ගෘහ නිර්මාණ ශිල්පියෙක්

වර්නන් පෙරේරා ගැයූ ගීත මොනවාදැයි මම දැන සිටියෙමි. ඔහු විසින් රචනා කරන ලද ඇතැම් ගීත පිළිබඳ ද මා දැනුවත්ය. එහෙත් වර්නන්ගේ පන්හිඳින් තවත් කොපමණ ගීත ලියා ඇත්දැයි ඔහුගෙන්ම දැනගත් මම විමතියට පත්විමි. ඒ අප නිතර මුමුණන ජනපි‍්‍රය ගීත බොහොමයක් ඔහුගේ පද රචනාය. එමෙන්ම රුසිරිය ඇගේ, මනමාලියේ, සඳට හොරා සැංගී, රන් තැල්ලක්, සමුගෙන යන්නෙමි (ඉන්ද්‍රානි පෙරේරා සමඟ) වැනි ගීත ළයාන්විතව ගයා අප දෙසවන සැනසුවේද වර්නන්ය.

මේ ඉන්නේ සුපිරි වැඩකාරයෙක්. ඒත් නිහඬ චරිතයක්."

අපේ අසංක දේවමිත්‍ර සහෝදරයා වර්නන්ව මා හට පෙන්නුවේ එලෙස කියමිනි. ඇත්තටම ඔහු නියම වැඩකාරයෙකි. මා ආදරණීය මගේ අම්මා වෙතටයි, සීතල සඳ එළියේ ආදී ගීතයන්හි තනු නිර්මාපකයා ඔහුය. ඒත් වර්නන් නිහඬ චරිතයක්ම වුවේය. කෙසේ වෙතත් ඒ වර්නන් තම නිහඬ බව බිදිමින් මෙම මස 5 වැනිදා වර්නන් අපූරු ප්‍රසංගයකද් පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දීය. වර්නන් කලාවට පිවිස වසර පණහක් සපිරීම එම ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධානම හේතුව වන්නේය.

වර්නන්, ඔබ කලාවේ නියැලෙන අන්දමට බොහෝ දෙනකුට පුදුමයි. මෙවන් වූ ප්‍රසංගයක් සංවිධානය කරන එකට. නමුත් එය ඔබට ආදරය කරන අයගේ යම් බලාපොරොත්තුවක් ඉටු වීමක් කියලත් කියන්න පුළුවන්.

ඔව්. ඒක හරි. මගේ අතින් නම් කවදාවත් මෙවන් වූ ෂෝ එකක් සංවිධානය වන එකක් නැහැ. ඇත්තම කිව්වොත් රජීව් සෙබස්තියන් තමයි මෙම ප්‍රසංගය සංවිධානය කළේ. ඔහු මට කළ යෝජනාවක් අනුව මෙය සංවිධානය කරනු ලැබුවා.

ඔබ කලාවට ඇවිත් අවුරුදු පණහක් කියලා අප දැන ගත්තේ මේ ප්‍රසංගය හරහා?

ඒකනෙ. බලන්නකෝ කාලය ගත වී යන ඉක්මන. ගායකයකු පද රචකයකු, විදිහට මෙච්චර කාලයක් ඉන්න ලැබීමත් වාසනාවක්.

ඔබේ ප්‍රසංගය ගැන තවදුරටත් විස්තර සඳහන් කළොත්?

මගේ ජනපි‍්‍රය ගීත සියල්ලම වගේ එදින මා ගායනා කරනවා. ඒ වගේම මා සමඟ ඩෙස්මන්ඩ් ද සිල්වා, නිහාල් නෙල්සන්, පෝල් ප්‍රනාන්දු, මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රානි පෙරේරා, චාන්දනී හෙට්ටිආරච්චි, වෝල්ටර් ප්‍රනාන්දු, රුකාන්ත ගුණතිලක, පි‍්‍රයා සුරියසේන, නිලා වික්‍රමසිංහ, අනිල් භාරති, සමන් ද සිල්වා, ලලිත් පොන්නම්පෙරුම, රජීව් සෙබස්තියන් ගායනයේ යෙදෙනවා. සංගීතය සපයන්නේ රජීව් ඇන්ඩ් ද ක්ලෑන් වාදක මඩුල්ල. ඉන්ද්‍රසිරි සුරවීර ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනවා. එදින වර්නන්ගේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වනු ලබනවා.

ඔබ අති දක්ෂ ගී පද රචකයෙක්. නමුත් තවත් බොහෝ ජනප්‍රිය ගීත ඔබ විසින් ලියා තිබෙන ඒවා බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ?

මම එහෙම ගීත මං ලියපුවාය කියලා කිය කිය යන කෙනෙක් නෙවෙයි. අනිත ගීතය ගයන ගායකයා මිස ගීත රචකයා ජනප්‍රිය චරිතයක් වෙන්නේ නැහැනෙ. ඒ හින්දා ඒ ගීත ලිව්වේ මං කියලා වැඩි දෙනෙක් දන්නේ නැහැ.

ඒත් මා කැමැතියි ඔබ ලියූ ජනප්‍රිය ගීත පිළිබඳ සඳහනක් කරනවා නම්?

ඩෙස්මන්ගේ කිරිල්ලි රන් කිරිල්ලී, සංගිත්ගේ බඹරා වගේ විසේකාරයා, ඉන්ද්‍රානිගේ තිළිනේ ලෙසින් පිළිගන්වම්, අනිල් භාරතීගේ ටිකිරිමලී, සීතල සඳ එළියේ, පෝල් ප්‍රනාන්දුගේ රුවන් මාළිගා නැත මා හට. ප්‍රියාගේ හදවත ඉල්ලා, රූකාන්තගේ ළඳේ මුළා වී, සමන් ද සිල්වාගේ නියරේ පිය නඟලා, රන්රස වාගේ, ක්ලැරන්ස්ගේ වියරුවැලි තීරයේ ආදී ගීත මා විසින් රචනා කරන ලද ඒවා.

ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද? මට ඒ අතීත කතාව කියමුද එහෙනම්?

තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අහවර කරලා ගෙදර ඉන්න කාලේ මං ගමේ තිබුනු බජව් වගේ ඒවට සිංදු කියන්න ගියා. ඔය කාලේ එහෙ මෙහෙ රස්තියාදු ගගහ සින්දු කියනවා ඇරෙන්න වෙන දෙයක් කළේ නැහැ. ගීත රචක චිත්‍රානන්ද අබේසේකරයන් දවසක් අප ඥාති වන කෙනෙක්ගේ මඟුල් ගෙදරකට ඇවිත් හිටියා. ඔහු ද අපේ දුරින් නෑයෙී වෙනවා. චිත්‍රානන්ද මහත්තයා අපේ තාත්තා ගාවට ආවා ආගිය තොරතුරු කතා කරන්න. ඔහු මාව පෙන්නලා ඇහැව්වා මෙයා මොකද කරන්නේ කියලා. වෙන මොකවත් කරන්නේ නැහැ සින්දු කියන එක තමා කරන්නේ කියලා තාත්තා කිව්වා. ඒක අහලා චිත්‍රානන්ද මහත්මයා මට ගුවන් විදුලියට එන්න කිව්වා පහුවදා උදේම.

ඉතින් ඔබ ගියාද?

ඔහු වගේ කෙනෙක් එන්න කියපු නිසා අවස්ථාව මඟ හැරියේ නැහැ. ඔහු එදා මාව ගුවන් විදුලියේදී සරත් විලවීරයන්ව මුණ ගැස්සුවා. ඔහු තමයි නවක මඬල කියන අලුත් ගායක ගායිකාවන් හඳුන්වා දෙන වැඩසටහන නිෂ්පාපදනය කළේ. එදා මට නියම වැඩේ වුණේ.

ඒ මොකක්ද?

එතන හිටපු අය ඇවිත් හිටියේ තමන්ගේම සින්දු හදාගෙන. එදා ඒ අලුත් සින්දු පටිගත කරනවා. මං ආවේ චිත්‍රානන්ද මහත්තයාගේ ඉල්ලීමටනේ. මට දෙලෝ රත් වුණා. ඇත්තම කතාව සරත් මහත්තයාට කිව්වට පස්සේ ඔහු මට පෙන්නුවා පුංචි මිනිසෙක්. එයා ගාවට ගිහින් සින්දුවක් ලියා ගන්න කිව්වා.

ඉතින් ඊට පස්සේ?

මං ඔහු ගාවට ගියා. මගෙන් ඇහැව්වා මෙලඩියක් හදාගෙනද ආවේ කියලා. මම නැහැ කියලා දන්න එකම හින්දු සිංදුවක තාලය ඔහුට ඇහෙන්න කිව්වා. ඔහු පටස් ගාලා අතේ තිබුණු ඇක්සයිස් පොත පෙරළලා විනාඩි දෙකෙන් මගේ තාලයට වචන දැමමා.

මතකද ඒ වචන ටික?

සිතුවිලි රැලිලා ගඟ තුල මතුපිට
ඔරුව පැදේ
කඳුළෙන් හා අත් යුගතෙහි බලයෙන්
ජීවිතයේ දුක් අඳුර මිදේ

ඔය ගීතය එදා තැටිගත කළා. දන්නවද මට විනාඩි දෙක තුනකදී ගීතය ලියලා දුන්නේ කවුද කියලා

නැහැ?

ප්‍රේමකීර්ති ද අල්විස්.

ඔබ ගායකයකු වශයෙන් ඉදිරියට එන්නේ එදා ඉඳලාද?

ඔය ගීතය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. කාලෙකට පසුව මට ලක්ෂ්මන් ප්‍රනාන්දු කියන කෙනාගේ සන්ෂයින් කියලා වාදක මණ්ඩලයක ගායකයකු වශයෙන් කටයුතු කරන්නට ලැබුණා. එහිදී මට වෛද්‍ය රංජිත් බොලොන්නෙ මුණගැහුණා. ඔහු සංගීත කටයුතුත් කළා. ඩොක්ටර්ගේ මෙලඩිවලට මං ගීත හතරක් ලිව්වා. එකක් මං කිව්වා. ඒක තමයි 'ඔයා මගෙ සුරංගනා කතාවේ' ගීතය.

ඒ කාලයේ ඔබ හා ප්‍රසංග වේදිකවේ ගැයූ සමකාලීනයින් කවුද?

නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්තගේ අය තමයි.

ඔබ ළඳේ මුලාවී ගීතය ලිවීම පිටුපස අපූරු කතාවක් තියෙනවා නේද?

ඔව්. දවසක් මට රූකාන්ත කතා කරලා සින්දුවක් ලියලා දෙන්න කිව්වා. එතකොට මං හිටියේ බයික් එකේ ගමනක් යන්න සූදානම් වෙලා. ඔහු මට මෙලඩිය එවලේම කිව්වා. මං බයිසිකලයේ යන ගමන් මඟ නවත්ත නවත්ත පෙට්‍රල් ටැංකිය උඩ කොලේ තියාගෙන තමයි ඒ ගීතය ලිව්වේ. ගමන ගිහින් ගෙදරට එනකොට ගීතය සම්පූර්ණ වෙලා.

ඔබ විසින් ගයන්න හිතාගෙන ලියා පසුව වෙන අයට දුන්නු ගීත තිබේද?

අපොයි ඔව්. හදවත ඉල්ලා ගීතයත් එවැන්නක්. මං කියන්නයි ඒ ගීතය ලිව්වේ. නමුත් ප්‍රියාගේ කැසට් එකකට ගීයක් මදිවෙලා මං ඒක දුන්නා. නිහාල් නෙල්සන්ගේ 'කිංකිනි හඬට සමවෙලා' එවැනි ගිතයක්.

ඔබ වැඩිය ප්‍රසංග වේදිකාවේ දක්නට නැත්තේ ඇයි?

ඒකට මූලිකම කරුණ තමයි වර්තමානයේ ප්‍රසංග වේදිකාවේ වාදනයෙහි යෙදෙන සංගීත කණ්ඩායම් හැකි තරම් වේග රිද්මයේ ගීත ගයලා ගායකයන්ට සින්දු කියන්න ලබාදීම. එතකොට ප්‍රේක්ෂකයා නටලා හෙම්බත් වෙලා ඉන්නේ. එතකොට අපි වගේ අය ගිහින් සින්දු කිව්වට රසිකයාට දැනෙන්නේ නැහැ. ඉස්සර එහෙම නෙවෙයි රිද්මයේ අඩු තැන ඉඳලා අවසානයට තමයි වේග රිද්මයේ ගායකයන්ව නැංගුවේ.

රියැලිටි තරගවලට විනිශ්චයන් සඳහා ඔබගේ පසු පරම්පරාව පවා සහභාගි වුණා. ඒත් ඔබ නැහැ?

මටත් ඒ වගේ තරග විනිශ්චයට ආරාධනා ලැබුණා. නමුත් මම ගියේ නැහැ. මොකද අපි යම්කිසි' තරගකරුවෙක් වටයකින් ඉවත් කළාම ඔහු හෝ ඇය යන්නේ අපට බැන බැන. ඒ වෛරය අපේ ජීවිතයට එකතු වෙනවා. මොකටද අහක යන පව් කරගහන්නේ. ඒ හින්දා මං ඕවට නැහැ.