වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




බජට් එකට හරියන්නට දිගින් අඩු වූ අපේ චිත්‍රපට 

බජට් එකට හරියන්නට දිගින් අඩු වූ අපේ චිත්‍රපට 

සියලු සිනමා ප්‍රදර්ශක සමාගම් සිනමාව සුරැකීමේ සියලු සිනමා සංගම් සහ බලමණ්ඩල ඇතුළු සියලුම සිනමාකරුවන් වෙතටයි

චිත්‍රපට අධ්‍යක්ෂ

දිනේෂ් ප්‍රියසාද් විසිනි

මෙම ලිපිය සංවාදයට විවෘතය

පසුගිය ලිපියට අදාළ කරුණ වශයෙන් චිත්‍රපටයක ධාවන කාලය පිළිබඳ වඩ වඩාත් සැලකිල්ලට ගත යුතුමය. නරඹන්නා ටිකට්පතක් සඳහා අද සිනමාහලට ගෙවන 'මුදල' අති විශාලය. යටත් පිරිසෙයින්, එයට සරිලන සාධාරණ ප්‍රමිතිගත ධාවන කාලයක් චිත්‍රපටයක් තුළ තිබිය යුතුමය.

නිෂ්පාදකයා අද චිත්‍රපට තනන්නේ පැයකට හමාරකට සීමා කොට, නිෂ්පාදන පිරිවැය කපා හරිමිනි. එයින් බැට කන්නේ අහිංසක ප්‍රේක්ෂකයාය.

අප ප්‍රේක්ෂකයා සිනමාහලට පැමිණෙන්නේ නිෂ්පාදක හෝ අධ්‍යක්ෂකගේ අසරණකම වෙනුවෙන් අනුකම්පාවට නොවන බව අප මතක තබා ගත යුතුය.

ලෝකයේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපට එදත් - අදත්, කවදත්, ධාවන කාලය ඉතා දිර්ඝ බව මෙනෙහි කරන්න. හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සහ ටොලිවුඩ් නිපදවන සියළු චිත්‍රපට ධාවන කාලය පැය තුනකට ආසන්නය. නැතහොත් ඊට වැඩිය.

ප්‍රමාද නොකර ඒ පිළිබඳව සිනමා විද්වතුන් සංසන්දනාත්මක සමීක්ෂණයක් කරන්නේ නම් වඩා උචිත යැයි ද කලෝචිත යැයි ද මට හැඟේ.

කවදටත් අප, එනම් හොලිවුඩ් සිනමාව විසින් ආදර්ශයට ගැනීමට පුරුදු වී සිටින්නේ අපට ගැළපෙන හොඳ දේ නොව, ඉතා ලාභදායී බාල දේ බව කිව යුතුය.

රුපියලක් වියදම් කොට, රුපියල් පන්දහසක් ඉපයීමේ ආර්ථික න්‍යාය පත්‍රය අප කා ළඟත් ඇත. එහෙත්, සිංහල චිත්‍රපට නරඹන අහිංසක ප්‍රේක්ෂකයා පිළිබඳ මීට වඩා සංවේදීව, ගෞරවාත්මක සැකිල්ලෙන් සිතිය යුතුය.

සිංහල චිත්‍රපටයක් මධ්‍යස්ථ ප්‍රමිතිය පරිදි යටත් පිරිසෙයින් පැය දෙකහමාරකට ආසන්න විය යුතු බවයි, ප්‍රේක්ෂක අපේක්ෂාව සහ රුචිකත්වය. චිත්‍රපටයේ ධාවන කාලය කෙටි කිරීමෙන් පෙනී යන්නේ ප්‍රේක්ෂකයාව සූරා කෑමට ලක් කොට සිනමාවේ මූලික අවශ්‍යතාවයන් අප අමතක කර දමා ඇති බවය.

සිනමාපටයකින්, බුද්ධියට කතා කළ යුත්තේ 15% කි. හදවතට කතා කළ යුත්තේ 35% කි. ඉතිරි සියයට පනහම මොනයම් හෝ වර්ගවල විනෝදාස්වාදක රසයක් වෙනුවෙන් සිනමාපටයේ සුක්කානම හැසිරිවිය යුතුය. එබැවින්, පැයෙන් එකහමාරෙන් දිය හැකි රසාස්වාදය කුමක්ද?

නිහාල්සිංහ යුගයේදී මි. මී. 35 කළු සුදු 'ඕර්-වෝර්' නෙගටිව් පටල සහ පොසිටිව් ප්‍රදර්ශක පටලපට ජර්මනියේ නිෂ්පාදන මිල ඉහළ යෑම හේතු කොට ගෙන, සිංහල චිත්‍රපට ධාවන කාලය පැය 2 කට සීමා කරන ලෙස, සංස්ථාව නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලා සිටියේ තාවකාලික විසඳුමක් වශයෙන් ටික කලකටය. එහෙත්, එය වරදවා තම වාසියට හරවා ගත් නිෂ්පාදකවරුන්, දිගින් දිගට කොට චිත්‍රපට සාදා පිරිවැය කපා ගත්හ. ඉන් ඇති වූ අගතිය වූයේ 'කොට' වූ චිත්‍රපට නැරඹීමෙන්, සූරාකෑමට එරෙහිව නරඹන්නා බැන වදිමින් ගෙදර යෑමය.

මට ද සිංහල චිත්‍රපට නැරඹීම අප්‍රසන්න විය. වර්තමාන තත්ත්වය මත, ධාවන කාලය පැය දෙකයි මිනිත්තු පහලොවකට අඩු නම්, දෙවෙනි පංතියේ ටිකට් පතෙන් රුපියල් දහයක් අඩු කිරීමද, පැය දෙකයි මිනිත්තු තිහකට වැඩි නම් ටිකට් පතට රුපියල් දහයක් වැඩිපුර අය කිරීම ද අසාධාරණ නැත. තුන්වෙනි පංතිය හැර ඉතිරි පන්තීන් ද මිල ඊට සාපේක්ෂක විය යුතුය.

එබැවින්, චිත්‍රපට ධාවන කාලය පිළිබඳ සැලකිල්ලට හසු කොට 'ජාතික සිනමා ප්‍රතිපත්තියක්' මූලික කොට ගත් ප්‍රමිතිකරණයකට හසු විය යුතු යැයි රජයෙන් සහ අදාල බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ දේශීය සිනමාව බේරා ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙනි.

03 වෙනි කරුණ - ප්‍රවේශ පත්‍ර මිල

1947 සිට 80 වේ දශකය අග භාගය දක්වා අවුරුදු 40 කට වැඩි කලක් සිංහල චිත්‍රපටය රැකබලා ගනිමින්, එහි බර අදින ලද්දේ අප රටේ නිර්ධන පංතිය සහ මධ්‍යම පාන්තිකයා බව කිවහොත් වඩා නිවැරදිය.

චිත්‍රපට නිර්මාණකරුවා සහ ප්‍රේක්ෂකයා එදා කරට කර සිටි බැවින්, නිර්මාණකරුවාගේ සාවද්‍ය සිනමා ප්‍රකාශන නිර්මාණ ප්‍රේක්ෂකයා විසින් ප්‍රතික්ෂේප කර දමන ලදී.

නීරස සිනමාකරුවන් සිනමාවෙන් පන්නා දැමුවේ එදා ප්‍රේක්ෂකයාය. අද චිත්‍රපටකරුවා විසින් ප්‍රේක්ෂකයාව සිනමාහලෙන් පන්නා දමා ඇත.

එදා ප්‍රේක්ෂකයා චිත්‍රපටයක් හත් අට වතාවක් නරඹමින් අප සිංහල සිනමාහල සහ 'නිෂ්පාදකයා' පෝෂණය කරමින් සිනමාව රැකගත් බව ගෞරවාදරයෙන් සඳහන් කළ යුතු අතර ප්‍රේක්ෂකයා පාඨකයා හෝ ශ්‍රාවකයා නොමැතිව කිසිම මාධ්‍යයක් හෝ කලාවක් ප්‍රගුණ කළ නොහැකි බවද මා අමුතුවෙන් කිව යුතු නොවෙයි.

නැවත, ශ්‍රී ලංකාවේ සියළු සිනමාහල්වල පහත මාලය 01 - 02 සහ 03 යන පංති පද්ධතිය ස්ථාපිත කර, ප්‍රවේශ පත්‍ර මිල පහතට හෙලීම කඩිනම් කළ යුතුව ඇත. එසේ වන්නේ නම්, දේශීය සිනමා කර්මාන්තය නැවත ස්වර්ණමය යුගය විසින් වැළඳ ගන්නා දිනය වැඩි ඈතක් නොවනු ඇත.

80 දශකයේ අවසන් අදියරයේදී දුර්වල චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය අඩු වී යන ප්‍රවණතාවය හේතුවෙන්, තම චිත්තර-පටය ගලවා දැමීමට ඉඩ නොදී, සිනමාහල තුළ 'කල් තබා ගැනීම' සඳහා ප්‍රවර්ථන මුදල පියවා දැමීමට නිෂ්පාදක විසින්ම තොග ගණන් ටිකට්පත් මිලදී ගන්නා ලද්දේ, සිනමාහල් හිමියාගේ දැඩි විරෝධය මධ්‍යයේය.

ප්‍රවර්ථන මුදල එක් එක් පළාත්වල එක් එක් සිනමාහල් සඳහා චිත්‍රපටයේ ප්‍රදර්ශනය පවත්වාගෙන යෑම පිණිස විකිණිය යුතු අවම ප්‍රවේශපත් ප්‍රමාණයේ වටිනාකමයි.

එය ප්‍රධාන සිනමාහල හැර අනෙකුත් සිනමාහල්වල සිකුරාදා උදේ 10.30 දර්ශනයේ සිට එළැඹෙන සඳුදා රාත්‍රී 9.30 දර්ශනය දක්වා දර්ශන 16 ක් සඳහාය. ප්‍රධාන සිනමාහලේ ප්‍රවර්තන මුදල ගණන් බලන්නේ දින 07 ටමය. (දර්ශන 28 කටය).

නිෂ්පාදකයා විසින් මෙසේ තොග ගණන් ටිකට් කැඩීම තවදුරටත් නුරුස්සන සිනමාහල් හිමියා තම බලවත් විරෝධය ප්‍රකාශ කොට, පුටුවලට චිත්‍රපට පෙන්විය නොහැකි බව පවසමින් 'මුදල් පම්ප්' කිරීමට ටිකට් පත් කඩන්නේ නම්, ඒ වෙනුවෙන් මිනිසුන් ද ගෙන්වා පුටුවල වාඩි කරවන ලෙස, නිෂ්පාදකවරුන්ට තදින් අවවාද කොට උපදෙස් දුන් බව මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ දෑසින් දුටු සාක්ෂි අනුවය. අකමැත්තෙන් වුව ද එය පිළිගත් නිෂ්පාදකවරු 'ලොරි - වෑන්වලින්' සෙනඟ අද්දවා හෙම්බත්ව, ප්‍රවර්ථන මුදල යාන්තමට පියවා ගත්හ.

එහෙත් යම් හෙයකින් ප්‍රවර්ථන මුදලට රුපියල් විස්සක් වැනි සුළු මුදලක් හෝ අඩුවීමේදී, චිත‍්‍රපටය එළැඹෙන බ්‍රහස්පතින්දා ගලවා දැමීමට සිනමාහලට අයිතියක් ඇති අතර ඒ පිළිබඳව සිනමාහල් හිමියා දැඩි උනන්දුවෙන් කටයුතු කළ බව අපට අමතක නැත.

ඉන් අනතුරුව සිනමාහල් හිමියා සහ නිෂ්පාදක නියෝජිතයින් අතර ඇතිවන 'ගෝරිය' අඟහරුවාදාට සංස්ථා භූමියේදී ඉතා විනෝදජනක ලෙසින්, සෙසු සිනමාකරුවන්ට පමණක් නැරඹිය හැකි විය.

මිනිසුන්ට නොමිලයේ චිත්‍රපට නැරඹිය හැකි ක්‍රමවේදයක් ඉදිරියේ, චිත්‍රපට නොතකා හරිමින් 'ලොරි - වෑන්' එනතුරු බලා සිටීමට පුරුදුවීමෙන් නිර්මාණය වූ ඊනියා ප්‍රේක්ෂක ජනතාවක් ඉදිරියේ දුවන චිත්‍රපටවලට ද, දැඩි අලාභ හානි සිදු වූ බව සඳහන් කළ යුතුව ඇත.

මෙය සිනමාහලටත්, සිනමාකරුවාටත් දෙපාර්ශයටම මහත් හිසරදයක් මෙන්ම අභියෝගයක් ද විය.

ප්‍රශ්නය බොහෝ දුරදිග ගිය බැවින්, නිෂ්පාදකවරුන්ගේ ඉල්ලීම මත චිත්‍රපට සංස්ථාව මැදිහත් වී මෙතුවක් කල් ගණන් බැලූ 'ප්‍රවර්ථන මුදල්' පිළිවෙත මුළුමින්ම වෙනස් කරන ලදී.

මෙතැන් පටන් 'ප්‍රවර්ථන මුදල' මුදලින් ගණන් නොබලා සිනමාහල තුළ චිත්‍රපටය නරඹන ඔළුගෙඩි සංඛ්‍යාවෙන් ගණන් ගන්නා ලෙස නිෂ්පාදකවරයා තරයේ සංස්ථාවෙන් ඉල්ලා සිටියේ ඉන් ලැබෙන මහඟු ප්‍රතිඵලය තම සිතෙහි රහසින් සඟවාගෙනය.

එම බලවත් ඉල්ලීම කිසිසේත් ප්‍රතික්ෂේප කිරීමට සංස්ථාවට නොහැකි විය.

සිංහල සිනමාහල සමාජයේ අපි ඔක්කොම සුමානයයි

04 වෙනි කොටස - ලබන සතියට