වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




පරණ කාර් කට්ටකට අහුවෙලා

පරණ කාර් කට්ටකට අහුවෙලා

සචිනි නිපුන්සලා

වසර නවයක් පුරා සචිනි දෙරණෙ. ඇය එහි වැඩසටහන් දහයකට අධික සංඛ්‍යාවක් නිවේදනය කොට තිබෙනවා. ළමා නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වූ සචිනි නිපුන්සලා මේ වන විට දෙරණ නාළිකාවේ සිටින කාර්යබහුල නිවේදිකාවන් අතර කෙනෙක්. ඇය නිවේදනයෙන් එකතු වන දෙරණ ලිට්ල් ස්ටාර් සහ චැම්පියන් ස්ටාර් කියන වැඩසටහන් යුගලත් මේ දිනවල ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වෙනවා. සචිනි ආවා අපේ සරසවියට. ඇවිත් ගොඩක් දේ කතා කළා. විශේෂයෙන් නිවේදන කලාව ගැන. පුංචි කලේ ඉඳලා නිවේදිකාවක් විදිහට හිටපු සචිනි පිළිබඳ සරසවියෙහි පළ වන පළමු ලිපිය තමයි මෙය කියලත් කියන්න ඕනෑ.

සචිනි සරසවියෙහි පළවන ඔබේ කුලුඳුල් පුවත්පත් ලිපිය හින්දා ඔබ ක්ෂේත්‍රයට පැමිණි අන්දම මතක් කරමින්ම කතාවට මුල පිරුවා නම් හොඳයි කියලා මම හිතනවා?

ඔව් ඒක හොඳයි. නිවේදනයට ඇති ඇල්ම මට ඇති වන්නේ පුංචි කාලෙදිමයි. පුංචි පැංචි, හපන් පැදුර ආදී ළමා වැඩසටහන් නොවැරදීම මං නරඹනවා. ඒවා බලලා විතරක් නිකම් ඉන්නේ නැහැ. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එ වැඩසටහන් මෙහෙයවපු නිවේදිකාව වගේ කතා කරනවා. අම්මට කිහිප දවසක්ම මං එහෙම කණ්ණාඩිය ඉදිරියේ කරන කෝලම අහුවෙලා තියෙනවා. ඔය අතරතුර මට වසන්ත ඥානප්‍රිය කියලා සර් කෙනෙක්ව මුණ ගැහෙනවා. ඔහු මාර්ගයෙන් රූපවාහිනී නාළිකාවකට එකතු වෙනවා. දෙවනුව තමයි මං දෙරණට එන්නේ.

ඔබ දෙරණ හා එකතු වූයේ ළමා නිවේදිකාවක් විදිහට නේද?

හරියටම හරි. අදින් අවුරුදු නවයකට පෙර තමයි මං දෙරණට එන්නේ. මං ළමා වැඩසටහන් හතරක් නිවේදනය කළා. එතකොට මං පාසල් යනවා. උදේ පාසල් ගිහින් හවස දුවනවා දෙරණට.

සචිනි මේ වන විට අධ්‍යාපන කටයුතු හමාර කරලද ඉන්නේ?

නැහැ. මම ජයවර්ධනපුර කැම්පස් එකේ ශිෂ්‍යාවක්.

මොන අංශයෙන් ද ඔබ එහි හැදෑරීම් කරන්නේ?

කළමනාකරන අධ්‍යයන අංශයේ අලෙවිකරණ උපාධිය තමයි මම හදාරන්නේ. මේ ගෙවෙන්නේ මගේ හතර වැනි වසර.

සචිනි වෘත්තීය නිවේදිකාවක් වන්නට අදහසක් නැහැ වගෙයි?

ඇත්තටම නැහැ. මගේ අදහස කවදා හරි අලෙවිකරණ පැත්තෙන් රස්සාවක් කරන්න.

ඔබ මෙහෙයවන වැඩසටහන් එක්ක බලද්දී හිතෙනවා ඔබ වෘත්තීය නිවේදිකාවක් වුණා නම් හොඳයි කියලා?

මට ඔය කතාව බොහෝ දෙනෙකු කියනවා. නමුත් මගේ අදහසක් නැහැ නිවේදන වෘත්තියෙන් හම්බ කරගෙන කන්න. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මං නොමිලේ නිවේදන කටයුතු කරනවා කියලා. මගේ කටහඬට නියමිත වටිනාකම මං ගන්නවා. ඒත් මං පොඩි කාලේ ඉඳලා හිතාගෙන හිටියා නිවේදනය මගේ වෘත්තීය කර ගන්නේ නැහැ කියලා.

නිවේදනයේ යෙදෙද්දී සිදු වුණ අමතකම නොවන අත්දැකිම් ගැනයි මං ඊළඟට අහන්නේ?

ලිට්ල් ස්ටාර් තරගාවලියේදී තමයි ඔය අත්දැකිම් විඳගන්න ලැබෙන්නේ. එතන ඉන්නේ ළමයිනේ. බොහෝ විට ඔවුන් කැමරාවට බය වෙලා ගොළු වෙනවා. එතකොට තමයි තරු පේන්නේ. ඒ වෙලාවට ප්‍රශ්නෙත් මං අහලා උත්තරෙත් මමම කියලා ළමයාගෙන් අහනවා ඔව් ද නැද්ද කියලා. ඒවා නියම අත්දැකීම් තමයි. මේ වෙලාවේ මට තව සිදුවීමක් මතක් වෙනවා. කේ. ජයතිලක මහත්තයා ජීවත්ව ඉන්න කාලේදී ඔහුගේ වැඩ සටහනක් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. එතුමා මට පොතක් පෙන්වලා කිව්ව මේ පොතට චිත්‍ර ඇඳපු තුන් දෙනාම දැන් ජීවතුන් අතර නැහැ කියලා. මට එක පාරටම කියවුණනෙ 'අපේ වාසනාවට ඔබතුමා තවම ඉන්නවනෙ' කියලා. මං ඒක කිව්වා නෙවෙයි, කියවුණා. මං එදා බය වෙලා හිටියේ එතුමා මොනවා හරි කියයි කියලා. දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහනෙහි පේෂල එක එක දේවල් කියනවා. මට ඒවා ඉතින් තේරෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ. මම ටියුබ් ලයිට් එකක්නෙ. සමහර දේවල්වලට මං තේරුණා වගේ හිනාවෙනාව. හැබැයි කවුරුවත් දන්නේ නැහැ මං ඒ හිනා වෙන්නේ නොතේරුම්කමට කියලා.

සචිනිට රංගනයට ඇරියුම් ලැබිලා ඇති?

අපොයි ඔව්. ඒත් මම ගියේ නැහැ. ඒ ක්ෂේත්‍රය පිළිබඳ ලොකු දැනුමක් නැහැ. කොහොමත් මං මෙගා නාට්‍යවලට අකැමැතියි. මේ පුරුදු නිවේදනය කරගෙන හිටියම මට හොඳටම ඇති.

නළු නිළියෝ නිවේදනයට පිවිසීම ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ?

සමහර අය හොඳයි. නමුත් ඇතැම් ඇය නිවේදනයේ යෙදෙනවා වැඩක්ම නැහැ. ඒ අය තමන්ට අදාළ වාත්තීය කරගෙන හිටියා නම් හොඳයි කියලා ඒ අය දිහා බලාගෙන ඉන්න කොට මට හිතෙනවා. නිවේදකයකු විදිහට වැඩ කරද්දී කට ප්‍රවේශම් කරගන්න ඕනෑ. ඒකවත් නොදන්නා අයයි අද නිවේදනයේ යෙදෙන්නේ.

සචිනිගේ කල වයසත් හරියාගෙන එනවා නේද?

ඇත්ත. අනේ මට තවම වයස විසි තුනයි. බොරු කියන්නේ මොකටද මට පෙම්වතෙක් නැහැ. හිටියෙත් නැහැ. මං ගෙදරට තවම පුංචි බබා. මොකද මගේ අම්මටයි තාත්තටයි මං විතරයිනෙ ඉන්නේ.

සචිනිගේ විනෝදාංශය මොකක්ද?

හින්දි චිත්‍රපට බලන එක.

එතකෙට සිංහල චිත්‍රපට නරඹන්නේ නැතිද?

මෑතකදී තිරගත වූ හෝගානා පොකුණ හැර මට අගය කළ හැකි හොඳ සිංහල චිත්‍රපටයක් තිරගත වුණේ නැහැනෙ. ඒ හින්දා මං සිංහල චිත්‍රපට බලන එක අතහැරල තියෙන්නේ.

සචිනි ජීවිතයේ කළ ලොකුම මෝඩකම මොකක්ද?

පළමුවතාවට කබල් පරණ කාර් එකක් ගත්තු එක තමයි. ඒක අන්තිමේ පාඩුවට විකුණලා දම්මා.

නිවේදනයේ යෙදෙද්දී වැඩිපුරම බය වුණේ කවදද?

දෙරණ ලිට්ල් ස්ටාර්හි දෙවැනි අදියරෙහි අවසන් තරගයදා මම හුඟක් බය වුණා. එදා තමයි මං වැඩිම පිරිසක් ඉදිරියේ නිවේදිකාවක් වුණේ. තිබුණු බයට කට පාඩම් කරගෙන ආව වචන ටික පමණයි කිව්වේ.

සචිනි නිපුන්සලා කියන්නේ මොන වගේ කෙනෙක්ද?

බුද්ධියෙන් තීරණ ගන්න, හැබැයි ටිකක් නපුරුයි. කේන්ති යනවා. එත් ඉක්මනින් කූල් වෙනවා. අන්න එහෙම කෙනෙක්.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

චතුරානි අබේසුන්දර සහ දිලිනි පෙරේරාව මතක් කරන්න ඕනෑ. එයාලා තමයි දෙරණට මං ආ දවසේ ඉඳලා මං හිටපු වැඩසටහන් නිෂ්පාදනය කළේ. මගේ යම් සාර්ථකත්වයක් වේද ඒ පිටුපස ඔවුන් යෝධ සෙවණැල්ලක් වගේ ඉන්නවා.