වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කලා කටයුතුවලට කොළඹ ආවත් ගමේ ජීවත් වෙන්න කැමැතියි

කලා කටයුතුවලට කොළඹ ආවත් ගමේ ජීවත් වෙන්න කැමැතියි
 

ජයතිස්ස අතුලසිරි

ඔහුගේ නම ජයතිස්ස අතුලසිරි වුවත් වැඩි දෙනෙකු ඔහුව අමතන්නේ සහ හඳුනන්නේ අනුරාධපුරයේ අතුල යනුවෙනි. මේ වන විට ඔහු රංගනයට පිවි දශක හතළිහකට අධික කාලයක් ගත වෙනවා. වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවේද අතුල සිය දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළා. වසරේ කුමන කාලයේදී වුව ද අතුල දායකත්වය ලබාදුන් නිර්මාණයක් දැක ගැනීමට හැකියි. මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන හෝගානා පොකුණ වගේම මොහාන් නියාස්ගේ ගජමුතුයාය ටෙලි සිතුවමහි අතුල එකිනෙකට වෙනස් චරිතයන් මවනු ලබනවා.

අතුල, ඔබව ඇයි අනුරාධපුර අතුල කියලා හඳුන්වන්නේ? ඔබේ ගම එහෙ නෙවෙයි නේද?

ඔව්. මගේ ගම නම් නුවරඑළිය. නමුත් වර්තමාන පදිංචිය අනුරාධපුර. දිගටම එහෙ හිටියේ. කොළඹ ආවේ නැහැ. ෂූටිං වලට අනුරාධපුරයේ ඉඳලා යන එන නිසා මට අනුරාධපුර අතුල කියලා කියන්න පටන් ගත්තා.

ඇයි කොළඹ පදිංචියට එන්නේ නැත්තේ?

මට ගම හොඳා. අපි වගේ අයට ගම තමයි ජීවත් වෙන්නට හොඳ.

ඔහෙ හිටියම රංගන කටයුතුවලට එන්න යන්න කරදර නැද්ද?

කරදරයි තමයි, නමුත් සුන්දරයි. කෝච්චියේ තමයි යන්නේ එන්නේ. දින දෙක තුනක් ෂූටිං තිබුණොත් මං කොළඹ යහළුන්ගේ ගෙදරක නැවතිලා ඉන්නවා.

ඇතැම් නිර්මාණකරුවන් ඔබ අනුරාධපුරය ඉන්න නිසා නිර්මාණවලට අඩුවෙන් නේද කතා කරන්නේ?

එහෙම දෙයක් නම් තියෙනවා. ඔය කතාව ඇත්ත. අතලොස්සක් වූ නිර්මාණකරුවන් මට එයාලගේ නිර්මාණවලට කතා කරනවා. ඔවුන් මට දුන්නු දිනයට නියමිත වෙලාවට කියූ තැනට යනවා. කවදාවත් පරක්කු වෙලා නැහැ. මාව වැඩිය නොහඳුනන අය මම වෙලාවට එන්නේ නැහැ කියලා හිතනවද දන්නේ නැහැ. ඒක වෙන්න ඇති ඔවුන් මට වැඩිය කතා කරන්නේ නැත්තේ.

මේ වන විට ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?

ඔව්.

රඟපාපු නිර්මාණ පෙළ මතක් කළොත්?

මං පළමුව ටෙලි නාට්‍ය ගැන කියන්නම්. හිමගිර අරණ, සතර දෙනෙක් සෙන්පතියෝ, ටිකිරි සහ උංගි, ගිරිකුල, සින්දූර්, දේදුනු සිහිනය, තාත්තෙ අපි ආවා, දියවඩන මළුව, රනා, ගජමුතුයාය ඇතුළු ටෙලි නාට්‍ය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක මං රඟපෑවා. රූ රෑ, ඉර මැදියම, ගරිල්ලා මාර්කටිං, පරාවර්තනය, මහරජ ගැමුණු, සමනළ සංධිවනිය, චැලෙන්ජස්, පායා එන්න හිරු සේ ආදී චිත්‍රපට හතළිස් හතරක රංගනයේ යෙදුණා. මං ඉන්න පත්තිනි, අලෝකෝ උදපාදී, උලත් එකයි පිලත් එකයි, බන්ධනය, තරු සොභා, වීදිය බණ්ඩාර වගේ චිත්‍රපට ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.

මේ දිනවල ඔබ වේදිකා නාට්‍යයක් සමඟින් රට වටා යනවා. ඒ ගැනත් කියමු?

ඒකේ නම් 'චැප්ලින් සමඟ' අතුල ඒකනායකයි මමයි එහි රඟපාන්නේ. මම එහි මාකට්. මුදල්වලට මිනිසත්කම විකිණෙන හැටි 'චැප්ලින් සමඟ' නාට්‍යයට අන්තර්ගත වෙනවා.

ගැමි රංගන ශිල්පියකු විම නිසා ඔබට යම් යම් අසාධාරණකම් සිදුවෙනවා කියලා දැනගන්නට ලැබුණා?

සහතික ඇත්ත. නමුත් මං කාටවත් දොස් කියන්නේ නැහැ. සමහරු මට එන්න කියලා බස් ගාස්තුවවත් දෙන්නේ නැතුව අනුරාධපුරයට යවනවා. තව අය මට නිදියගන්න දෙන්නේ පැදුරුවල. අපි වයසයි කියලාවත් බලන්නේ නැහැ. එහෙම දේවල් වෙන කෙට හරියට දුකයි. ඒත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා මාව පියකු හා සමාන කරලා සලකන අය. ඒ හින්දා ඔවුන් ඉන්නකම් කට්ට කාගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දකීම් ගැනයි මං ඊළඟට අහන්නේ?

උදයකාන්ත මහත්මයාගේ බන්ධනය චිත්‍රපටයේ රඟපාන්න ගිහින් මට මරු වැඩක් වුණා. පිත්තල සෙම්බුවක් ඇවිත් මගේ ඔළුවෙ වදින දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒ සෙම්බුව ඇවිත් ඇත්තටම මගේ ඔළුවෙ වදිනවා. කොහොම හරි ඒ දර්ශනය තෙවතාවක් රූගත කළා. මගේ ඔළුවට හොඳ ගණන්. නමුත් දෙවියන්ගේ පිහිටෙන් මට කිසිම ආපදාවක් වුණේ නැහැ.

ඔබ මේ ක්ෂේත්‍රය පිළිබඳ හදාරා තිබෙනවාද?

මොකද නැත්තේ. මං දෙස් විදෙස් ආචාර්යවරු ගණනාවක් යටතේ රංගනය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ අතරින් නෙදර්ලන්තයේ හාන්ස් සහ ජයන්ත චන්ද්‍රසිරි මහත්වරුන් විශේෂයි. මේක පරතෙරක් නොමැති විෂයයක්. මේ වන විට මං හැකි පරිදි ප්‍රාදේශීය මට්ටමෙන් මගේ දැනුම බෙදමින් සිටිනවා.

ඔබේ රංගන ගමන තුළ ඇති විශේෂ සන්ධිස්ථාන මොනවාද?

සවුදි අරාබියේ රියාද් නගරයේ මං හිටපු නාට්‍යයක් වේදිකා ගත කළා. අන්න එදා ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණු ප්‍රතිචාර මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මා වඩාත් වේදිකාවට ඇලුම් කළේ එදා ඉඳලා. ඒ වගේම මම හිටපු වේදිකා නාට්‍ය කිහිපයකටම සම්මාන ලැබුණා. ඒ අවස්්ථා මට සුවිශේෂයි.

අතුලගේ පවුලේ විස්තර කියමු?

මගේ බිරිය නන්දා මාම්පිටිය. ඇය ලේඛිකාවක්. සරසවිය පත්තරේ ප්‍රතිචාර පිටුවට ඇය නිරන්තරයෙන් ලියනවා. මගේ කලා ජීවිතයට ඇය ඉමහත් වූ ශක්තියක් කියලා කියන්න කැමැතියි.