වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




බෙල්ල කැපෙනවා දැකලා ඇත්තටම සිහි නැතිවුණා

බෙල්ල කැපෙනවා දැකලා ඇත්තටම සිහි නැතිවුණා

මංජුලා සුමනපාල

මෙවර ‘හැඩවැඩමැද සඳහා සහභාගි වන්නේ අංගරචනා ශිල්පිනියකි. ඇය මංජුලා සුමනපාලයි. රාජා සුමනපාලගේ හා රත්නා සුමනපාලගේ දියණියක වන ඇය මේ වනවිට සේවයේ නිරත වන්නේ ස්වාධීන රූපවාහිනියේ අංගරචනා අංශයේ ය. මංජුලා සිය මව්පිය දෙපළ මෙන් රංගනය තෝරා නොගත්ත ද කලාව අත නොහැරියා ය. අංගරචනා ශිල්පයට අමතරව කොණ්ඩා දැමීමේද යෙදී සිටින ඇය ඒ වසර විසිඅටක් තරම් අතීතය පිළිබඳත්, අංගරචනා ශිල්පය පිළිබඳත් පැවසුවේ මෙවැනි කතා රාශියකි.

මුලින්ම ඔබ සිතුවේ තමන්ගේ වෘත්තිය කලාව ආශ්‍රයෙන් තෝරා ගන්න ද?

අංගරචනා ශිල්පය තෝරා ගන්න කිසිම අදහසක් මගේ සිතකවත් තිබුණේ නැහැ. ඒ නිසා මම කළේ හොටෙල් පාඨමාලාවක්. ඒ අංශයේ රැකියාවකටයි මා මුලින්ම කැමැත්තෙන් සිටියේ. ඒ සඳහා පිවිසෙන්නට අවශ්‍ය රැකියාවත් මට ලැබුණා. ඒ මවුන්ට් ලැවිනියා හෝටලයේ. එක් දවසක් එහි වැඩටත් ගියා. ඒත් මට යාළුවෝ කිව්වේ කලාව සම්බන්ධ අංශයක රැකියාව තෝරා ගන්න කියලයි.

යාළුවෝ කිව්ව විදියට හෝටල් රැකියාව ඔබ අත හරිනවා?

එහෙමම නොවෙයි. මේ කටයුතු කරන අතරතුර මා ජාතික ආධුනිකත්ව ආයතනයේ අංගරචනා ශිල්පීනියන් පුහුණු කිරීමේ පාඨමාලාවකට අයැදුම් පතක් දමලයි තිබුණේ. හෝටලයේ රැකියාවට ගියා විතරයි මට අංගරචනා ශිල්පීන් පුහුණු කරන්න බඳවා ගත්ත බවට ලියුමක් ලැබෙනවා.

කිසිම කතාවක් නැතිව ඔබ අංගරචනා ශිල්පය තෝරා ගන්නවා නේද?

මේ ලියුම් දෙකම බලන අම්මා නම් වඩාත් කැමැති වන්නේ මා අංගරචනා ශිල්පිනියක් ලෙස පුහුණුවට සහභාගි වනවා දකින්නයි. අවසානයේදි අම්මාගේ කැමැත්ත ඉටු වෙනවා. මා ඒ පුහුණුව තෝරා ගන්නවා.

අංගරචනා පුහුණුව පහසු වුණා ද?

ඒ පුහුණුව ප්‍රායෝගිකව හැදෑරිය යුතු නිසා අපිව මුලින්ම ස්වාධීන රූපවාහිනියටයි යොමු කළේ. ඔවුන් මාව පුහුණුවට ගත්තේ ස්ථාන රූපී අංගරචනා ශිල්පිනියක් ලෙසයි. පුහුණුව අවසානයේ ඒ ආයතනයේම මට රැකියාවත් ලැබුණා. මෙහිදි මගේ ගුරුතුමා වුණේ කේ.ඩී. සිරිපාල මහත්තයා. ඔහු අංගරචනා කටයුතු කරන දෙස බලා සිටිද්දී එහි නියැළීමේ අභිරුචිය වඩාත් වැඩිවුණා. ඒ වගේම අංගරචනා ශිල්පයට අමතරව රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙසත් මා කටයුතු කරනවා.

ස්වාධීන රූපවාහිනයට පැමිණෙන සියලුම ශිල්පීන්ව අංගරචනය කරලා තිබෙනවද?

මම වැඩ කරන කාලය ඇතුළේ පැමිණෙන සියල්ලන්වම අංගරචනා කරලා තිබෙනවා. එකම පවුලේ පරම්පරා තුනක් දක්වාත් අංගරචනා කටයුතුවල නියැළුණා. ඒ අතර මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්ච කියන ශිල්පීන්ගේ පවුල්වල අය සිටියා. මිල්ටන් මල්ලවාරච්චිගේ පුතාත්, ඔහුගේ පුතාවත් මා අංග රචනා කළා.

ඔබ අංගරචනා කළේ කුමන තරාතිරමේ නළු - නිළියන්ගේද?

නිළි රැජනමාලනී ෆොන්සේකාගේ පටන් රවීන්ද්‍ර රන්දෙණිය, ටෝණි රණසිංහ, අනෝජා වීරසිංහ, ශ්‍රියාණි අමරසේන, තිස්ස විජේසුරේන්ද්‍ර, නීටා ප්‍රනාන්දු, වීනා ජයකොඩි ඇතුළු ප්‍රවීණ ශිල්පීන් රැසක් සමඟ කටයුතු කරන්නට ලැබුණා. ඊට අමතරව අලුත් නළු - නිළියන් බොහෝදෙනෙකුවත් මා අංගරචනා කටයුතු කළා.

අංගරචනා කටයුතු අතර නැවත නැවතත් අංගරචනා කරන්නට සිදුවුණු අවස්ථා තිබුණ ද?

මේක සිද්ධ වුණේ සිරි ගුණසිංහයන්ගේ ‘ගුත්තිල - මූසිල’ ටෙලි නාට්‍යයේ දී. එහි ප්‍රධාන අංගරචනා කටයුතු කරන ශිල්පිනියක් ලෙසත් වැඩ කරන්න මට අවස්ථාව උදාවුණා. එහිදි අංගරචනා කරන්න ශිල්පීන් දෙසිය පනහකටත් වඩා පිරිසක් සිටියා. ඒ නිසා අංගරචනා කටයුතු ආරම්භ කළේ සවස තුනටයි. සියල්ලන්ටම අංගරචනා කටයුතු කරලා අවසන් වනවිට පාන්දර තුන විතර වෙලා. එවිටයි රූ ගත කිරීම් ආරම්භ කරන්නේ. ඒ වනවිට අර මුලින් රැවුල් දැම්ම අය රැවුල් ගලවගෙන. කොණ්ඩ ගලවා ගෙන. සමහරු නිදි. නැවතත් මට ඒ අයට රැවුල් හා කොණ්ඩ දමන්න සිදුවුණා.

ඔබම කළ අංගරචනයක් නිසා ඇබැද්දියකට මුහුණ දීලා තිබෙනව ද?

එහෙම අහන විටයි මගේ මතකයට එන්නේ. එදා ‘කෝපිකඩේ’ අංගරචනා කටයුතු කළ කේ.ඩී. සිරිපාල මහත්තයා. ඔහුගේ සහය අංගරචනා ශිල්පිනිය විදියට කටයුතු කළේ මමයි. ඔහුට අංගරචනා කටයුතු කරන්න තිබුණේ බෙල්ල කපපු කෙනෙක්ගේ චරිතයක්. ඒ සඳහා අවශ්‍ය කරන බඩු බාහිරාදිය ලබාදීලා ළඟින්ම ඉඳගෙන අංගරචනා කටයුත්තට සහය දැක්වූයේ මමයි. බලාගෙන ඉන්න බැරි වුණත් මම කොහොම හරි ඊට සහයෝගය ලබා දුන්නා. පසුව එදා මා සහයෝගය දැක් වූ ඒ ටෙලි නාට්‍යය නිවෙසට ඇවිත් නැරැඹුවා. අර බෙල්ල කැපුව දර්ශනය පෙන්නන කොට මගේ සිතේ ඇතිවුණේ පුදුමාකාර හැඟීමක්. එකපාරටම මාව සිහිය නැතිව බිමටම ඇදගෙන වැටුණා. එදා ගෙදර සිටිය අයත් හොඳටම බය වුණා. ඒ හිටි හැටියේම මට මොකක් වුණා ද කියලා.

කොණ්ඩ දමන්න ගිහින් සිද්ධ වුණු අමතක නොවන සිදුවීමකුත් මතකයට නඟමු?

මේ සිද්ධිය වුණේ බොහොම මෑතකදී. සුභාෂිණී හේමාමාලට මොකක් හෝ ලොකු ෆන්ෂන් එකකට යන්න සිද්ධ වෙලා තිබුණා. ඈව ලස්සන කරන කටයුත්ත පැවරුණේ මටයි. මම ඈට කොණ්ඩයක් දැම්මා. ඇයගේ අංගරචනා කටයුතුත් අවසන් වුණත් එදා ඒ කටයුත්තට ඇයත් සමඟ මටත් යන්න වුණා. ඒ වැඩසටහන පටන් ගන්න ඔන්න මෙන්නයි තිබුණේ. ටික වෙලාවක් ගියා විතරයි. එකපාරටම සුභාෂිණීගේ කොණ්ඩය ඇදගෙන වැටුණා. මොනවා කරන්න ද වෙලාවේ හැටියට යන්තමට කොණ්ඩය අටවලා ඈව වේදිකාවට යැව්වා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා පස්සෙයි දැනගත්තේ. ඈ පැලඳගෙන සිටියේ මැග්නට් මාලයක්. මේ මාලයට අර කොණ්ඩය රදවන්න ගැහුව කොණ්ඩ කටු ටික ඔක්කොම ඇදිලා ඇවිල්ලා. ඉතිං කොණ්ඩය ඇදගෙන වැටෙන එක අහන්නත් දෙයක් ද?

නළු - නිළියන් රූගත කිරීම්වලදි ලණු දීලා නැද්ද?

වරක් ‘අන්දර වැට’ හෝ ‘සත්සර රංගන’ ටෙලි නාට්‍යවලදියි ඒ වගේ ලණුවක් අපට දුන්නේ. එදා අංගරචනා කටයුතු කරන්න මා වගේම තවත් නංගි කෙනෙක් සිටියා. රූගත කිරීම් කරන අතරතුර දර්ශන තලයේ සිටිය හැමෝම වරින්වර සාරවිට කෑවා. ඒ වනවිට අපත් සාරවිටක් කන්න ආසාවකින් තමයි සිටියේ. අපේ කටයුතු සියල්ල අවසන් වුණාට පස්සේ මේ අදහස ගැන මා නඩරාජසිවම් අයියාට කිව්වා. මේ අය අපට සාරවිට දෙකක් ගෙනැත් දුන්නා. ටික වෙලාවක් ගියා විතරයි අපි දෙන්නට හොඳටම කැරැකෙනවා. ශාන්ත අයියයි, නඩරාජසිවම් අයියයි දෙන්න පැත්තක ඉඳන් හිනා වෙනවා. මොකද දන්නවා ද වෙලා තියෙන්නේ මේ දෙන්නා අපට ගෙනාව සාරවිට එකට ඉන්දියන් දුම්කොළ දාලා. ඉතිං අපිව මත්වෙන එකත් අහන්න දෙයක් ද? මේ ළඟදිත් ඔය සිදුවීම මතක් කළා.

කාන්තාවක වීම අංගරචනා ශිල්පිනියක වීමට බාධාවක් නොවේ ද?

සෑම ක්ෂේත්‍රයකම නරක අය ඉන්නවා. මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ තමන්ගේ චර්යාව මතයි. තමන් හරි නම් අනෙක් නෙකුට කිසිම දෙයක් කියන්න බැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම තමන් හරි කෙනෙක් වෙන්න ඕනෑ. මට නම් එහෙම කිසිම බලපෑමක් ඇතිවෙලා නැහැ. හැබැයි මගේ අම්මා, තාත්තා දෙන්නාම මේ ක්ෂේත්‍රයේ නිසා ඒ හේතුව මාව ආරක්ෂා කළා ද කියලා මා දන්නේ නැහැ.

අංගරචනා කටයුතුවලදි ඔබට උපදෙස් දෙන නිළියන් ඉන්නව ද?

මෑත භාගයේ බිහිවුණු නළු - නිළියන්ගෙන් සමහරෙක් ඒ වගේ උපදෙස් දෙන්න ආව අවස්ථා නම් ඕනෑ තරම්. ඒ අය මේ ලිප්ස්ටික් එක ගාන්න එපා, අවුට් ලයින් අඳීන්න එපා කියමින් අපි කළ යුතු දේ ගැන උපදෙස් දෙනවා. මා ඒ අයට පවසන්නේ රඟපෑම් ගැන කියමින් අපි කිසිම දවසක එයාලගේ රැකියාව ගැන කියන්න යන්නේ නැහැ නේ. ඒ වගේ එයාලත් අපේ රැකියාවට බලපෑමක් නොකර ඉන්න දැන ගන්න ඕනෑ බවයි. මේ අයගෙන් සමහරු මේ වගේ දේවල් අපෙන්ම ඉගෙන ගෙන ගිහින් තමයි පස්සේ ඇවිත් මෙහෙම කරන්න එපා යැයි කියන්නේ. එහෙම අයත් මේ අතර ඉන්නවා.

චරිතයට අනුව වයස ගන්වන්න අකැමැති අය ගැනත් අපි අහලා තියෙනවා?

එහෙම අය නම් මට හමුවෙලා නැහැ. ඒත් කුස්සියේ ඉන්න විටත්, නිදන්න ගියත් හොඳට අංගරචනා කරගෙන ඉන්න අයයි අද ඉන්නේ. ඒ අවස්ථාවට උචිත අයුරින් අපි ඒ නළු - නිළියන්ව අංගරචනා කටයුතු කරලා ගියාට පස්සේ ඒ අය කරන්නේ ඔවුන්ට ඕනෑ විදියට නැවතත් අංගරචනා කටයුත්ත කර ගැනීමයි. ඒක අප දැන ගන්නේ ඒ දර්ශනය රූපවාහිනියෙන් නරඹන විටයි. මෙන්න මේ වගේ තත්ත්වයකට අපේ නළු - නිළියන් පත්වෙලා තිබෙන්නේ අංගරචනය කියන්නේ රූපලාවණ්‍ය ශිල්පය යැයි ඔවුන් සිතන නිසයි.