වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




විරිදු ගායනයෙන් රංගනයට ආ රොහාන් කරුණාරත්න

විරිදු ගායනයෙන් රංගනයට ආ රොහාන් කරුණාරත්න

නැති බැරිකම් මිනිසුන්ට කොතෙක් නම් ඇතිද? ඒ වුණත් කාටවත් බරක් නොවී හොරකම් නොකර තමන්ගේ හැකියාවෙන් ඒ නැති බැරිකම් පිරිමහා ගන්නේ නම් කෙතරම් අගනේද? ඩබ්ලිව්. රොහාන් කරුණාරත්න ප්‍රනාන්දු බස්වල සිංදු කියන්න පටන් ගත්තේ නැති බැරිකම නිසාමයි.

තාත්තා අහිමි ගෙදර අක්කලා පස් දෙනයි, අයියලා තුන් දෙනකුයි, රොහානුයි සමඟ ජීවත් වෙන්න අම්මා ගත්තේ ලොකු වෙහෙසක්. ඒ නිසාම වයස අවුරුදු දොළහ සපිරෙන විට බස්වල ගීත වගේම විරිදු ගායනා කරන්නත් පටන් ගත්තේ අම්මාගේ බලවත් විරෝධය මැදයි. කාලයත් සමඟ දිවුලපිටිය තම උපන් ගමෙන් නික්මී ඔහු මොරටුව අඟුලාන ප්‍රදේශයේ ජීවත් වෙමින් අදත් බස් රථවල ගීත මෙන්ම විරිදු ද ගයයි.

ඒ විතරක් නෙවෙයි, ජාතික රූපවාහිනියේ නන්දන වින්දන වැඩසටහන, ස්වාධීන රූපවාහිනී සේවයේ රස දහර වැඩසටහනට ද පැමිණ විරිදු ගයන්න රොහාන්ට අවස්ථාව ලැබුණි. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ 'වංගුවේ බංගලාව' ටෙලි නාට්‍යයේ විරිදු ගායකයෙක් ලෙසින් රංගනයට දායක වූ ඔහු සිනමාවට ද පිවිස සිටින්නේය. 'නවරියන්' චිත්‍රපටයේ සේම 'අතුරු මිතුරු හරි අපූරු' චිත්‍රපටයෙත් ඔහු දායක වූයේ විරිදු ගායකයෙක් ලෙසින්.

රොහාන් කරුණාරත්න විරිදු ගායනයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ, ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ තරඟ රැසක ජයග්‍රහණ සේම සමස්ත ලංකා ප්‍රථම ස්ථානයන්ට ද හිමිකම් කියන්නෙක්. ඒ විතරක් නෙවෙයි වෙසක්, පොසොන් තොරණ, සල්පිල් ආදියෙත් ඔහු ජනප්‍රිය විරිදු ගායකයෙක්. 'දෙයියෝ දනී මං නොදනී' වේදිකා නාට්‍යයටත් රංගනයෙන් මෙන්ම විරිදු ගායනයෙන් දායක වෙන්න රොහාන්ට අවස්ථාව ලැබීම පිළිබඳ රොහාන්ගේ හිතේ තියෙන්නේ විශාල ප්‍රීතියක්. ඔහු තම අදහස් 'සරසවිය'ට පැවසුවේ මෙලෙසින්.

'පුංචි කාලේ මම ගොඩක් දුක් වින්දා. අද මේ තත්ත්වයට ආවෙත් ගොඩක් මහන්සියෙන්. බස්වල විරිදු කියද්දී වින්ද දුක් ගැහැට නම් අප්‍රමාණයි. කොහොම වුණත් මගේ බිරිඳ මගේ ගමනට විශාල සවියක්. අපිට තවම ජීවත් වෙන්න නිවෙසක්වත් නැහැ. කලා නිර්මාණවලට දායක වෙන්නේ ගොඩක් උනන්දුවෙන්.

මොන තරම් නැතිබැරි වුණත් කාගේවත් දෙයක් හොරකම් කරන්නේ නැතිව මගේ හැකියාවෙන් මම සල්ලි හම්බ කරන්නේ. ඉදිරියේදීත් කලා නිර්මාණවලට ආරාධනා කරනවා නම් මගේ උපරිම හැකියාවෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. 0729587543 මගේ දුරකථන අංකයයි.