වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - අප අතරින් වියෝ වූ ප්‍රවීණ ගායක හරුන් ලන්ත්‍රා ප්‍රථමයෙන් ගී ගැයූ චිත්‍රපටය පොඩි පුතා ද?

ආරි එගොඩවත්ත, දෙමටගොඩ

අර්ජුන් - ඔබ නිවැරදියි.

ප්‍රශ්නය - ටෝනි රණසිංහ ප්‍රථමයෙන් රඟපෑ චිත්‍රපටය කුමක්ද?

එස්. එල් වික්‍රමසිංහ, මාවනැල්ල

අර්ජුන් - සිරිසේන විමලවීර නිර්මාණය කළ පුංචි අම්මා චිත්‍රපටය ටෝනි රණසිංහ ප්‍රථම රඟපෑ චිත්‍රපටයයි. නමුත් එය කිසිම දිනෙක තිරගත වුණේ නැහැ.

ප්‍රශ්නය - අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් වූ පැරැණි චිත්‍රපටයක් වන 'මාතලන්' චිත්‍රපටය තිරගත වුණේ කුමන වසරේද? මගේ හැගීම එහි ඇතුළත් වූ ගීත ස්වතන්ත්‍ර නිර්මාණ බවයි. මා නිවැරදිද?

බී. පී. එස්. බෙලිගම්මන, පිටිහුම, කෑගල්ල

අර්ජුන් - 1955 වසරේ මාතලන් මුල්වරට තිරගත කෙරුණා. 'දිනේ දිනේ සව්ශ්‍රිණී' ගීතය හැර අනෙක් සියලු ගීත ස්වතන්ත්‍ර ගීත.

ප්‍රශ්නය - ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැලකෙන්කේ කවුරුන්ද? ඔහුගේ මුල්ම කතානාද චිත්‍රපටයත් අවසාන චිත්‍රපටයත් කුමක්දැයි සඳහන් කරන්න.

සුනිල් ශාන්ත දිසානායක, ඉහළ වීරක්කොඩියාන

අර්ජුන් - දාදා සහබ් පාල්කේ.

ඔහුගේ මුල් නම දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේ වන අතර ඔහුගේ ප්‍රථම නිර්මාණය රාජා හරිශ්චන්ද්‍ර චිත්‍රපටයයි. එය නිහඬ චිත්‍රපටයක්. ඔහු කළ එකම කතානාද චිත්‍රපටය. ඔහුගේ අවසාන චිත්‍රපටය වූ ගංගාතරන් චිත්‍රපටයයි.

ප්‍රශ්නය - 'ධීවරයෝ', 'අල්ලපු ගෙදර' වැනි චිත්‍රපට නිපද වූ එම්. මස්තාන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අනෙක් චිත්‍රපට මොනවාද?

තිලකරත්න විල්වල, මැණිකේ විල්වල

තටාකය පාර, කෑගල්ල

අර්ජුන් - සුකොමලී, අදට වැඩිය හෙට හොඳයි, අට වැනි පුදුමය, ආත්ම පූජා.

ප්‍රශ්නය - පැරණි චිත්‍රපට නළුවෙක් සහ ගායකයෙකු වූ රවීන්ද්‍ර රූපසේන ගයන 'මගේ සකුන්තලා' ගීතය හින්දි ගීතයක තනුවක්ද?

එච්. එස්. සැමුවෙල්, රූ මේලා, පංචිකාවත්ත

මරදාන

අර්ජුන් - ඔව්. එය හින්දි ගීතයක තනුවකට නිර්මාණය වූ ගීතයක්.

ප්‍රශ්නය - පුන්සිරි සොයිසාගේ සහෝදරයෙක් වන සුරංජිත් සොයිසා කාලයක් එළිමහන් ප්‍රසංගවල ගී ගයනවා අප දැක තිබේ. දැන් ඔහු කෝ? ඔහු දැන් ගීත ගයන්නේ නැතිද? අපට ඔහුගේ ලිපිනය සහ දුරකථන අංකය ලබා දෙන්න.

සාගර, නෙළුම්, චන්දිමා, මාතර

අර්ජුන් - මෙම ලිපිය දැක සුරංජිත් කතා කළොත් ඔබට දන්වා එවන්නම්.

ප්‍රශ්නය - රුක්මණී, සන්ධ්‍යා, විජිතා, ජීවරාණි යන නිළියන් හැට හා හැත්තෑව දශකවල ද මාලිනී, සබීතා, දිල්හානි හා සංගීතා අසූව හා අනූව දශකවල ද අපේ සිනමාවේ ජනකාන්ත නිළියන් වූ අතර දෙදහස වර්ෂයේ සිට අද දක්වා එම ස්ථාන ගෙන ඇති නිළියන් වන්නේ කවුරුන්ද?

රේචල් සෝවිස්, වැලිසර, රාගම

අර්ජුන් - එම ස්ථාන දිනාගෙන සිටින නිළියක් නම් දැනට පෙනෙන්නේ නැහැ. නමුත් පූජා උමා ශංකර් ජනප්‍රිය බව පැහැදිලියි.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10