වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබගෙන්දෝ - ඔහුගෙන්දෝ මා හෙට දින සමු ගන්නේ

ඔබගෙන්දෝ - ඔහුගෙන්දෝ මා හෙට දින සමු ගන්නේ

සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයක් සිනහව අතරින් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු

ඇය කුමාරි, ජීවිතය යනු අනේකවිධ තැවුල් සේම සතුට පිරි කතාන්තරයකැයි එකල ඇය නොසිතුවාය. ඈ පැවැත ආයේ උඩරට පවුලකිනි. ඈ කොළඹට පැමිණියේ ඇගේ නෑනන්ඩියගේ එනම් එකම අයියාගේ භාර්යාවගේ තනි නොතනියටය. ඈ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නට තීරණය කරනුයේ ඒකාකාරී දිවි පෙවත වෙනස් කරලීමට වඩා කාලයෙන් ප්‍රයෝජන ගන්නටය. රිචඩ් බර්තොලමියුස් ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියේ ඉගෙන ගන්නටය.

සිංහල සංස්කෘතියට බෙහෙවින් ආදරය කළ රිචඩ්, කුමාරි කෙරෙහි ආදරයක් ඇති කර ගනී. කුමාරි මුලදී මෙම ආදරය ප්‍රතික්ෂේප කළත්, රිචඩ් හා තම සහෝදරයා සමඟ තිබූ දැන හැඳුනුම්කමත් නිසා කාලය ගතවීමත් සමඟ රිචඩ් තම අභිප්‍රාය ජය ගන්නේ කුමාරිගේ පෙම්වතා බවට පත්වීමෙනි.

එහෙත් ඔවුන්ගේ ප්‍රේමයේ නව දළු ඇතිවීමත් සමඟ කුමාරිගේ පවුල තුළින් ඊට විරෝධයේ ගිනිසිලු ඇති වන්නේ කුමාරිටත් වඩා ඇගේ සහෝදරයාට වරද පටවමිනි. කුමාරි කිසිදු ලෙසකින් පසු නොබසින අතර, තමා රිචඩ්ට දුන් පොරොන්දු වචන ස්ථිර ලෙසට පවත්වා ගැනීමට උත්සාහ කරන්නීය.

මේ ගැටලුව අභියස අසරණ වන කුමාරිගේ මව අසනීපව මිය යන විට විශාල කලකිරීමකට පත්වන කුමාරිගේ අයියා තම බිරිඳත් සමඟ ලංකාව හැර යන්නේ කුමාරි හා තමා අතර වූ සහෝදරකම ද අමතක කරමිනි. කුමාරි ලංකාවේ තනි වන්නේ විදේශික රිචඩ් සමඟය.

කුමාරි විජයවර්ධන රිචඩ් බර්තෝලමියුස්ගේ අතිනත ගන්නේ එයින් පසුවය. පුද්ගල නිදහස අගය කරන රිචඩ් හා සැමියාගේ ආදරය සැලකිල්ල බලාපොරොත්තු වන කුමාරි අතර විවාහ ජීවිය ඇරැඹෙන්නේ මේ අයුරිනි.

රිචඩ් තම අධ්‍යාපනය මූලික කොටම සලකයි. හෙතෙම විවාහයෙන් පසුව වුවද වැඩි කාලයක් යොද වන්නේ අධ්‍යාපන කටයුතු සාක්ෂාත් කර ගැනීමටය. එහිදි තමා ගැන සිදුවන නොසැලකිලිමත් බව පිළිබඳව වුව ද කුමාරි මැදිහත් සිතින් ඉවසයි.

නිවසේ අජීවි වස්තු මැද තනිවන කුමාරි තම කාන්සිය, පාලුව මකා ගැනීමට සමාජ සේවා කටයුතුවලට පෙලඹෙන්නීය. ඇය නිතර නිතර පන්සල සමඟ සම්බන්ධකම් ඇති කර ගනියි. පන්සල ඇගේ මිතුරියන් හමුවන දවසේ වැඩි හරියක් ගත කරන ස්ථානයක් බවට පත් වෙයි.

රිචඩ් තම රැකියාව හා ඉගෙනීම ගැන සිතන නිසා කුමාරි හා තමා අතර සීමා පනවා ගනියි. එය තම තමන්ගේ හැඟීම් අවශ්‍යතා පිළිබඳව ද වෙයි. හුදකලා වන කුමාරිගේ ජීවිතයේ පෙරළියක් සිදු වන්නේ පන්සලේ උත්සවයකදී හමු වන විමල් වික්‍රමසිංහ නිසාය.

විමල් ජනප්‍රිය මාධ්‍ය, වේදිකා නාට්‍ය ආදියෙහි සම්බන්ධකම් ඇති ප්‍රසිද්ධ ප්‍රසන්න පුද්ගලයෙකි. කුමාරි කිසි කලෙකින්වත් නොසිතූ සිදුවීම් රැසක් හරහා මේ ආගන්තුකයා ඇගේ සිත තුළ බලාපොරොත්තුවේ රාජ්‍යයන් මවයි. රිචඩ් අතහැර විමල් කෙරෙහි නැඹුරුවන ඇය තම ජීවිතයේ රිචඩ්ට තිබූ තැන විමල්ට ලබා දෙයි.

සැමියෙකුගෙන් මෙතෙක් නොලද ආදරය, සෙනෙහස, අවධානය විමල්ගෙන් ලැබෙන විට ඔහුගේ උණුසුමෙහි රැඳෙන්නට කුමාරි ප්‍රිය වෙයි. නමුත් තීක්ෂණ බුද්ධියකින් යුත් රිචඩ් කුමාරිගේ හැසිරීම් රටාවේ සිදුවන වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටියි. දිනක් මේ පිළිබඳව කුමාරිගෙන් විමසන රිචඩ් කුමාරිගෙන් ලැබෙන පිළිතුරු හමුවේ නිරුත්තර වෙයි.

කිසිදු විදියකින් සාධාරණීය කළ නොහැකි හේතුන් රැසක් හමුවේ රිචඩ් පසුතැවීමට පත් වෙයි. කුමාරිගේ දෘෂ්ටිකෝණය තුළ රිචඩ් ලොකුම වැරදිකරුවා බවට පත් වන අතර, ඒ කිසිදු දෙයක් නැවත සකසා ගත නොහැකි බව ඇය තේරුම් කර දෙයි.

අවසානයේ රිචඩ්, විමල් තම නිවසට පැමිණ කුමාරි හමුවන ලෙසත් තමා බලෙන් ආදරයක් ප්‍රාර්ථනා නොකරන බවත් කුමාරිගේ නිදහස් අදහස් අගය කරන බවත් ප්‍රකාශ කරයි. මෙයින් පසුව කුමාරි නීත්‍යානුකූල සැමියාගේ අවසරයෙන් තම පෙම්වතා සමඟ නිදහසේ හැසිරෙයි. රිචඩ් කුමාරිගේ ජීවිතයෙන් ඉවත් වෙයි. විමල්ගේ ආශ්‍රය තුළ කුමාරි ගැබිනියක් වෙයි.

තමා මවක් වීමට යන බව දැනුණ අවස්ථාවේ කුමාරි ඉතා ප්‍රීතියට පත් වෙයි. මේ සුබ පණිවිඩය රිචඩ්ට සඟවන කුමාරි එය විමල්ට කීමට සුදුසු දිනයක් එනතුරු බලා සිටී. කුමාරිගේ උපන් දිනය දා විමල් එය සුවිශේෂී ආකාරයකට සැමරීමට සංවිධානය කර ගනියි. එම සුන්දර දවසේ කුමාරි විමල් පියෙකු වන බව ප්‍රකාශ කරන්නේ උසුලාගත නොහැකි ප්‍රීතියකිනි.

විමල් ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමාරි විමතියට පත් කරයි. විමල් කුමාරිගේ අනාගතය ගැන සිතමින් අසන ප්‍රශ්නයක් කුමාරි වරදවා තේරුම් ගනියි.

අවසානයේ කුමාරි විමල්ගෙන් ඉවතට යන්නේ විමල් පමණක් නොව සමස්ත පිරිමි වර්ගයාටම බැණ වැදෙමිනි. විමල් තමා ඇය පැවසූ අදහස පිළිබඳව කුමාරි ලැබූ වැරැදි වැටහීම නිවැරැදි කරන්නට උත්සාහ කරද්දී කුමාරි ඊට කිසිදු අවස්ථාවක් නොදෙමින් විමල්ව මඟහරිමින් ඔහුගෙන් ඈත් වෙයි.

කුමාරිගේ මේ හැසිරීම පිළිබඳව ද රිචඩ් වඩ වඩාත් සැලකිලිමත් වෙයි. කුමාරිගේ ප්‍රීතිය, සංතෝෂය අතුරුදහන්ව ඇති බවත්, ඈ ව්‍යාකූල මානසික තත්ත්වයක සිටින බවත් රිචඩ් නිරීක්ෂණය කරයි. සුහද සිතින් රිචඩ් ඒ පිළිබඳව කුමාරිගෙන් විමසයි.

කෝපයට පත් වන කුමාරි රිචඩ්ට දෝෂරෝපණය කරමින් බැන වදී. එහෙත් කලබල නොවන රිචඩ් අතීිතයේ දවසක, තමාගෙන් වූ වැරැදි හදා ගැනීමට අවස්ථාවක් දෙන ලෙස කුමාරිගෙන් ඉල්ලූ බවත්, එයට කුමාරි දැක් වූ ප්‍රතිචාරයත් මතක් කරදෙයි. එමෙන්ම තමා තවමත් ප්‍රමාද යැයි නොසිතෙන බවක් හා ඇය ගැබිනියක බව තමන් දන්නා බව අඟවයි.

එයින් විශ්මයට පත් වන කුමාරි ඒ පිළිබඳව දන්නේ කෙසේදැයි රිචඩ් අසයි. රිචඩ් ඊට හේතුව ලෙස පවසන්නේ 'මම ඔබේ සැමියා කුමාරි' යන්න පමණකි. ඒ වචන තුළ ගැබ්ව ඇති අර්ථය හඳුනා ගන්නා කුමාරි විශාල හිත් වේදනාවකට හා පසුතැවීමකට පත් වෙයි.

මේ අතර විමල් රිචඩ්ව හමු වෙයි. ඔහු කුමාරිගේ වැරැදි වැටහීම ගැන රිචඩ්ට තේරුම් කර දෙයි. එහිදී කුමාරිව විමල්ට මුණ ගැස්වීමට රිචඩ් පොරොන්දු වෙයි. කුමරි වෙත ගොස් විමල්ගේ හමුවීම ගැන කියන රිචඩ් තම පොරොන්දුව ගැන ද කියයි.

විමල් හමුවීමට කුමාරිව එකඟ කරගන්නා රිචඩ් මේ සියලු පරිත්‍යාග තමන් කරන්නේ කුමාරි සතුටින් තැබීමට ඇති තම ආශාව නිසා බව කියයි. කුමාරි විමල් හමුවට යාමට සූදානම් වෙයි. රිචඩ් ඇයව විමල්ගේ නිවසටම ගෙන ගොස් විමල් වෙත මුණගස්වයි.

තමාම රැගෙන දුන් සාරියකින් සැරසී තමා අභිමුවට පැමිණි කුමාරිව, විමල් ඉතා ආදරයෙන් පිළිගනියි. රිචඩ් ඔවුන් දෙදෙනාගේ විසඳුම එක් වීම නම්, තමා ඔවුන්ගේ ජීවිතයෙන් සමුගන්නා බව ද කුමාරි තම ජීවිතයට එන්නේ නම් විමල් සමුගත යුතු බවද පවසා පිටව යයි. විමල් රිචඩ් අතරට මැදිවුණු කුමාරි සමුගන්නේ විමල්ගෙන් ද, රිචඩ්ගෙන්, නැතිනම් . . . .!

ඇගේ 'සිනහව අතරින්' විමල් නොදුටු, රිචඩ් නොදුටු තීරණය කුමක්ද?

නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය හා තිර රචනය - සනත් ගුණතිලක

කතා පුවත - චමින්ද පෙරේරා මහතාගේ 'සත්‍ය' කතා පුවතකි

සංස්කරකණය - නන්දා නන්දි ජයකොඩි

ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක, නන්දා නන්දි ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සංගීත නිර්මාණය - නිරෝෂා විරාජිනී

සහාය අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන්

නිර්මාණකරණයේ විශේෂ සහාය - ලෙස්ලි සිරිවර්ධන, ජනක චාමර

නිශ්චල ඡායාරූපකරණය - රුක්ෂාන් අබේසිංහ

කොණ්ඩා මෝස්තර සැකසීම - ලලිත් ධර්මවර්ධන

වේෂ නිරූපණය - මනෝජ් ලක්සිරි

කලා අධ්‍යක්ෂණය - සංජීව කරුණාරත්න

ගායනය - නිරෝෂා විරාජිනී, අමිල පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය - වසන්ත චන්ද්‍රලාල් සහ රාජා රණසිංහ

රේඛීය නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි

නළු නිළියෝ - සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, ක්‍රිස් හෙන්රි හැරිස්, ජයනි සේනානායක, හෂිනි ගෝනගල, ඇල්ෆ්‍රඩ් පෙරේරා, චන්ද්‍රිකා පෙරේරා, රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, නිමල් ජයවීර. අමල් යශෝමන්