වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




පටාචාරා දර්ශන තලයේ දුලානි උමතු වෙයි

පටාචාරා දර්ශන තලයේ දුලානි උමතු වෙයි

යකඩ කූරු හෙල්ලෙයි

ස්ථානය – අංගොඩ මානසික රෝහල් පරිශ්‍රය.

වෙලාව - හිරු අවරට හැරුණා පමණි.

වෙනදා දකින සාමකාමී සන්සුන් බව රෝහල් බිමෙන් සැඟවී ගොසිනි. ඇත්තේ කලබලකාරී පරිසරයකි. වෛවාරණ තොප්පි, සපත්තු ඇඟලා ගත් තරුණ පිරිස් කඩිමුඩියේ එහෙ මෙහෙ යති. රෝහල ඉදිරිපිට ඇති රූස්ස කාසි ගහේ නේවාසික කපුටු රංචුවටත් මේ බව දැනී ඇති සේය.

ඔවුන් මොර දෙන්නේ අරියාදුවට මෙනි. රෝගීන් බලන වෙලාවක් නොවූවත් මෙතරම් පිරිසක් මේ අවේලාවේ මෙතැන රැඳෙන්නේ ඇයි? මගේ සිතටත් පුංචි කුකුසකි.

මගේ සැකය වැඩි වුණේ රෝහල් පිවිසුම් දොරටුව දැකීමෙනි. දොස්තරවරුන්, හෙදියන්, සාත්තු සේවකයින් ගෙන් එතැන පිරී ගොසිනි. ඔවුන්ගෙන් දිස් වූයේ යම් කිසිවකුගේ පැමිණීමක අපේක්‍ෂාවකි. මා සිතුවා හරිය.

එක පිම්මේ හඹා ආ ගිලන් රථයක් රෝහල් පිවිසුම ළඟ නතර කෙරිණි. කඩි ගුලක් අවිස්සුණාක් මෙන් ගිලන් රථය වටකර ගත් මේ පිරිස එහි සිටි රෝගියෙක් එළියට ඇද ගත්තේය. රෝගියා කාන්තාවකි.

ඇයගේ ඇඳුම් පැලඳුම්වලින් දිස් වූයේ යමක් කමක් තියෙන තැනක තැනැත්තියක් බවය. ඇයගේ කෑගැසීම අසන්නට බැරි තරම් වේදනාකාරීය. ඇය ඔසවා ගත් පිරිස රෝහල තුළට රැගෙන යන්නට විය. නමුත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවුණේ ඇයගේ දැඟලිල්ලයි, කෑගැසීමයි හේතුවෙනි. එහෙත් ඇයට ඔවුන් ගෙන් බේරුමක් නම් නොවිණ.

තව තවත් ග්‍රහණය වැඩි කළ ඔවුන් රෝහල් වාට්ටුවක ඇඳක් මතට ඇය ගෙනැවිත් දැමීය. නමුත් ඇය ගේ විලාපය තවමත් මට ඇසේ. ඒ හඬේ ඇත්තේ මින් පෙර අසා හොඳට හුරු පුරුදු බවකි. ඒ නිසාම මේ උමතු කාන්තාව කවුදැයි දැක ගන්නට මටත් සිතක් පහළ විය. මා එතැනට ළං වූවා පමණි.

‘ඕකේ. කට්’

කාගේදෝ විධානයකි.

‘හරි ෂෝක් එකට ඒ සීන් එක ආවා. දුලානි ඔයා ලස්සනට ඇට් කළා.’

මෙය රූගත කිරීමක් බව මට දැනුණේ පිරිස හරියාකාරව දැක ගන්නට ලැබීමෙනි.

විධානය දුන්නේ සුගත් සමරකෝන්ය. උමතු කාන්තාව ලෙස රඟපෑවේ දුලානි අනුරාධාය. මේ කලබල කාරී පරිසරයක් මතු වී තිබුණේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ රූගැන්වීම් සඳහාය.

නැවතත් රූගත කිරීමකට සූදානම්ය. සුගත්ගෙන් යළි උපදෙසක්.

‘දැන් කුමාරි (දුලානි)ට ටිකක් සුවයි. මේ ජනේලයෙන් ඔයාට පේනවා ඔයාගේ අම්මා, තාත්තා, සැමියා ජීවන්ත (සාරංග දිසාසේකර) පුතා මේ සේරම කොරිඩෝව දිගේ ඇවිදගෙන යනවා. මේ පිරිස දැක්ක හැටියෙම ඔයා කෑගහගෙන මේ ගොල්ලන්ගෙ පස්සෙන් යන්න ඕනෙ’

‘හරි රෙඩී වන් ටූ ත්‍රී ෆෝ ඇක්ෂන්’

මේ සමඟම ජනේලයෙන් බලා සිටින කුමාරිට මේ පිරිස දකින්නට ලැබෙනවා. ඇය ‘ජීවන්ත’ කියමින් කෑගසාගෙන පුටු මේස පෙරළාගෙන ඔවුන් පසු පස එළවන්නට වුණා. ඇයව අල්ලාගන්න දොස්තරලත්, ඇටෙන්ඩන්ලත් එක පොදියට දුවනවා. දැන් මේ දිහා නේවාසික රෝගීනුත් බලන් ඉන්නවා. ඔය විදිහට වාට්ටු තුන හතරක් දුර දුවලා තමයි කුමාරිව අල්ලා ගන්නට හැකි වුණේ.

‘මේ මොකක්ද කරන්නේ’ නේවාසික රෝගීන් දෙතුන් දෙනෙක් මා සමඟ කතාවට වැටිණ.

‘චිත්‍රපටයක් හදනවා’ මම කිවෙමි.

‘ආ දැන් පෙන්නනවද? මොකක්ද නම?’

ඔවුන් ගෙන් ප්‍රශ්න වැලකි. ඔවුන් සිතන්නේ චිත්‍රපටයක් පෙන්නනවා කියාය.

‘හතර දෙනාම සූරයෝ’ තේරුම් කර දෙන්නට බැරිම තැන මම කීවෙමි.

‘හරි ෂෝක්. ගාමිණී , ඇන්තනී ඉන්නෙ’

ඔවුන් මටත් කියා දෙයි. ඔය අතරේ තනියම සින්දු කියන අය, හතර අතට වඳින අය, බලාගත් අතම බලාගත් අය දැකීමෙන් මගේ සිතට දැනුණේ මේ අසරණ මිනිසුන් ගැන පුදුමාකාර අනුකම්පාවකි.

මීළඟට රූගන්වන්නට තිබුණේ දරුණු රෝගීන් සිටින වාට්ටුවක් මැදින් කුමාරි දුවන දර්ශනයකි. මෙහි රූගත කිරීම් සිදුකෙරුණේ ඉංගිරියේදීය. කලා අධ්‍යක්‍ෂ ධම්මික හේවාදුවත්ත මේ වෙනුවෙන්ම වාට්ටුවක් නිර්මාණය කර තිබුණි. මෙහි රෝගීන් ඉතා දරුණු ගණයේ අය වූ හෙයින් ඔවුන් දමා තිබුණේ යකඩ කූරුවලින් වට කෙරුණු කූඩුවලය.

‘දැන් කුමාරි මේ වාට්ටුව ඉදිරියෙන් දුවනකොට ඔය ගොල්ලො ඇයව දැකලා වියරු වැටිලා කලබල කරන්න ඕනෑ’

සුගත්ගෙන් තවත් පැහැදිලි කිරීමක්. ‘රෙඩී ඇක්ෂන්’

කුමාරි දුවනවා රෝගීන් ඇයව දැක යකඩ කූරු සොලවමින් මාරාවේශයෙන් කෑගසනවා.

‘ඕකේ කට්. ඔය ගොල්ලො හොඳට කළා. හැබැයි යකඩකූරු හොල්ලන්න එපා. එතකොට ඒවා හෙලවෙනවා. ඕවා යකඩ නෙමෙයි ෆ්ලාස්ටික් බට’. සුගත් නැවතත් පැහැදිලි කරයි.

වැඩේ ඇත්ත, ඇත්තම යකඩ කූරු වගේ මේවා හදලා තියෙන්නෙ ධම්මික. ඔන්න ආයෙත් කුමාරි දුවන්න හදනවා. කැමරා ශිල්පී සුජිත් නිශාන්ත නැවතත් එය රූපයට නැඟීමට සැරසෙමින් මානනවා. ඔන්න කුමාරි දුවගෙන එනවා. රෝගීන් බෙරිහන් දෙනවා.

‘අයියෝ ඕක නවත්තන්න කියන්න මගෙ කන් දෙක පැලෙන්න එනවා’ කෑගැසිල්ල ඉවසන්නම බැරි තැන දුලානි සුගත්ට කියනවා. කොච්චර දරුණු වුණත් මේ රෝගීන් කියනදේ හොඳට අහනවා.

මොකද ඔවුන් ඇත්තම රෝගීන් නොවෙයි. මේ රෝගීන් ලෙස පෙනී සිටින්නේ සුගත් සමරකෝන් මෙහෙයවන රංගන පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔවුන් නියම මොළේ නරක් වූ අය ලෙස මෙහි රඟපෑම කැපී පෙනුණි.

මෙවැනි සුන්දර සිදුවීම් සමුදායක් අතරතුරයි ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වුයේ. නමුත් කුමාරි ගේ අවසානය කුමක් වේවිද? ඇයට පියවි තත්ත්වයට එන්නට හැකි වේවිද? මේ සියල්ලට උත්තර දැන ගැනීමට නම් තව ටික කලක් බලා සිටින්නට සිදුවේවි. ඒ ‘අපේ කාලයේ පටාචාරා’ තිරගත වනතුරු.

‘අපේ කාලයේ පටාචාරා’ පාත්‍ර වර්ගය

දුලානි අනුරාධා, සාරංග දිසාසේකර, ක්ලීටස් මෙන්ඩිස්, විනූ සිරිවර්ධන, අනුෂා දිසානායක, සමන්ත වීරකෝන්, අනුෂා ජයසූරිය, සරත් දික්කුඹුර, රංග බුද්ධ, සංජය සමරකෝන්, අතුල වී. සමරවීර, උපුල් ගුණවර්ධන, සමන් ශ්‍රී වෙදගේ, සුනිල් ජයලත්, සේන ගුණවර්ධන, නෝබට් පෙරේරා, පියසීලී සෝමලතා සුරවීර, පි‍්‍රයාන් අනුර ශ්‍රී, ධම්මික හේවාදුවත්ත, ෆිලීෂියන් පෙරේරා, චන්දිම ගෝවින්න, චන්දු ඉඹුලාන, අජිත් හේන්පිට, පි‍්‍රයන්ත කහපළආරච්චි, හෙළනි ශිරන්ති බණ්ඩාර, අංජු නර්මදා, චින්තා නිලූෂි, නිලුක්ෂිකා සිල්වා, ඉරේෂා සේනාධිපති, පි‍්‍රයා විතානාරච්චි, මහේෂ් ගම්මැද ලියනගේ, රංජිත් විතාරණ, ලයනල් සම්පත්, සුරංග චන්ද්‍රසිරි, දිලූක සමරසිංහ, බුද්ධික ගයාන්, රෝහණ විපුල කුමාර, මයංගා බණ්ඩාර, රූපිකා නරේන්ද්‍රසිංහ, ලලිතා චන්ද්‍රානි, මාලනී පතිරගේ, ශාන්ත සමරතුංග, බර්ටි පෙරේරා, නිලුකා වික්‍රමආරච්චි, දිනිති ශර්මිලා, රාජු සුන්දර්රාජ්, නදීරා ගයන්ති, දිල්හානි සමුද්‍රා සහ ළමා නළු සහීෂ සුපසන් දිවාකර.

සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්‍ෂණයෙන් ද, සරත් වික්‍රම සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද, රෝහණ විපුල කුමාර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂණයෙන් ද, පි‍්‍රයාන් අනුර ශ්‍රී ඇඳුම් නිර්මාණයෙන් ද, සෑම් පෙරේරා අංග රචනයෙන් ද, නිලාන් මලිගැස්පේ නැටුම් අධ්‍යක්‍ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, හර්ෂණ වික්‍රමසිංහ සහාය අධ්‍යක්‍ෂණයෙන් ද, නලීන් ගුරුගේ සහාය අධ්‍යක්‍ෂණය 02 ද, තුසිත අල්විස් සහාය අධ්‍යක්‍ෂණය 03 ද, සංජය සමරකෝන් නිශ්චල ඡායාරූපකරණයෙන් ද, අජිත් පි‍්‍රයන්ත සහාය නිෂ්පාදන කළමනාකරණයෙන්ද, ඉරේෂ් එරංග සහාය ඇඳුම් නිර්මාණයෙන් ද, චතුරංග කාවින්ද සහාය අංග රචනයෙන් ද එක්වන මෙහි නිෂ්පාදනය හෙළවුඩ් ෆිල්ම්් ප්‍රඩක්‍ෂන් වෙනුවෙන් ජගත් කුමාර වතියගේ ගෙනි. කතාව, දෙබස්, තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය සුගත් සමරකොන් විසිනි.