වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මහරැජන ගෙන් නම්බු ලැබූ අපේ විකට නළුවා

මහරැජන ගෙන් නම්බු ලැබූ අපේ විකට නළුවා

රෝයි ද සිල්වා කියන විකට නළුවන් හත්දෙනා

අලුත් අවුරුද්දේ පුදුම හත වෙන් වන්නේ සිංහල සිනමාවේ සුවිශේෂ වු පුද්ගලයෙකුටයි. සිනමා නළුවකු, අධ්‍යක්ෂවරයකු සහ තිර රචකයකු ලෙසින් මෙන්ම නිෂ්පාදකවරයකු ලෙසින් ද ඔහුගෙන් සිනමාව ලද දේ බොහෝය.

වරෙක හාස්‍යයෙන් රස සාගරයක් මැවූ ඔහු තවත් වරෙක සම්භාව්‍ය නිර්මාණ සිනමාවට තිළිණ කළේය. එසේම ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ බොක්ස් ඔෆිස් වාර්තා තැබූයේ සිංහල සිනමාවේ ඔහු මාස්ටර් බ්ලාස්ටර් ලෙසින් හඳුන්වා දෙමිනි.

ඉංග්‍රීසි චිත්‍රපට නිර්මාණයේද ඔහු නම් දැරූවෙකි. රෝයි ද සිල්වා. සිනමාවට විශේෂ වූ ඔහු පුදුම හතට පැවසූයේ ඔහුට සුවිශේෂ වූ හාස්‍ය රංගන ශිල්පීන් හත් දෙනා පිළිබඳයි.

එඩී ජයමාන්න

1947 ජනවාරි 21 වැනිදා සිංහල සිනමාවේ පළමු චිත්‍රපටය ලෙසින් තිරගත වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙන් බිහිවු සිංහල සිනමාවේ පළමු වැනි විකටයා වන්නේ එඩී ජයමාන්න යි.

‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ මනප්පු නම් චරිතයෙන් ඔහු එක රැයකින් ලංකාවේ ජනප්‍රියම පුද්ගලයා බවට පත්වන්නට වාසනාවන්ත වුණා.

ඒ විතරක් නෙවෙයි ගායකයෙකු ලෙසත් එඩී ජයමාන්න ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයට ලක් වුණා. ඔහු ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයට ගැයූ “නෝනගේ ආලේ ගේ මැද සාලේ . . . අපි දෙන්නගේ ආලේ කුස්සිය මුල්ලේ . . .” එදා මෙන්ම අදත් ඔහුගේ නමත් සමඟින් අතිශය ජනප්‍රිය වූ ගීතයක්.

1982 වසරේ මවිසින් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය වුණෙත් ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ නව නිෂ්පාදනය යි.

එය එදා බොක්ස් ඔෆිස් වාර්තා තබමින් සම්මානනීය වුණා. එහිද මනප්පුගේ චරිතය වෙනුවෙන් එඩී ජයමාන්න සහභාගිකරවා ගන්න ලැබීම මගේ සිනමා ජීවිතයේ මා ලද භාග්‍යයක්.

‘කඩවුණු පොරොන්දුව’ ඔහු දායක වූ පළමු චිත්‍රපටය සේම අවසාන චිත්‍රපටයද වන්නට දෛවයේ ලියවී තිබීම අදහාගත නොහැකි සිදුවීමක්.

නමුත් අවාසනාවන්ත ලෙසින් ජීවිතයෙන් සමු ගැනීම නිසා මෙම චිත්‍රපටයේ අවසාන ජවනිකා දැකබලා ගන්න ඔහුට අවස්ථාව ලැබුණේ නැහැ.

එහි ඔහුට හඬ කැවිය යුතු වූ කොටසක්ද තිබුණා. මගේ හඬ ඔහු වෙනුවෙන් ලබා දෙන්න මට හැකියාව ලැබුණා. කිසිවෙකුට සොයා ගත නොහැකි අයුරින් එදා මම ඔහුගේ හඬ අනුකරණය කළා.

ඇත්තටම එඩී ජයමාන්න ඉතාමත් සුහදශීලී පුද්ගලයෙක්. ඔහු චිත්‍රපට සඳහා දායක වන විටදී ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. විකට ගීත ගායනයේදී එඩී ජයමාන්න මට ගුරුවරයෙක් වුණා. එංගලන්තයේ මහරැජනගෙන් C.B.E නම් ගරු නාමය ලද එකම ලාංකේය රංගන ශිල්පියා වන්නේද ඔහුයි.

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සිංහල සිනමාවේ හොඳම විකට ගී ගායකයෙක්. ඒ වගේම වෘත්තීය ගරුත්වය රැක ගනිමින් සිටින ගෞරවාන්විත රංගන ශිල්පියෙක් ලෙසින් මා ඔහුගේ විශේෂත්වය දකිනවා. ඔහු කිසි දිනෙක මුදලට රංගනය බාල්දු වෙන්න ඉඩ නොතැබීම නළුවෙකු තුළින් මා දකිනා වටිනාම ගුණාංගයක්.

රංගනයේ ගෞරවය ඔහු ඉතා ඉහළින් අගයන පුද්ගලයෙක්. ඒ නිසාම මා දුටු ගෞරවාන්විත විකට නළුවා වන්නේ ඔහුයි.

‘අදට වැඩිය හෙට හොඳයි’, ‘ධීවරයෝ’, ‘වීර විජය’, ‘උඩරට මැණිකේ’ වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනයන් සුවිශේෂයි. එමෙන්ම චිත්‍රපට රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා.

ඉතාමත් දක්ෂ අයුරින් ගී ගයමින් රංගනයේ යෙදුනු නළුවෙක් ලෙසත් ඔහු විශේෂයි. වර්තමාන සිනමාවට අවශ්‍ය වන්නේ ඔහු වැනි වූ රංගන ශිල්පීන්. අනාගතය වෙනුවෙන් ක්‍රිස්ටි ලෙනාඩ් වැනි රංගන ශිල්පීන් කළා වූ මෙහෙවර අනභිභවනීය යි.

ජෝ අබේවික්‍රම

“මං ආවා මං ආවා

හිරබත් කාලා

ලකප් එකෙන් රිංගලා . . .”

ශ්‍රී 296 චිත්‍රපටයෙන් එදා සිංහල සිනමාව හෙල්ලූ ජෝ අබේවික්‍රම නම් රංගන ශිල්පියාගේ ශෛලිය අනෙකුත් සියලුම රංගන ශිල්පීන් අතර වෙනස් වුණා. ප්‍රේක්ෂකයන් කුල්මත් කරන්න ඔහු උපන් හපනෙක් වුණා.

ජෝ ප්‍රේක්ෂකයා සිනහ ගැන්වූයේ ඔහුගේ මුහුණේ ඉරියව්වලින්. ඒ වගේම ජෝ කියන්නේ සිංහල සිනමාවේ සිටි ඕනෑම චරිතයකට පණ දීමට හැකි වූ නළුවෙක්. විකට චරිත හරහා නරඹන්නා සිනහා ගැන්වූ ඔහු තවත් වරෙක ගැමියෙක් එසේම හමුදා නිලධාරියෙක් ලෙසත් වෙනස්ම වූ චරිත ගෙනහැර දැක්වූවා.

ප්‍රේක්ෂක හදවත් තුළට කිඳා බැසි මේ සංවේදි නළුවා හොලිවුඩයේ උපද ලද්දා නම් ඔස්කාර් සම්මානයෙන් පුද ලබනවා නොඅනුමානයි. ඇත්තටම ජෝ වගේ නළුවෙක් හෝ ඔහුට යම් තරමකින් හෝ සමකළ හැකි පුද්ගලයෙක් යළි බිහි වෙතියි කියා හිතන්නටවත් නොහැකි බව මගේ විශ්වාසය යි.

ඒ වගේම කිසිවෙකුටවත් ජෝ නම් රංගධරයා අනුකරණය කරන්නටවත් නොහැකි චරිතයක්. සත්‍ය වශයෙන්ම ජෝ අපේ සිනමාව ලද වටිනාම සම්පතක් ලෙසින් මා දකිනවා.

ෆ්‍රෙඩී සිල්වා

1972 වසරේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ සුජීවා චිත්‍රපටය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෝ දේව් ආනන්ද හට මා මගේ පාසල් කාලයේ මිතුරා වූ ෆ්‍රෙඩී හඳුන්වා දුන්නා. ඔහු රංගනයට පාසල් කාලයේ සිටම පෙම් කළා. අපි දෙන්නා එකට පාසල් ගියේ. ඔහු මගේ හොඳම මිතුරා වුණා. සුජීවා චිත්‍රපටයේ මම, ෆ්‍රෙඩී සමඟින් කාන්ති ලංකා රංගනයෙන් දායක වුණා.

සුජීවා චිත්‍රපටයෙන් ෆ්‍රෙඩී එක රැයකින් ජනප්‍රිය වුණා. එදා ජනප්‍රියතම නළු නිළි යුවළ වූ ගාමිණි, මාලිනි රංගනයෙන් දායක වූ එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය තිරගත වුණෙත් ඒ කාලයේදීමයි. එදත් සූරයා අදත් සූරයා දින පනහක් වනවිටදී සුජීවා දින පනහත් පසු කළා. එදා අපි දිනුවා. ඒක විශාල ජයග්‍රහණයක්.

ෆ්‍රෙඩී සිල්වා නම් වූ ඔහු ෙවිදිකාවේ ඉතාම හොඳ විකට ගීත ගායකයෙක් වුණා. ඔහු එදා ගැයූ විකට ගීත ඉතාමත් ආදර්ශවත්. “උපන් දිනේ ළඟ එන හින්දා”, “කුණ්ඩුමනී”, “අපෙ මාමා” වැනි ගීත ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය අදටත් එලෙසම පවතින්නේ ඔහුගේ විශේෂත්වය නිසාමයි.

සිංහල ගීත ක්ෂේත්‍රයට රොක් ඇන්ඩ් රෝල් සිංහල ගීත ප්‍රථමයෙන් ගායනා කළ ගායකයා වන්නේත් ෆ්‍රෙඩී. රංගන ශිල්පියෙකු ලෙසත් ගායන ශිල්පියෙකු ලෙසත් ෆ්‍රෙඩී අපට සිනමාවට දායාද කළ දේ බොහෝයි. එහි වටිනාකම මිල කළ නොහැකියි.

එල්. එම්. පෙරේරා

එල්. එම්. පෙරේරා සුරතලී චිත්‍රපටයෙන් අපේ සිංහල සිනමාවේ ගමන් ඇරඹූ ශ්‍රේෂ්ඨ විකට රංගන ශිල්පියෙක්. ඔහුත් එක් රැයකින් ජනප්‍රියත්වයේ ඉහළටම නැඟි නළුවෙක් ලෙසින් විශේෂ වෙනවා.

එක දවසක් මමත් සෙනඟ අතරින් පොරකාගෙන මොරටුව බෞද්්ධ මන්දිර ශාලාවට ඇතුල් වුණේ ඔහුගේ රංගනයන් බලන්නයි. මට ඔහුගේ රංගනයන් නරඹන්න තිබුණේ පුදුමාකාර ආසාවක්. කෙසේ හෝ එල්. එම් රිදී තිරයට හඳුන්වා දුන් සිරිල් පී අබේරත්නයන් මාගේ ගුරුතුමා ද වීම තවත් සුවිශේෂ සිදුවීමක්.

ඔහු තිර කතා රචනයේදී දැක්වූයේ විශිෂ්ට හැකියාවක්. හතර මහා නිධානය චිත්‍රපටයේ ‘උම් බෑ කිය කියා මරණ බයේ . . .’ ගීතය වෙනුවෙන් ඔහු රංගනයෙන් දායක වුණා. ඒක ගායනා කළේ මිල්ටන් පෙරේරා. මේ ගීතය එදා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා. මට මතකයි ඒ කාලයේ මිනිස්සු මේ නිසා හරක් මස් කෑම පවා අතහැරියා.

මගේ ජීවිතයේ ද පෙරළියක් වූ ‘හතර පෙරළිය’ චිත්‍රපටයේදී මට එල්. එම් මෙන්ම සුමනා ද හමු වුණා. ලංකාවේ පළමු ඔපෙරා චිත්‍රපටය වුණෙත් ‘හතර පෙරළිය’. සියලු දෙබස් කියවුණේ ගීතයෙන්. ඉන් පසු ‘හතර වටේ’ චිත්‍රපටයේදී මට ඔහුගේ බාලම සහෝදරයා ලෙසින් රංඟනයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. එදා මහා විශාල සෙනඟක් අතරින් රිංගලා ගිහින් එල්. එම්ගේ රංගනයන් බැලූ මට ඔහු සමඟින් රංගනයේ යෙදෙන්න ලැබීම විශාල සතුටක්.

බන්දු සමරසිංහ

බන්දු සමරසිංහ කියූ සැණින් මට මතකයට නැඟෙන්නේ ‘චංචල රේඛා’ චිත්‍රපටයේ ඔහු ‘දං චූටියෝ . . .’ යැයි කියමින් කළ ආමන්ත්‍රණය යි. හාස්‍යමය චරිත අතරේ ඔහුගේ චරිත ප්‍රේක්ෂකයන් අතරේ ඉතාම ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත්තා. ඔහුගේ හැකියාවන් දුටු මමත් මගේ ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චිත්‍රපටයට ඔහුගේ දායකත්වය ලබා ගන්න තීරණය කළා. එයින් ඔහු ලංකාවම හෙල්ලුවා කිව්වොත් මම නිවැරදියි.

ඔහුගේ විකට රංගනය සැබැවින්ම වෙනස්. වරෙත බැරෑරුම් චරිතයකට පණ දෙන ඔහු තවත් වරෙක ගායකයෙක්. එසේම තවත් අවස්ථාවක නිරූපණය කරන්නේ කාන්තා චරිතයක්.

ඒ වගේම ඔහු සාර්ථක තිර රචකයෙක්. සටන් නළුවෙක් ලෙසිනුත් ඔහුගේ රංගනය විශේෂයි. විකට ජවනිකා වගේම සටන්වල නිරත වීමෙන්ද ඔහු ප්‍රේක්ෂක අවධානය තමා වෙතම නතුකර ගන්න සමත් නළුවෙක්.

ඔහුගේ රංගනයෙන් ප්‍රේක්ෂකයා මවිත වූ බව කිවහොත් මා නිවැරදියි. තවමත් අඛණ්ඩව ක්ෂේත්‍රයේ රැඳී සිටින්න හේතු වන්නෙත් ඔහු සතු වන විශේෂත්වය නිසාම යි.

ටෙනිසන් කුරේ

ටෙනීත් අපේ ගමේ මගේ මිතුරෙක්. ඒ වගේම රංගන ක්ෂේත්‍රයේ විශේෂ වූ නළුවෙක්. ඔහු නිර්මාණය කළ ‘අපායේ තත්පර එක්දහස් අටසියයක්’ නාට්‍ය නරඹන්න මිනිසුන් එදා ගියේ හරියට වෙසක් බලන්න යනවා වගේ. ඔහු දායක වූ වේදිකා නාට්‍ය ලංකාවේ අස්සක් මුල්ලත් නෑර ෙවිදිකා ගත කරන්න වුණෙත් ඔහු ලැබූ ජනප්‍රියත්වය නිසාමයි.

ඒ ජනප්‍රියත්වය චිත්‍රපටවලින් තව තවත් ඉහළ නැංවුණා. දිනේෂ් ප්‍රියසාද්ගේ ‘නොම්මර එකයි’ චිත්‍රපටයේ වගේම ‘වරදට දඬුවම’ චිත්‍රපටයෙත් ඔහු පුදුමාකාර අන්දමෙන් ජනප්‍රිය වූවා. තිර කතා රචනයත් ටෙනී සතු වූ සුවිශේෂ හැකියාවක්.

‘දවල් මිගෙල් රෑ දනියෙල්’ චිත්‍රපටයෙන් මම බන්දු - ටෙනී සුසංයෝගය සිදුකරන්න තීරණය කළා. ඒ සාර්ථකත්වය අත්විඳින්නේ නොයෙකුත් නිර්මාණ හරහා යළි යළිත් බන්දු - ටෙනී එකට රංගනයේ නිරතවනු දැකීමෙන්. අධ්‍යක්ෂවරයෙකු ලෙස ටෙනී වැනි වූ නළුවෙකු සමඟින් කටයුතු කිරීම ඉතාම පහසු දෙයක්.

එසේම ඔහු අධ්‍යක්ෂවරයෙක් වූ ‘තෑන්ක් යූ බර්ටි’ චිත්‍රපටයෙන් ඔහුගේ අධ්‍යක්ෂණය සිංහල සිනමාවට දායක කිරීමේ සමාරම්භය සනිටුහන් කළා. ටෙනීගේ නාමය අපේ සිනමාවේ විකට නළු ලැයිස්තුවේ නොමැකෙන අන්දමින් සනිටුවන්ව තිබෙනවා. ඒ ඔහුගේ හැකියාවයි. දක්ෂතාවය යි.

රංගන ශිල්පීන් වූ පමණින් හාස්‍යය හැමෝටම ගෙන දෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මට සුවිශේෂ වූ මෙම හාස්‍යය රංගන ශිල්පීන් හත් දෙනා හැකියාවෙන් පරිපූර්ණ වූ උපතින්ම හාස්‍යය රැගෙනවිත් ලොවම සිනහ ගැන්වූ අපූරු විකට රංගන ශිල්පීන් හත් දෙනෙක්. ඔවුන්ගේ නාමයන් සිනමාවේ අමරණීයයි.