වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රසකතා

දුවගෙ නම්බර් ඩිස්කනෙක්ට්

පූජා උමාශංකර් මේ දිනවල නිර්මාණ කිහිපයකටම තම රංගන දායකත්වය සපයනවා. හරියට බැලුවොත් ඇය ලංකාවෙ නිළියකටත් වඩා කාර්ය බහුලයි. පූජා ගැන මොනවාහරි ලියන්න හිතුණ හින්දා ගත්තා පූජාගෙ පැරැණි අංකයට කෝල් එකක්. ප්‍රතිචාරයක් නැහැ. තවත් අංකයක් තිබුණා. ඒක වැඩ කරන්නෙ නැහැ. ඊළඟට හිතුණා පූජාගෙ අම්මට කතා කළොත් හොඳයි කියලා. ඇයගේ අංකයට ඩයල් කළා. ඒ දුරකථනය වැඩ.

හෙලෝ....

එහා අන්තයෙන් ඇය කතා කළා....

ආයුබෝවන් මේ සරසවිය පත්තරෙන් කතා කරන්නෙ.

ඔව් කියන්න.

පූජා ඉන්නවද?

පූජා නම් ෂූටිං. එයා පාන්දරම ගිහිල්ලා. මම ගෙදර ඉන්නෙ.

පූජාගෙ නම්බර්ස් එකක්වත් වැඩ කරන්නෙ නැහැනෙ.

ඔව් පුතා.... ඒවා ඩිස්කනෙක්ට් කරලා.

ඔබතුමිය කොහොමද එයාව කන්ටැක්ට් කරගන්නෙ.

මම වෙන කෙනෙක් හරහා තමයි එයාට කතා කරන්නෙ.

වෙන කෙනෙක් හරහා....?

ඔව්. පූජා දැන් ගොඩක් බිසී වෙලානෙ. මමත් සමහර දවස්වල එයාට කතා කරන්නෙ දුරකථනයෙන් විතරයි. උදෙන්ම යනවා රෑ වෙලා එනවා.

අපි කතා කළේ පූජා ගැන අම්මගෙන් වත් ගොසිප් එකක් දැන ගන්න. ඒත් වැඩේ හරිගියේ නැහැ. හැබැයි මේ කතාව ගොසිප් එකකටත් වැඩිය මරු. එයා ගෙදර හිටියට පූජාට අම්මා කතා කරන්නෙත් ෆෝන් එකෙන්. පූජාට ඉතින් මේ වගේ අම්මා කෙනෙක් ලැබිලා ඉන්න හින්දම හොඳයි.

සිංදු කිව්ව හොඳයි පැක්ටිස් කළා නම් මට හොඳයි

චන්ද්‍ර කුමාර් කඳනාරච්චිගෙ ගීත නෑසුන දෙසවනක් නැතිතරම්. ඒ වගේම ඔහුගේ ‘ඇගේ සිනහව තහනම්’ ගීතයට අප පෙම්බඳින්නේ එහි ඇති අපූර්වතම සුන්දරත්වය නිසයි. චන්ද්‍රකුමාර් එය ගයලා මේ වන විට වසර හතළිහක් පැනලා. ඒත් එදා වගේම අදත් චන්ද්‍රකුමාර් වගේම ගීතයත් තරුණයි. මේ කරුණු කාරණාව හින්දම චන්ද්‍රකුමාර්ගේ ගීත ආධුනික ගායකයො නිතර තරගවලදී ගයනවා. චන්ද්‍රකුමාර්ට හිටියා එක්තරා යාළුවෙක්. ඔහු නවක ගායකයෙක්. මේ තැනැත්තා නිතර ගයන්නෙ චන්ද්‍රකුමාර්ගෙ ගීතලු. ඔහු චන්ද්‍රකුමාර්ව හමුවුණ තැන්වලදී කියනවලු ‘මම ඔබතුමාගෙ ගීත මරුවට කියනවා’ කියලා. මේ විදිහට නිතර කියන නිසා චන්ද්‍රකුමාර්ට හිතුණලු ඔහුගෙ හඬින් තමන්ගේ ගීතයක් අහන්න. මේ කාලයේදීමයි අර නවක ගායකයට රිදම් ගුවන් විදුලිය සංවිධානය කළ සජීවී ප්‍රසංගයක් සඳහා ගී ගයන්න ඇරැයුම් ලැබිලා. ඔහු මේ බව චන්ද්‍රකුමාර්ට කිව්වලු. චන්ද්‍රකුමාර් එදා රිදම් සුසර කරගෙන මේ ගායකයා තමන්ගේ ගී රසවත්ව ගයන අන්දම අහන්න සූදානමින් හිටියලු. ඔන්න අර වැඩසටහන පටන් අරගෙන. නවක ගායකයෙක් ගී ගයලා. ඔහු බලාපොරොත්තු වුණාලු චන්ද්‍රකුමාර්ගෙන් දුරකථන ඇමතුමක්. නමුත් එහෙම කෝල් එකක් ආවෙ නැතිලු. දින දෙකකට පස්සෙ අර නවක ගායකයට චන්ද්‍රකුමාර්ව හමුවෙලා. ඔවුන් දෙදෙනාගේ සංවාදය වුණේ මෙන්න මෙහෙම.

මිත්‍රයා - චන්ද්‍රකුමාර් අයියා මගෙ ප්‍රෝග්‍රෑම් එක ඇහැව්වද?

චන්ද්‍රකුමාර් – ඔව්.

මිත්‍රයා - මම කිව්වෙ ඔබතුමාගේ සිංදු

චන්ද්‍රකුමාර් – ඔව්

මිත්‍රයා - මම හිතුවා ඔබ තුමා මට කෝල් එකක්වත් දේවි කියලා.

චන්ද්‍රකුමාර් – කෝල් එකක් දෙන්න තමයි හිටියේ.

මිත්‍රයා - මගෙ හොඳ කියන්න වෙන්න ඇති.

චන්ද්‍රකුමාර් – නැහැ

මිත්‍රයා - එහෙනම්.

චන්ද්‍රකුමාර් – ආයෙ මගෙ සිංදු කියනවා නම් ඔයා අපේ ගෙදර එන්න. ඇවිත් හොඳට ප්‍රැක්ටිස් කරලා කියන්න. මම ඒකට උදව් කරන්නම්. ඔයා සිංදු කිව්වා හොඳයි. නමුත් ප්‍රැක්ටිස් කරලා කිව්වා නම් මට හොඳයි. ඔන්න ඔය ටික කියන්නයි මම කෝල් කරන්න හැදුවෙ.

මම හිතන්නෙ එදායින් පස්සෙ අර මිත්‍රයා චන්ද්‍රකුමාර්ගෙ ගී කියන්නෙ නැතිව ඇති.

හොඳ වැඩට නෑ ප්‍රචාර

මේනකා මධුවන්ති පසුගිය කලෙ වැඩිය පෙන්න හිටියෙ නැහැ. ටෙලි නාට්‍යවලටත් එකතුවුණේ හරිම අඩුවෙන්. කෙසේ නමුත් ඇය මුහුණු පොතට නම් දිනෙන් දන තමන්ගෙ අලුත් පින්තූර එකතු කරනවා. ඒවා දකින බොහෝ දෙනෙක් කියන්නෙ මේනකා සුදුවෙලා, ලස්සන වෙලා කියලා. ඇත්තටම මේනකා ඇයි මෙහෙම සද්දයක් නැත්තෙ? ඇය එහෙම ඉන්නෙ ඇයි කියලා අපි හොයා ගත්තා. මේනකා වත්තල පැත්තෙ සාරි ෂොප් එකක් ඕපන් කරලා. ඇය මේ දිනවල ඒ වෙනුවෙන්ම හරියට මහන්සි වෙනවලු. ව්‍යාපාරික ලොවේ හිනිපෙන්තටම යන්නට ඇය උත්සාහ කරමිනුයි ඉන්නෙ. මේ අතරෙ මේනකාට දුක හිතෙන දෙයකුත් වෙලා. ඒ තමයි මාධ්‍ය මගින් මේනකාගෙ අලුත් වැඩේට ප්‍රචාරයක් නොදුන්න එකට. ඇය කියන්නෙ එයාට මඩගහන වෙලාවට හැමෝම මඩ ගැහැව්වලු, හොඳවැඩක් කරද්දි කවුරුත් නැතිලු. අනිත් අය ගැන නම් අපි දන්නෙ නැහැ මේනකා, මහේෂිගෙයි ඔයාගෙයි හුටපටේ වෙලාවේ ඒකත් අපි සරසවියෙ දැම්මා. ඒ වගේම ඔයාගේ අලුත් වැඩේ ගැනත් ඔයාට නොකියම පත්තරේ පළකළා. ව්‍යාපාර ලොවේ ජය කෙහෙළි නංවන්න අපි ඔයාට සුබ පතනවා මේනකා ඔන්න ආයෙනම් අනවශ්‍ය දේවලට පැටලෙනවා එහෙම නෙමෙයි.

උපැස් යුවළ පිටින් නිදියන දියණියට එඩ්වඩ්ගෙන් කණ්ණාඩි පරිත්‍යාගයක්

අපේ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහත්තයාගේ පුංචි හොරයක් පසුගිය දිනක හෙළිවුණා. ඒ කතාව දිග හැරුණෙ ප්‍රසිද්ධ ස්ථානයක හින්දා එතැන හිටපු අය නම් එඩ්වඩ්ගේ විස්තරේ අහලා හොඳටම හිනාවුණාලු. ඉතින් ඔබට දැනගන්නත් එක්ක ඒ සුන්දර හොරය මොකක්ද කියලා අපි දැන් කියන්නම්. එඩ්වඩ් අයියත් මේ කතාව කියවයිනේ. ඒ හින්දා මේ වාක්‍යත් එකතු කරන්න හිතුවා. එඩ්වඩ් අයියේ, මේ සිද්ධිය කිවුවෙ නම් චරිතා අක්කා නම් නෙවෙයි හොඳද? දැන් හරි. මෙන්න මේකයි සිද්ධිය.

සාමාන්‍යයෙන් එඩ්වඩ්ගේ අතට වැඩිපුර මුදලක් ලැබුණම කෙළින්ම යන්නෙ කණ්ණාඩි කුට්ටම් විකුණන තැනකටලු. (අපේ සමහර අයට නම් අතට වැඩිපුර මුදලක් ලැබුණොත් යන්නෙ රෙස්ටුරන්ට් එකකටනේ) එහෙම ගිහින් ගන්නවලු පුංචි කණ්ණාඩි දෙකක්. ඒක අරන් කෙළින්ම යනවලු ගෙදරට. ගිහින් බලනවලු දුව නිදිද කියලා. හොරෙන් දුවගේ කාමරෙන් ඒ කණ්ණාඩි දෙක තියලා එනවලු. එඩ්වඩ් සාමාන්‍යයෙන් මෙය පුරුද්දක් වශයෙන් කරනවා කියලයි ආරංචිය. එඩ්වඩ් මේ විදිහට කණ්ණාඩි ගේන්නෙ ඇයි කියලා දන්නවද? නැහැනෙ... එඩ්වඩ්ගේ ආදරණීය දියණිය ශාරණ්‍යාට අමතක වෙනවලු නිදියද්දි කණ්ණාඩිය ගලවන්න. ඉතින් ඇය කණ්ණාඩිය පිටින්ම නිදාගෙන උදේ නැගිටින්නෙ කණ්ණාඩියෙ කෑලි එකතු කරන ගමන්ලු. මේ හින්දයි එඩ්වඩ් නිතර කණ්ණාඩි ගේන්න. ඒ වගේම එඩ්වඩ් දන්නවලු දුවට හරියන කණ්ණාඩි වර්ගයත්.