වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඈත රන් විමන් ගී පද රචනය මගේ ප්‍රියා බොරු කියනවා

ඈත රන් විමන් ගී පද රචනය මගේ ප්‍රියා බොරු කියනවා

ගීත රචක ෂෙල්ටන් වීරරත්නගෙන් චෝදනාවක්

'ඈත රන් විමන් තුළින්

පාට සේලයෙන් සැදී

මුදු සීත හිම මුදුන් අතරින්

එබී බලනවා . . .'

ශක කිහිපයක් පුරා ඇසුණු ගීතලෝලී සිත්ගත්ත ඇතැම් ගීත සම්බන්ධයෙන් වරින් වර විවිධ ගැටලු ඇති වෙයි. ගායන ශිල්පී ප්‍රියා සූරියසේන ගායනා කරන 'ඈත රන් විමන්' ගීිතයේ පද රචනය සම්බන්ධයෙන් ද පසුගියදා ගැටලුවක් මතු විය. ඒ 'හිරු' රූපවාහිනියෙන් විකාශය වූ 'සඳගිරි මුදුන' වැඩ සටහනේදී ප්‍රියා සූරියසේන විසින් 'ඈත රන් විමන්' ගී පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් රචිත බැව් ප්‍රකාශ කිරීම නිසාවෙන්ය. මෙම ගීතයේ පද රචකයා ප්‍රේමකීර්ති නොව තමා බැව් ෂෙල්ටන් වීරරත්න පවසයි. ප්‍රියාගේ ප්‍රකාශයෙන් අතිශය සිත් වේදනාවට පත් වී සිටින ෂෙල්ටන් අප අමතා සිදු වූ අසාධාරණය පිළිබඳව හෙළිදරව් කළ අතර අප ඔහු සමඟ කළ කතාබහ සරසවියට ගෙන එමු.

පසුගිය මාර්තු 25 වැනිදා 'හිරු' රූපවාහිනියෙන් විකාශය වූ 'සඳගිරි මුදුන' වැඩ සටහන මගේ ජීවිත කාලය තුළදී රූපවාහිනී වැඩ සටහනකින් මට අත් විඳින්නට වූ ලොකුම සිත් වේදනාව ගෙන දුන්නු වැඩ සටහන වුණා.

මා ගරු කරන කලාකරුවන් දෙදෙනෙකු වන රත්න ශ්‍රී විජේසිංහ සහ නදීක ගුරුගේ දායක වූ මෙම වැඩ සටහනට එදින සහභාගි වූ ප්‍රියා සූරියසේන නම් ගායකයා ප්‍රකාශ කළ මුසාවක් නිසාවෙන් තමයි මට මේ සිත් වේදනාව ඇති වුණේ. (ඔහු ගායකයෙකු කියා පවසන්නවත් මං කැමැති නැහැ. ඒ තරම් මුසා මවා ප්‍රකාශ කරන පුද්ගලයෙකුව හඳුන්වන්න ඕනෑ 'ටොම් පචයෙක්' කියලයි. මෙතැන් සිට මං ඔහුව හඳුන්වන්නේ ටොම් පචයා ලෙසයි කියමින් ෂෙල්ටන් ආවේගශීලී වූවා).

සැබෑ ගී පද රචකයා ජීවත්ව සිටිද්දී ඒ බැව් දැන දැනම බොරුවක් මවා පා ප්‍රකාශ කිරීමෙන් ඔහු කරන්නේ නින්දිත වරදක්. පාපයක්. මං තාමත් පුදුමාකාර දුකකින් හා කම්පාවකින් ඉන්නේ. ඔහු මේ 'ඈත රන් විමන්' ගී පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්ගේය කියා කරපු අමූලික බොරුවක් හින්දා. මමයි මේ ගී පද රචනයේ අයිතිකාරයා. ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ තනුවකටයි මං මේ ගී පද ලිව්වේ.

අප දන්නා පරිදි මෙම ගී පද රචනය මුලින්ම ගායනා කෙරුණේ 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායමේ ගීතයක් ලෙසයි.

ඔව්. 60 දශකයේ මා පාසල් ශිෂ්‍යයෙක්ව සිටිද්දී ක්ලැරන්ස් සමඟ එකතු වෙලා ඔහුගේ තනුවට මේ 'ඈත රන් විමන්' පද ලිව්වේ රුවන්වැල්ලේ 'මහින්ද' මල් ශාලා අයිතිකරුගේ නිවසට ගොස් සිටියදී එහිදීයි. එදා අපි දෙන්නා ක්ලැරන්ස්ගේ තනු අනුව පදමාලා දෙකක් ලිව්වා.

ක්ලැරන්ස් ලියුවේ 'ඈත අපිට හිම කන්දෙන්' පද මාලාවයි. මගේ 'ඈත රන් විමන්' පද මාලාව මුලින්ම ගායනා කළේ 'මූන්ස්ටෝන්' සංගීත කණ්ඩායම විසිනුයි. ඒ වගේම මං මේ ගී පදමාලාව ලියුවෙත් 'මූන්ස්ටෝන්' කණ්ඩායමට ගායනා කිරීමට තමයි. එතකොට ප්‍රියා ගායකයෙක් වෙලත් නැහැ.

* 'මූන්ස්ටෝන්' කණ්ඩායම මුලින්ම 'ඈත රන් විමන්' ගීතය ගායනා කළ බවට සාක්ෂි ඔබ සතුව තිබෙනවාද?

මා ළඟ තිබෙන සාක්ෂිවලට අමතරව තවත් ජීවමාන සාක්ෂිත් තිබෙනවා. ඒ කාලේ මේ ගීතයේ 'අද රෑට අද රෑට' යන පද හිතවතුන් අතර හරියට ජනප්‍රිය වෙලා තිබුණා.

* ඇනස්ලි මාලේවනටත් ඒ මතකය ඇද්ද?

ඇනස්ලිගෙන් ඇහැව්වොත් ඇනස්ලිත් ඒ ගැන කියයි. ඒ කාලේ ඇනස්ලිත් 'මූන්ස්ටෝන්' කණ්ඩායමේ උන්නානේ.

* ක්ලැරන්ස් විජේවර්ධන සහ ප්‍රේමකීර්ති ද අල්විස් ජීවත්ව උන්නා නම් මේ ගැන කුමක් පවසයිද?

ක්ලැරන්ස් උන්නා නම් ඔහු ඔය බොරුව කියන්නේ නැහැ. ප්‍රේමකීර්ති උන්නා නම් 'ගොනෝ මේ මං ලියපු සිංදුවක් නෙමේ' කියලා කියයි. ඔහු නොදන්නා තවත් කාරණයක් තියෙනවා. ඒ මේ පදමාලාවේ 'ගීත රාවයෙන්' යනුවෙන් ගැයෙන තැන සිට අවසන් පද ක්ලැරන්ස් මා ලවා ලියවා ගත්තේ මොහුට ගායනා කරන්න දුන් අවස්ථාවේදී බව. මොකද මුලින් 'මූන්ස්ටෝන්' ගායනා කළ පද මාලාවට මෙහි අවසන් පද ඇතුළත් වී තිබුණේ නැහැ. ප්‍රේමකීර්ති ලියූ ගී පදමාලාවක අවසන් පද මා ලවා ලියවා ගන්න කැලැරන්ස්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ක්ලැරන්ස්ටත් ගීත ලියන්න පුළුවන්කම තිබුණනේ.

* ප්‍රියා සූරියසේන පැවසුවේ ප්‍රේමකීර්ති විසින් ශබ්දාගාරයේදී විනාඩි දහයකින් 'ඈත රන් විමන්' පදමාලාව ලියා දුන් බැව් නේද?

බලන්න කොහොමද ඔහු මං ජීවතුන් අතර සිටිද්දීම මෙහෙම අමු බින්නයක් (ගොතපු බොරුවක්) ඇද බෑවේ. හැබෑ අයිතිකරුවා හදවතින් හඬයි කියලවත් ඔහුට සිහි වුණේ නැද්ද. මට මතකයි ක්ලැරන්ස් ජෙම්ටෝන් තැටි නිපද වූ හෙට්ටිආරච්චි මහත්මයා සමඟ 'ඈත රන් විමන්' ප්‍රියාට දෙන්න හදද්දී මම ඊට විරුද්ධ වුණු හැටි. නෙලූ ශබ්දාගාරයේදී එදා ක්ලැරන්ස් මාව කැමති කරවාගෙන පද මාලාවෙ අවසන් පද ලියවා ගත්තේ.

ප්‍රියා එතැන උන්නා නම් එදා දැනගන්න තිබුණා ක්ලැරන්ස් හා මා මොන තරම් අවබෝධයකින් කටයුතු කළා ද කියලා. එදා අපි මා ලියූ මේ 'ඈත රන් විමන්' ගීතයේ මෙන්ම ආචාර්ය අජන්තා රණසිංහ ලියූ 'සැන්දෑ යාමේ' ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ 'රටකින් එහා' සහ ක්ලැරන්ස්ම ලියූ 'පැතුම් පිරීලා' ගීත හතරේම (සංගීත රටා) පටිගත කළා. සුපර් ගෝල්ඩන් චයිම්ස් සමඟ ස්ටැන්ලි අයියාත් (ස්ටැන්ලි පීරිස්) මේ ගීත සංගීතවත් කරන්න එදා එක් වී උන්නා.

* මීට ඉහත මේ ගී පද රචනයේ අයිතිය පිළිබඳව ගැටලු මතු වූ අවස්ථා තිබුණාද?

ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ 2000 මිලේනියම් වැඩ සටහනට එනම් අබේවර්ධන බාලසූරියගේ 'නන්දන වින්දන' වැඩ සටහනකට තමයි මුලින්ම ප්‍රේමකීර්තිගේ නම යොදා ගත්තේ මේ පද රචනයට. ප්‍රියා තමන්ගේ ගී ලියා ඇති පද රචකයන්ගේ නම් නොදන්නා හැම විටකම වාගේ කාගේ ගීතයකට වුණත් යොදන්නේ ප්‍රේමකීර්තිගේ නමයි. කෙසේ හෝ මා මෙම වැරැද්ද නිවැරැදි කරන ලෙස වහාම ජාතික රූපවාහිනියට දැනුම් දුන්නා. (2001. 02. 18). ඉන් පසු 2001. 04. 23 වැනිදා ජාතික රූපවාහිනියේ සභාපතිවරයාටත් දැනුම් දුන්නා. මා ලියූ ගීත 45 ක ලැයිස්තුවක් සීමාසහිත ශ්‍රී ලංකා ප්‍රකාශන හිමිකම් සමාගමේ ලියා පදිංචි කර තිබෙනවා. ඊටත් මේ ගී පදමාලාව ඇතුළත් වී තිබෙනවා. එහෙව් මගේ ගී පද රචනය ගැන ප්‍රසිද්ධ මාධ්‍යවලින් මෙවැනි පට්ටපල් කෙබර (බොරු) පවසා ජනතාව මුලා කරන්න මොහුට කිසිම අයිතියක් නැහැ.

* ඔබ මේ ගැටලුව විසඳා ගැනීමට කවදාක හෝ ප්‍රියා සූරියසේන දැනුවත් කර තිබෙනවාද?

එක් වතාවක් දෙවතාවක් නෙමේ. හතර පස් වතාවක්ම මම ඔහුට මේ ගැන පවසා තිබෙනවා. වරක් ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප්‍රධානි අජිත් ජයවීර මට පැවසුවා 'ප්‍රියාව එවලා මේ ගැටලුව විසඳ ගන්න' කියලා. මං කොපමණ වතාවක් දැනුවත් කළත් ඔහු 'ඈත රන් විමන්' පද රචනයට මගේ නම සඳහන් කරන්න ඒ එකම අවස්ථාවකදී හෝ කිසිම පියවරක් ගෙන නැහැ. ප්‍රේමකීර්ති එකම එක වචනයක්වත් නොලියූ ගීතයකට ඔහුගේ නම යොදා මගේ බුද්ධිමය දේපල කොල්ල කන්නත්, සංගීත ක්ෂේත්‍රය ගඳ ගස්වමින්න බුද්ධිමත් කලාකරුවන් දෙදෙනෙකු වන රත්න ශ්‍රී විජේසිංහ සහ නදීක ගුරුගේවද දායක කරගෙන රූපවාහිනී ප්‍රේ්ක්ෂක ගීත ලෝලීන් බොරු කියා රවටන්නත් තරම් ඔහු නිර්ලජ්ජිතයෙකු වෙලා.

* තවදුරටත් 'ඈත රන් විමන්' ගී පද රචනය පිළිබඳව ඔබට පැවසීමට ඇත්තේ කුමක්ද?

ගී පද මාලාවක් කියන්නේ ගී පද රචකයකුගේ චිත්තාකර්ෂණීය සිතුවිල්ලක්. එහි සැබෑ හිමිකරුවෙකුගේ හෘද සාක්ෂියට වද වේදනා දෙන අයුරින් කටයුතු කරන්නේ නම් ඔහු කෙසේවත් ගායකයෙකු වෙන්න බැහැ. මනුස්සයෙකු වෙන්නත් බැහැ. මේ ගීය ගැයීමෙන් ප්‍රියා බැබලුණා වගේම ආධුනික ගායකයෙකු මේ රටේ සුපිරි තරුවක් වූ අයුරුත් මුළු රටම දන්නවා. මගේ පදමාලාව ඔවුන්ට බැබලෙන්න සම්මාදම් වුණා. වහාම 'ඈත රන් විමන්' ගී පද රචනයේ රචකයා මා බව ඔහු නිවැරැදිව ප්‍රකාශ කර මගේ ගී පද රචනයේ හිමිකම මට ලබා නොදුන්නොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මං පියවර ගන්නවා. ඒ උදෙසා අවශ්‍ය සියලුම සාක්ෂි මා සතුව තිබෙනවා'.