වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




නිෂ්පාදක සහ ආයෝජක

නිෂ්පාදක සහ ආයෝජක

වර්තමානයේ සිනමා තාක්ෂණය කොලු කෙල්ලන් අත පෑන් පැන්සල් ගානට වැටී ඇත්තේය. ලෝක සිනමාවේ පුරෝගාමී සිනමාකරුවකු වන ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් පැවසුවේ කවදාක හෝ දවසක සිනමාව එබඳු යුගයක් වනු ඇතැයි කියාය. එදා ග්‍රිෆිත් සිහින මැව්වේ මෙහෙව් යුගයක් ගැන සිතා නොවේ. කෙසේ වෙතත් රූප තාක්ෂණය කොලු කෙල්ලන් අත කෙළි බඩුවක් වීම සමඟ චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය වන සංඛ්‍යාවේද සෘජු වැඩිවීමක් දක්නට ලැබේ.

චිත්‍රපට නිෂ්පාදන සංඛ්‍යාව සඳහා එබඳු වැඩිවීමක් දැක ගැනීම එක් පැතතිකින් හොඳ වුව ද, එම නිෂ්පාදන සංඛ්‍යාව ඉහළ යෑමෙන් පමණක් චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සෑහීමකට පත් වන්නට හැකි වේද යන ගැටළුව නිරතුරුව පැන නගී. මෙයට වසර ගණනාවකට පෙර චිත්‍රපට නිෂ්පාදනය හිටි අඩියේ ඉහළ ගිය අතර නිෂ්පාදිත චිත්‍රපට පෝලිම දිගුවීමත් ඒ නිසා බොහෝ චිත්‍රපට කල් ඉකුත්ව යෑමත් සමඟ සමස්ත කර්මාන්තයම ගොඩ නැඟිය නොහැකි ලෙස ගිලී ගියේය. වර්තමානයේ සිනමා කර්මාන්තයට එලැඹෙන තරුණ සිනමාකරුවන් බොහොමයකි. ඔවුන් සමඟ සිනමාවට නිෂ්පාදකයන් ලෙස එළි දකින සංඛ්‍යාව ද අති විශාලය. බොහෝ බලාපොරොත්තු කඳ බැඳ ගෙන සිනමාවට පිවිසි බොහෝ නිෂ්පාදකවරුන් සිය මුල්ම චිත්‍රපටය හරි අඩක් රූ ගැන්වෙද්දීම යළිත් චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය නොවන බව පවසති. සිනමාව වැනි විමෝදාස්වාදී කර්මාන්තයක ආරම්භයේම එලෙස උකටලී වන්නේ ඇයි?

ලෝක සිනමාවේ නිෂ්පාදන ව්‍යුහය සලකා බලද්දීම මෙරට චිත්‍රපට කර්මාන්තය ආරම්භයේදීම වරදවා ගත් 'ටයිටලයක්' නම් නිෂ්පාදක යන්නය. චිත්‍රපට සඳහා ආයෝජනය කරන බොහෝ දෙනෙක් නිෂ්පාදකවරු නොවෙති. ඔවුන් ව්‍යවසායකයන්ය. මෙරට චිත්‍රපට කර්මාන්තයෙන් නිෂ්පාදකවරයා ලෙස අර්ථ දැක් විය හැකි අය සිටියේ කිහිප දෙනෙකි. එවකට ලාංකික සිනමාවේ මෝගල්වරයකු බඳු කේ. ගුණරත්නම් එබන්දෙකි. ඔහු චිත්‍රපට නිෂ්පාදනයේදී සුදුසු අධ්‍යක්ෂවරයා ද, සුදුසු තිර නාටක රචකයා ද තෝරා ගත්තේය. සමාගම වෙනුවෙන් ආයෝජනයේදී ඔහු මෙන්ම තවත් හවුල්කරුවෝ වෙති. මේ තත්ත්වය අපේ සිනමාවේ බිඳ වැටෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේය. ආයෝජකයන් සොයා ගැනීම දුර්වලවීම්, චිත්‍රපට නිෂ්පාදකවරුන් වෙනත් ව්‍යාපාර කරා ඇදීයාමත් සමඟ අපේ චිත්‍රපට කර්මාන්තය අසරණ බවට පත් විය. සැබෑ නිෂ්පාදකවරයකු යනු චිත්‍රපටයේ අධ්‍යක්ෂටත් වඩා ඉහළ දැනුමැත්තෙකු වෙයි.

ලෝක සිනමාවේ බොහෝ විට මුලින් අධ්‍යක්ෂවරු පසුව නිෂ්පාදකවරු වන නමුත් අපේ සිනමාවේ වෙන්නේ නිෂ්පාදකවරු පසුව අධ්‍යක්ෂවරයකු වීමය. එය එක් අයකු ළඟ අත්දැකීම් ද අනිකා මුදල් ද සම්මාදම් කොට හවුල් ව්‍යාපාරයක් අරඹා ටික කලකදී එකෙකු ළඟ මුදල් ද, අනෙකා ළඟ අත්දැකීම් හුවමාරු කරගන්න ජාතියේ කතාවකි. චිත්‍රපට කර්මාන්තයක් ඇති අසල්වැසි ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම රටක අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු වෙනවා විනා, නිෂ්්පාදකවරයකු පසුව අධ්‍යක්ෂවරයකු වනුයේ කලාතුරකිනි. එසේ අධ්‍යක්ෂවරයකු වනුයේ තමන්ට අවශ්‍ය චිත්‍රපටය තමන්ටම තනා ගැනීම සඳහාය. ෆුල් මොන්ටි, පලුකවිල් වැනි සම්මානනීය චිත්‍රපට නිපද වූ උබර්තෝ පැසොලිනි මචං චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඒ ආකාරයටය.

අපේ රටේ චිත්‍රපට ආයෝජකයා එයට එක් වනුයේ එම කර්මාන්තය සඳහා ඇති ළැදියාව හේතුවෙනි. මෙරට චිත්‍රපට නිෂ්පාදකවරුන් යනුවෙන් සම්මත වූ පිරිසක් නැත. ඒ නිසාම චිත්‍රපට අයෝජකයා නිෂ්පාදක වරයාගේ ටයිටලයට උරුමකම් කියයි. ඔහු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ මෙලෝ හසරක් දන්නේ නැත. නිර්මාණකරණය යනු ඇන්දීමේ කලාවේ එක් අංගයකි. බොහෝ සිනමාකරුවන් (බහුතරය මා සමඟ උරණ නොවෙත්වා) සිනමාව සම්බන්ධව යම් ප්‍රමාණයක ඇල්මක් ඇති ආයෝජකයන්ට සිනමා ලෝකය පෙන්වා දෙන්නේ විසිතුරු ලෝකයක් හැටියටය. ඩිල් ෆිල්ම්ස් චිත්‍රාගාරයේ අධිපති වූ කලකට ඉහත අභාවප්‍රාප්ත වූ ඩිල්මන් ජයරත්න මහතා ඒ දවස්වල මට අපූරු කතාවක් පැවසුවේය. චිත්‍රපටය ආරම්භයේදී බෙන්ස් කාරයේ නැඟී තමා හමු වන ඇතැම් නිෂ්පාදකවරු චිත්‍රපටය තිරගත වන විට පැමිණෙන්නේ බස් එකේ යන්න කීයක් හරි ඉල්ලා ගන්නටය. එය ඇත්තකි. චිත්‍රපට නිෂ්පාදනයට එක් වන ආයෝජකයන් චිත්‍රපට කර්මාන්තයට එක් වනුයේ ඒ පිළිබඳ පෙන්වා දෙන හුදු සුරංගනා කතාවලින් මත් වෙමිනි. ඕනෑම ව්‍යාපාරයක් හැම විටම අතුරු අන්තරා ගොඩ නඟන දෙයකි.

ව්‍යාපාරය සඳහා ආයෝජනය කරනුයේ එම දශාවන් හොඳින් අවබෝධ කොට ගෙනය. මහ පාරේ බැනියම් විකුණන්නට එක්වන කොලු ගැටයා නගරයේ දැවැන්ත මන්දිර හිමි රෙදි සාප්පු ව්‍යාපාරිකයකු වනුයේ එම ව්‍යපාරයේ අග මුල සියල්ල ඔහු දන්නා හෙයිනි. නැතහොත් එම ක්ෂේත්‍රයේ ඔහුව ඇන්දිය හැකි ජගතකු නොසිටින නිසාය. එහෙත් ඔහු ආතක් පාතක් නැතිව අත ගසන චිත්‍රපට හරහා උපයා ගත් සබ්බ සකල මහා දේපල පමණක් නොව නම්බුව ද නැති කර ගනී. ඕකා නැති වුණේ බයිස්කෝප් කරලා යැයි අසනවාට වඩා හෙණ ගහලා මලා යැයි අසා ගැනීම නම්බුය. චිත්‍රපට සඳහා පොදි බැඳ ගත් බලාපොරොත්තු තබා ගත් තරුණ අයෝජකයන් චිත්‍රපට සඳහා අයවැය සකසනුයේ එය රූගන්වන තුරු පමණි. පසු නිෂ්පාදනය සඳහා පමණක් නොව සමස්ත චිත්‍රපටයටම වැඩි වැයක් එය තිරගතවීම සඳහා යෙදිය යුතු වග ඇතැම් ආයෝජකයන් දැනගන්නේ චිත්‍රපටයේ හරි අඩක් තැනූ විටය.

ඒ වන විට බැඳ ගත්තු බෙරය ගැසිය යුතු තැනට ඔහු පත්ව ඇත. මුලදී ලක්ෂ 50 ක් තිබුණොත් ඇතැයි හදන්නට සැලසුම් කළ චිත්‍රපටය ලක්ෂ 150 ද ඉක්මවා ඇත. ඒ සියල්ල සැලසුම් කළත් චිත්‍රපටය තිරගත කරවීමට නැතහොත් නිෂ්පාදනය වෙළෙඳපොළට යැවීමට සැලසුමක් නැත. පසුගිය කාලයේ චිත්‍රපට නිෂ්පාදනයෙන් රට හොල්ලමියි සිතා ආයෝජන කළ බහුතරයක් අද චිත්‍රපටයක් සිහිනෙන්වත් දකින්නට අකමැතිය. ඒ සියල්ල කළද චිත්‍රපටය නරඹන්නට ප්‍රේක්‍ෂකයෝ නොඑති. ඔවුන් වෙනත් විනෝදාශ්වාදයන් සඳහා යොමු වෙති. එහෙත් වෘත්තීය නිෂ්පාදකවරු මේ ව්‍යාපාරය දැනා හඳුනා ගන්න නිසා ඔවුන් ඒ අවදානමෙන් ගැලවෙන මං දනිති. වර්තමානයේ ලෝක සිනමාව ව්‍යාපාරයක් ලෙස ඉස්මතු වනුයේ නිෂ්පාදකවරුන්ගේ බල මහිමය නිසාය. 'හම් දිල්කේ චුකේ සනම්' 'දේව්දාස්' වැනි චිත්‍රපට හරහා අධ්‍යක්ෂණයට පිවිසෙන සංජය ලීලා බන්සාලි වර්තමාන ඉන්දියානු සිනමාවේ බලසම්පන්න නිෂ්පාදකවරයෙකි. ලාංකික සිනමාවේ ඉතිහාසය විමසා බලන විට නිෂ්පාදකයා හා ආයෝජකයා අතර වෙනස එකල කදිමට හැඳින්විය හැකිව තිබිණි.

ශ්‍රීමත් චිත්තම්පලම ඒ. ගාඩිනර්. එම්. එස්. නායගම්, කේ. ගුණරත්නම් වැනි නිෂ්පාදකවරු හුදෙක් ආයෝජකයන් නොවූහ. ඔවුහු පරිසමාප්ත අර්ථයෙන්ම නිෂ්පාදකවරු වූහ. සෙරන්ඩිබ් සමාගම ගොඩ නැඟූ ශේෂා පලිහක්කාර ද එවැන්නෙකි. ඔහු සතුව අති විශල මුදලක් නොතිබුණ ද ආතර් සී. ක්ලාක් වැන්නන්ගේ ධනය යොදවා ඒවා නිසි ලෙස ආයෝජනය කරමින් 'රන්මුතු දූව', 'ගැටවරයෝ' වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට ඔහු සමත් විය. නිෂ්පාදකවරුන්ගේ බලවත් වීම ඇතැම් සිනමාකරුවන්ට ගැටලුවක් වනුයේ ඔවුන්ගේ අනන්‍යතාව හා ස්වාධීනත්වයට එයින් බලපෑමක් ඇති වෙනවා යයි සැක කරන හෙයිනි. එහෙත් හරිහමන් සිනමාව ගැන දන්නා අධ්‍යක්ෂවරයෙකුට එය විශාල ගැටලුවක් වන්නේ නැත.

ස්ටීවන් ස්පීල්බර්ග් නිර්මාණය කරන ලද 'ජෝ්ස්' චිත්‍රපටය ආරම්භක ජවනිකාවේ දියනාන යුවතිය ගිලගන්නා මෝරාගේ දර්ශනය එහි මුල් රූප පෙළේදීම සිනමාකරු විසින් ඉදිරිපත් කර තිබිණි. චිත්‍රපටය නැරැඹූ එහි නිෂ්පාදක රිචඩ් ඩී ෂානුක් එයින් පසුව බිහිසුණු මෝරාගේ රූපය ඉවත් කළේය. ඒ වෙනුවට දියෙහි පීනන යුවතියගේ දෙපා වෙතට සමීප වන රූපයක් සහ එයට අදාළ සංගීත කණ්ඩය පමණක් ඉතුරු කළේය. ඒ නිසා 'ජෝස්' චිත්‍රපටය අවසාන වනතුරු බිහිිසුණු මෝරකු පිළිබඳ චිත්ත රූප මවමින් ත්‍රාසයෙන් වෙළෙන පේ‍්‍රක්ෂකයෝ අන්තිම දර්ශනයේදී පුටු පෙරළාගෙන එළියට දිව ගියහ. චිත්‍රපටයේදී මුල් ජවනිකාවේදීම ස්පිල්බර්ග් කී හැටියට මිනී මෝරා ඉදිරිපත් කළේ නම් එහි සංත්‍රාසය ඇල්මැරුණු එකක් වනු නියතය. නිෂ්පාදකගේ කටයුත්තෙන් 'ජෝස්' පමණක් නොව තරුණ අධ්‍යක්ෂවරයකු වූ ස්පිල්බර්ග් ද ගොඩ ගියේය.

මෙයට හා සමාන සිදුවීමක් මගේ මතකයට එයි. මට මේ බව හෙළි කළේ 1997 වසරේදී මට හමු වූ ප්‍රවීණ සිනමාවේදී එම්. මස්තාන්ය. අපේ රටේ අලුත් සිනමා පරම්පරාවක් ගොඩ නැං වූ මස්තාන් ඒ වන විට එවකට මදුරාසියේ (චෙන්නායි) විශ්‍රාම සුවය ගත කරමින් සිටියේය. ඔහු එදා සරසවියට හෙළි කළ අන්දමට අපේ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන 'අල්ලපු ගෙදර' චිත්‍රපටය අට වතාවක් රූගත කරන ලද චිත්‍රපටයක් විය. එහි වැඩ අරඹා තිබුණේ 'ව්ට්ටඩියෝ' නමිනි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා නිෂ්පාදක කේ. ගුණරත්නම්ගේ යෝජනාව තිබුණේ එඩී ජයමාන්න ගැනය. එහෙත් අධ්‍යක්ෂ මස්තාන්ගේ යෝජනාව වූයේ එවකට නැඟී එමින් සිටි ජෝ අබේවික්‍රමයන්ය. ජෝ අබේවික්‍රමයන් චිත්‍රපටයට තෝරා ගන්නා විට සිටියේ පැපොල රෝගය වැළඳීය. නවක නළුවාගේ තුවාල සුව වනතුරු රූප ගත කිරීම් කල් දැමීමට මස්තාන් සමත් විය. නිෂ්පාදක ගුණරත්නම් 'අල්ලපු ගෙදර' චිත්‍රපටය වෙළෙඳපොළට බෙදා හැරියේ පරිපූර්ණ නිෂ්පාදනයක් වූ පසුවය. ඒ සැබෑ නිෂ්පාදකවරුන්ගේ හැටිය. ලෝක පූජිත සිනමාකරු ජෝන් ෆෝර්ඩ්ගේ චිත්‍රපට නිර්මාණයේදී අනේක විධ ලෙඩ දමන්නට සමහර හොලිවුඩ් නිෂ්පාදකවරු දත විකාගෙන බලාගෙන සිටියහ. ෆෝර්ඩ් සිය සිනමා ඥානය මෙහෙය වූයේ එකම නිෂ්පාදකවරයකුට හෝ තම චිත්‍රපටයට බලපෑම් කළ නොහැකි අයුරෙනි. එනම් ඔහුට අවශ්‍ය දර්ශනය රූපගත වූ වහාම ෆෝර්ඩ් කරන්නේ කැමරා ලෙන්සය ඉදිරියේ සිට ගැනීමය. එයින් එහා දර්ශන තලයේ යමක් වෙතොත් එය ඔහුට අවශ්‍ය වන්නේ නැත. සැබෑ නිෂ්පාදකවරයෙකු ද සැබෑ අධ්‍යක්ෂවරයකු ද කටයුතු කරන්නේ එහෙමය. හොඳ නිෂ්පාදකවරයකුට චිත්‍රපට කර්මාන්තයේ අවදානම ද චිත්‍රපට කර්මාන්තයේ මර උගුල්ද ලාබ ලැබිය හැකි අන්දම ද කියා දිය යුතු නැත. සිනමාව පිළිබඳ සුරංගනා සිහින මවන බොහෝ අය එහි සැබෑ ස්වරූපය හඳුනා ගන්නේ යන එන මං නැති වූ විටය. චිත්‍රපට කර්මාන්තය හොඳ නිෂ්පාදකවරුන්ට තවමත් ආයෝජන මධ්‍යස්ථානයකි. කරුමය නම් බලාපොරොත්තු පොදි බැඳගෙන එන ආයෝජකයන් නොදැන වෙළෙඳාමට බැසීමය. ව්‍යාපාරය සහ ජාවාරම යනු දෙකකි. බොහෝ ව්‍යාපාරිකයන් නැත්තට නැති වන්නේ ජාවාරම්වලට ඔළුව දැමීමට යාමෙනි. මෙය මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිදුවන්නකි. නිෂ්පාදකයා යන්නට වටිනාකමක් ලබා දිය යුතුව ඇත්තේ මේ කාරණය නිසාය. නිෂ්පාදකයා හා ආයෝජකයා අතර වෙනස හඳුනා නොගන්නා නිසා කර්මාන්තයට පවතින්නට ඇති අනාගත ඉඩකඩ ඉතා අල්පය. නරක අත්දැකීම් පිරි ආයෝජකයන් තම හතර වරිගයේ කවුරු හෝ තම චිත්‍රපටය සඳහා ආයෝජනය කිරීමට උත්සාහ දරද්දී දන්න උප්පරවැටි දමා එය වළකාලයි.

චිත්‍රපට සඳහා ආයෝජනයට එළඹෙන ව්‍යවසායකයන් පළමුව චිත්‍රපට නිෂ්පාදනය කවරෙක්දැයි අවබෝධ කර ගත යුතුය. නමක් දිනන්නට නොව තමා විසින් අත තබන අලුත් ව්‍යාපාරය කවරෙක්දැයි විමසා බැලිය යුතුය. එසේ නොමැතිව සමස්ත සිනමා කර්මාන්තයේ නියැළෙන්නන්ටම සාප කර කර සිටීම වැදගත් නොවේ. එබැවින් අපේ සිනමාව ද නිෂ්පාදක නමැති ටයිටලයට වටිනාකමක් ලබා දිය යුතුව ඇත.