වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනය පුහුණුවෙන්න හොඳම තැන වේදිකාව

රංගනය පුහුණුවෙන්න හොඳම තැන වේදිකාව

රංගන ශිල්පිණී නදීශානි පේළිආරච්චි

මගේ ටැලෙන්ට් එකෙන් මම ජනප්‍රිය වෙනවා

ඕනෑවට වැඩිය වැඩ මම ළඟ නෑ

පහුගිය කාලේ අපි ඔබට හඳුන්වා දුන්නේ නව පරපුරේ ජනප්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියන්වනේ. අද අපි කැඳවාගෙන එනවා ටෙලි නාට්‍ය අරහං රංගන ශිල්පිණියක්ව. ඇයට ටෙලි නාට්‍ය අරහං කිව්වට අරහංම නැහැ. ඉඳහිට ටෙලියක දෙකක ඇය රඟපානවා. හැබැයි වේදිකාවේ තමයි මේ තැනැත්තිය වැඩිපුරම පෙළහර පාන්නේ. ඇගේ නම නදීශානි පේළිආරච්චි.

සිහින හොරු අරන්, ආදර වස්තුව, තව ටිකක් හිතන්න, බකමූණා වීදි බසියි, වීරයා මැරිලා, හොරුත් එක්ක බොරු යනුවෙන් ඇයගේ නාට්‍ය පෙළ පවසන්න පුළුවන්. මේ දිනවල නම් රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුල වේදිකා නාට්‍යහි නදීශානි රංගනයෙන් දායක වෙනවා.

නදීශානි වේදිකාව තමයි ජීවිතේ නේද?

මම ක්ෂේත්‍රයට එන්න පළමු පියවර තැබුවේ වේදිකාවෙන්. පාසලේදිත් වේදිකා නාට්‍ය කළා. දිගින් දිගටම වේදිකාවෙම හිටිය නිසා මෙතැනින් ඉවත්වන්න ලෝබ හිතුණා.

ඔබ ඇයි ඔච්චරටම වේදිකාවට පෙම් බඳින්නේ?

මට රංගන ශිල්පිණියක් විදිහට රංගනය ගැන පුහුණුවෙන්න පුළුවන් හොඳම තැන තමයි වේදිකාව. වේදිකාවෙන් ලැබෙන පන්නරය නිසා මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමන හදාගන්න ලේසියි.

ඔබ තුළ වේදිකාවට ඇති උනන්දුව ටෙලි නට්‍යවලට තිබුණා නම් අද ඔබ ජනප්‍රිය නිළියක්?

මම ජනප්‍රිය නැහැ කියලද ඔබ කියන්නේ. මට දැනෙන විදිහට මම ජනප්‍රියයි.

හරි එහෙනම් කියන්නකෝ පාරේ බැහැලා යද්දී කී දෙනෙක් ඔබ හඳුනා ගන්නවාද කියලා?

ගොඩක් දෙනෙක් මට කතා කරනවා. මාව හඳුනාගෙන අහවලා ඔයා නේද කියලා අහන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

ඒ අය ඔයාව හඳුනා ගන්නේ ඔබ රඟපෑ වේදිකා නාට්‍යවලින් ද එහෙමත් නැතිනම් ඔබ රඟපෑ අතලොස්සක වූ ටෙලි නාට්‍ය ප්‍රමාණයෙන්ද?

මෙහෙමයි, කොළඹදී නම් වැඩි දෙනෙක් මාව හඳුනා ගන්නේ වේදිකා නාට්‍ය නිළියක් හැටියට. ගම් පළාත්වල එහෙම නැහැ. ටෙලි නාට්‍යවලින් තමයි මාව ඔවුන් දැකලා තියෙන්නේ.

ජනප්‍රිය වෙන්නේ නැහැ කියලා දැන දැනත් ඔබ වේදිකාවේම රැඳී සිටින්නේ ඔබට ජනප්‍රියත්වය අවශ්‍ය නැති නිසාද?

නැහැ. එහෙම නෙවෙයි. ජනප්‍රිය වෙන්න ඕනෑ මාත් ජනප්‍රිය වෙන්න ආසයි. හැබැයි මම කවදා හරි ජනප්‍රිය වෙන්නේ මගෙ ටැලන්ට් එකෙන් පමණයි.

ඔබ කියන්නේ ජනප්‍රිය වූ බොහෝ දෙනෙකු ජනප්‍රිය වෙලා තියෙන්නේ ටැලන්ට් එකෙන් නොවේ කියලද?

මම ඔය අදහසින් නෙවෙයි එහෙම කිව්වේ. ජනප්‍රියවීමට ටැලන්ට් එක විතරක් බලපාන්නේ නැහැ. වාසනා ගුණයත් ඕනෑ. වාසනා ගුණයෙන් ජනප්‍රිය වුණු අය තමයි අද ගොඩක් ඉන්නේ.

නදීශානිගේ පළමු වේදිකා නාට්‍ය මොකක්ද?

මහේෂ් කුමාරගේ ගැහැනු මනුස්සයා.

එය රඟපාන්නට පෙර ඔබ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා නේද?

ඔව්. ආයතන කිහිපයකින්ම ඉගෙන ගත්තා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ප්ලේ හවුස් එකට සම්බන්ධ වුණා. නාමල් ජයසිංහ සහ ප්‍රසන්න මහගමගේ වැනි අයගේ වර්ක්ෂොප්වලට ගියා. මේ වන විට රාජිත දිසානායකගේ නාට්‍ය එකමුතුවෙහි ඉන්නවා.

ඔබට හොඳ හැකියාවක් තියෙනවා. නමුත් එය මේ වන විට දැක ඇත්තේ ඉතාම සීමිත පිරිසක් පමණයි?

මම ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑවා. මේ දිනවල රතු අහස සහ හුස්ම සහ ඔක්සිජන් කියන නාට්‍ය දෙකෙහි මා ඉන්නවා.

නමුත් ඔබ වේදිකවේදී තරම් ඒ නාට්‍යවල රංගනයේ යෙදෙන්නේ නැහැ කියලා කවුරුන් හෝ කිව්වොත්?

මම ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරනවා. ඕනෑවට වඩා වැඩ පෙන්වන්න ගියොත් ඕවර් ඇක්ටිං එකක් වේවි.

වේදිකා නළු නිළියෝ කැමරාව ඉස්සරහදි ෆේල් වෙනවා කියන මතය ගැන ඔබ මොකද කියන්නේ?

මම ඒකට සම්පූර්ණයෙන් එකඟ වෙන්නේ නැහැ.

ඒ කියන්නේ ඔබ භාගයක් එකඟයි කියන එකනේ?

ස්ටේජ් එක වෙනයි, ටෙලි නාට්‍ය වෙනයි. ඒ දෙකෙහි වෙනස අඳුනගෙන රඟපාන කොට කවුරුත් ෆේල් වෙන්නේ නැහැ. මට ඔය පැනයට මේ පිළිතුර තමයි දෙන්න තියෙන්නේ.

මං හිතන විදිහට ඔබ වෘත්තීය නිළියක්?

ඔව්.

වෘත්තීය නිළියක් විදිහට වේදිකා නාට්‍යවලින් විතරක් ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?

අන්න එතන ගැටළුවක් තියෙනවා. මම වේදිකාවේ රංගනයෙන් හැම පැත්තෙන්ම තෘප්තිමත් වෙනවා. හැබැයි ආර්ථික පැත්තෙන් එහෙම වෙන්න නැහැ.

ඔබ වේදිකාවේ රැඳී සිටීමේ අවසාන අරමුණ මොකක්ද?

නාට්‍ය කලාව හොඳ පැත්තකට ගෙනයන ගමන් මාත් නිළියක් විදිහට ඉදිරියට යාම තමයි මගේ එකම අරමුණ.

ඔබට දැනෙන විදිහට වේදිකා නාට්‍ය කලාව දැන් තියෙන්නේ වැරැදි පැත්තේද?

ගුණාත්මක බවෙන් අඩු තැනක තමයි අද නාට්‍ය කලාව තියෙන්නේ. වේදිකාව සඳහා රජයෙන්වත් නිසි අනුග්‍රහයක් නැහැනේ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ.

රජයෙන් හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බැහැ නේද?

වේදිකාව කියන්නේ ලෝකයේ තියෙන හොඳම කලා මාධ්‍යයක්. කලා මාධ්‍යයකින් වෙන්න ඕනෑ දේවල් හැම දෙයක්ම වේදිකාව හරහා වෙනවා. එවන් මාධ්‍යයක සිටි නිර්මාණකරුවන්ට හැම දෙයක්ම කරගන්න බැහැනේ. නාට්‍යකරුවන්ට නාට්‍යයක් හදන්න පුළුවන්. හැබැයි ගමක හෝල් එකක් හදන්න නාට්‍යකරුවන්ට බැහැනේ. අන්න ඒක ගැනයි මම කිව්වේ. පොඩි හෝ අනුග්‍රහයක් රජයෙන් වේදිකා නාට්‍ය කලාවට තියෙන්න ඕනෑ.

ඔබ දක්ෂ අයකු බව මේ කතාව ඇතුළෙදි අවස්ථා දෙක තුනකදීම ඔබ නොකියා කිව්වා. ටෙලි නිළියකගෙන් රංගනය සඳහා අභියෝගයක් ලැබුණොත් බාර ගන්නවාද?

අනිවාර්යයෙන්ම. ඕනෑ කෙනෙක් එක්ක කරට කර රඟපාන්න මට පුළුවන්. අපි වේදිකා නිළියොනෙ.

මේ දිනවල ඔබට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනල්ල කියලා ආරංචියි?

ඔව්. ඒ ගැන කතාබහ කරමිනුයි මේ දවස්වල ඉන්නේ.

ඔහු කැමැතිද ඔබ රඟපානවාට?

දැනට නම් අකැමැත්තක් නැහැ.

නදීශානිට දැන් වයස කීයද?

විසි අටයි. මගේ උපන් දිනේ 1987. 09. 02.

නදීශානිගේ පවුලේ අය ගැන සඳහන් කළොත්?

අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.

නදීශානිගේ ගම කොහෙද?

කොස්ගම.

එතකොට ඉගෙන ගත්තේ?

කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන්.

ඔබේ ඉදිරිය ගෙවෙන්නෙත් වේදිකාව එක්කමද?

අනිවාර්යයෙන්ම.

සිරිවර්ධන පවුලෙන් පසුව මොකද වෙන්නේ?

තව නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. බලමු.

සිරිවර්ධන පවුලේ ඔබ කවුද?

මම එහි සමන්තිගේ චරිතය මවනවා.

අනුන්ගේ වේදිකා නාට්‍යවල හිටියා ඇති කියලා හිතෙන්නේ නැතිද?

මමත් නාට්‍යයක් කරන්න ඕනෑ. ඒකට ටිකක් කල් යාවි.