වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




හද පාරන මාරුතයේ ගඟ අද්දරින් නික්ම ගිය මාස්ටර් සර්...

හද පාරන මාරුතයේ ගඟ අද්දරින් නික්ම ගිය මාස්ටර් සර්...

හොඳ වයින්වලටත්, හොඳ සංගීතඥයන්ටත් ප්‍රචාරය අවශ්‍ය නැතැයි කියමනක් තිබේ. පසුගිය දිනෙක අපෙන් වියෝ වූ සංගීතවේදී නිමල් මෙන්ඩිස් එකී කියමන කිසි දිනෙක අසා ඇතිදැයි මම නොදනිමි. එහෙත් ඔහු තම නිර්මාණ පිළිබඳ හෝ තමා පිළිබඳ කිසි විටෙකත් අනවශ්‍ය ප්‍රචාරයන් පසු පස හඹා නොගිය සංගීතවේදියකු වග නම් පැහැදිලිය.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගී තනුවක් හෝ වෙනත් සංගීත නිර්මාණයක් සවන් වැකුණු විගස එය ඔහුගේ නිර්මාණයක් බව හඳුනා ගැනීම එතරම් අසීරු කාර්යයක් නොවේ.

සාමාන්‍ය රසිකයකුට පවා එකී අනන්‍යතාවය සුපැහැදිලිය. නිමල් මෙන්ඩිස් ගේ ගී තනු නිර්මාණ ද එවන් අනන්‍ය සාධාරණ ලක්ෂණවලින් හෙබියේය.

නිමල් මෙන්ඩිස්ගේ සංගීත භාවිතය වඩාත් උද්දීප්තියට පත් වන්නේ සිනමා සංගීතය හරහාය. ඔහු එකී නිර්මාණ කාර්යයට පිවිසෙන්නේ 70 දසකයේ මැද භාගයේ තිරගත වූ මනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ 'කළු දිය දහර' චිත්‍රපටයෙනි.

එහි නෙවිල් ප්‍රනාන්දු ගායනා කළ 'මාස්ටර් සර්' ගීතය අද පවා රසික මතකයෙන් බැහැරව ගොස් නැත. පසුව එය විශාරද නීලා වික්‍රමසිංහ විසින් ගායනා කරනු ලැබ වඩ, වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

නිමල් මෙන්ඩිස් ගේ නිර්මාණ ශක්‍යතාවන් මැනැවින් හඳුනාගෙන එය සිය ආත්ම ප්‍රකාශන මාධ්‍ය වූ සිනමාව හරහා ප්‍රබල රූපිකයක් ලෙස භාවිතා කරන්නට වඩාත් උත්සුක වූයේ හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් යැයි මම සිතමි. තවත් විදිහකට කියතොත් සිනමා සංගීතය හරහා නිමල් මෙන්ඩිස්ගෙන් වැඩියෙන්ම වැඩ ගත්තේ සුමිත්‍රා පීරිස්ය.

'ගැහැණු ළමයි' චිත්‍රපටයේ නීලා වික්‍රමසිංහ ගයන 'වියෝ ගී ගැයෙනා හදේ' එහි කතා තේමාව හා කෙතරම් බද්ධ වූයේ ද යත් අදටත් එම ගීතය කොහේ හෝ වාදනය වන විට නිරන්තරයෙන්ම මතකයට නැඟෙන්නේ චිත්‍රපටයේ රූප රාමු පෙළය. එහිදී ඔහු අතින් තවත් මනෝරම්‍ය ගීතයක් නිර්මාණය විය. ඒ වික්ටර් රත්නායකයන් ගයන 'ගැහැනු ළමයිනේ' ගීතයයි.

නිමල් මෙන්ඩිස් අතිශයින් ජනකාන්ත භාවයට පත් වූයේ සුමිත්‍රා පීරිස්ගේ 'ගඟ අද්දර' චිත්‍රපටයට නිර්මාණය කළ 'ගඟ අද්දර මා' හා 'රන් ටිකිරි සිනා' ගීතද්වය නිසා යැයි මට සිතේ. ආදරණීය නළු විජය කුමාරණතුංගයනගේ අපූර්ව ගායන ප්‍රතිභාව මුළු රටම දැන හඳුනා ගන්නේ 'ගඟ අද්දර මා' ගීතය සමඟිනි.

'යහළු යෙහෙළි', 'දුවට මවක මිස' මෙන්ම සුමිත්‍රා පීරිස් අවසන් වරට අධ්‍යක්ෂණය කළ 'වෛෂ්ණාවී' සිනමාපටයේ ද සංගීත අධ්‍යක්ෂවරයා වූයේ නිමල් මෙන්ඩිස්ය. සුමිත්‍රා, නිමල් සුසංයෝගය හෙළ සිනමාවේ සෞන්දර්්‍යාත්මක ගී ප්‍රවාහයක් බිහි කරලීමට කදිම අත්වැලක් වූ බව මෙහි ලියා තබන්නේ හෙළ සිනමා කිවිඳියගේ ඒ නිවැරදි තෝරා ගැනීම පිළිබඳ ඕ හට ද අප ගෞරවය පුද කරමිනි.

කොළඹ සන්නිය, අහසින් පොළොවට, බැද්දේගම, රැම්පේජ්, ද ගෝඩ් කිං, සීතාදේවි නිමල්ගේ මියුරු මියැසි නාද රටා මුසු වූ සෙසු සිනමාපටය. ඒ අතරින් 'සීතාදේවි' චිත්‍රපටයට විශාරද අමරදේවයන් ගැයූ 'නිම් හිම් සෙව්වා' හා 'අහසින් පොළවට චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි ගයන 'උපුල් නුවන් විදහා' යන ගීතයන් අතිශයින් ජනප්‍රියත්වයට පාත්‍ර විය. එහි ජනප්‍රියත්වය කෙතෙක් ද යත් වර්තමානයේ සුපිරි තරු ගායන තරගවලදී නිරතුරුවම එම ගීත ගායනා කරනු අසන්නට, දකින්නට ලැබේ.

චිත්‍රපට පසුබිම් සංගීතයෙන් බැහැරව නිමල් මෙන්ඩිස් නිර්මාණය කළ ගී තනු ඇත්තේ මා දන්නා තරමින් තුන හතරකි. ටී. එම්. ජයරත්න ගයන 'උපන් බිමෙන් පිට වූයේ', 'කල්පනාවෝ පාව යයි' එබඳු ජනප්‍රිය ගීත දෙකකි.

කෙතරම් ප්‍රතිභාසම්පන්න, විශිෂ්ට සංගීතවේදියකු, තනු නිර්මාපකයකු වුව ද ඔහු අතින් නිර්මාණය වූ ගීත ඇත්තේ අතළොස්සක් පමණි. නමුදු ඒ හැම ගීතයකම රැඳී ඇත්තේ අප හදවත් නිවා සනහාලන අපූර්ව රසයකි. සොඳුරු ගුණයකි.

වසර තිහක කාලයක් පුරාවට නිමල් මෙන්ඩිස් පදිංචිව සිටියේ එංගලන්තයේය. විටෙන් විට ඔහු සිය මව්බිමට පා තැබූවේ නිර්මාණ කාර්යයක් සඳහාය.

කළුදිය දහර චිත්‍රපටය සඳහා මණික් සන්ද්‍රසාගර ඔහු සෙයා යන විට නිමල් මෙන්ඩිස් නුවරඑළියේ සිය වතුයායේ කොට කලිසමක් හැඳ වගාවන් හි යෙදෙමින් සිටියේය.

ඔහු පිළිබඳ වැඩිමනත් තොරතුරු බොහෝ දෙනෙකු දන්නේ නැත. තම නිර්මාණවලට කතා කරන්නට හැර ඔහු නිහඬව සිටියේය.

අපේ ඇතැම් කලාකරුවන් තමන්ගේ නිර්මාණ පිළිබඳ ඔවුන් විසින්ම යම් අර්ථකතන, මතවාද ඉදිරිපත් කරද්දී, ඇතැම් විට පම්පෝරි ගසද්දී මේ නිහතමානී සංගීතවේදියා නිහඬව තම නිර්මාණ කටයුතු කරගෙන ගියේය.

මා අසා ඇති පරිදි නිමල් මෙන්ඩිස් ළෙන්ගතු මිනිසෙකි. නිහතමානී ගුණයෙන් යුත් තැනැත්තෙකි. මිය යන විට 81 වැනි වියේ පසු වුව ද හේ සප්ත ස්වරයේ මිහිරියාව සමඟින් කාලය ගත කළේ නව යෞවනයකු සේය.

ඔහු කිසි දිනෙක කිසිදු සංගීත ගුරු කුලයක වහලකු වූයේ නැත. එක් සම්ප්‍රදායක එල්ලී සිටියේ ද නැත. ඔහුගේ නිර්මාණයන් හරහා බටහිර සංගීතයෙන් ලද ආභාෂයත්, අනුප්‍රාණයත් දක්නට ලැබුණ ද ඒවා අපේ හෘද ස්පන්දනයට ගැළපෙන අයුරින් ඉදිරිපත් කිරීමට ඔහු සෑම විටෙකම වග බලා ගත්තේය.

දැන් මේ අපූර්ව මිනිසා, සොඳුරු ගාන්ධර්වයා අප හැර ගොසිනි. ඒ සැමට පොදු ධර්මතාවකට අනුවය. එහෙත් නිමල් මෙන්ඩිස්ගේ නිර්මල, නිර්මාණ ගී ගොන්න සැමදා අප හදවත් මියැසි ආනන්දයෙන් සනහාලනු නිසැකය.
 

ඔබට සුබ ගමන් . . . .

'හද පාරන මාරුතයේ

ඔබ ආ හැටි ආදරියේ

සැමදාකම මා පැතුවේ

සුවඳයි - මලයි ඔබමයි . . .'