වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙරාන්ගෙන් මියැසි ගී දහරා

ටෙරාන්ගෙන් මියැසි ගී දහරා

ටෙරාන් නානායක්කාරගේ ‘මියැසි ගී දහරා’ ප්‍රසංගය මේ මස 25 වැනිදා පිළියන්දල නගර සභා ශාලාවේ පැවැත්වෙයි. ගුවන් විදුලියේ ‘බී’ ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් ලෙස සිටින ටෙරාන්ගේ ‘මියැසි ගී දහරා’ ප්‍රසංගය පැවැත්වෙන්නේ මේ සිව්වැනි වරට ය. මේ ඔහුගේ සංගීත දිවියත්, ‘මියැසි ගී දහරා’ ප්‍රසංගයත් පිළිබඳ සරසවිය කළ කතාබහකි.

‘මියැසි ගී දහරා’ ප්‍රසංගය ගැන යමක් කියමු ?

වසරෙන් වසරම මම මේ ප්‍රසංග පවත්වාගෙන ආවා. ඒ මගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යෑමේ අදහසින්. මුල්ම ‘මියැසි ගී දහරා’ ප්‍රසංගය මා පැවැත්වූයේ 2012 දී. ඒ ලුම්බිණි විද්‍යාලයේ. 2013 දෙවැනි ප්‍රසංගය බෝකුන්දර සියංකා ශාලාවේ දී පැවැත් වුණා. තෙවැනි ප්‍රසංගය පැවැත් වුණේ 2014 වසරේදී. මේ වසරෙදිත් යළිත් මා ප්‍රසංගය පවත්වන්නට සිතුවා. ඊට නිවේදන කටයුතුවලින් දායක වන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ. සංගීතය සපයන්නේ බැස්ටියන් බෝගොඩ සමඟ ගාමිණි පෙරේරා ඇතුළු ගුවන් විදුලි වාද්‍ය වෘන්දයයි. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. මේ ප්‍රසංගයට සහයෝගය දක්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන රූපා ඉන්දුමතී කියන මගේ නැන්දා. යුග ගීතයෙන් ඇයයි මට සහයෝගය දක්වන්නේ. විශේෂයෙන් කැස්බෑව - පිළියන්දල නගරාධිපති විදියට වැඩ කරන සුමන රණවීර මහත්තයාත් මතකයට නැගිය යුතුයි. ඔහුත් එදාට ගීතයක් ගයනවා. ඒ වගේම මෙතෙක් කල් මා ප්‍රසංගවලට ගායනා කළේ අල්හාජ් මොහිදින් බෙග් මාස්ටර්ගේ ගීතයි. මෙවර ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ අලුත්ම ගීත තුනක් එළි දැක්වීමයි. ඉන් දෙකක් නිර්මාණය වුණේ හින්දි තනුවලටයි. අනෙක් ගීතය අජන්තා රණසිංහ ලියූ නාලක අංජන කුමාර සංගීතවත් කළ ‘ඔබ රෝස මුවේ’ කියන ගීතයයි. පියවරෙන් පියවර ඉදිරියට යන ගමන් ඉදිරියේදි මගේම කියලා සී.ඩී. පටයක් එළි දැක්වීමේ අදහසක් තිබෙනවා. මේ සෑම කටයුතුවලටම සහයෝගය ලබාදෙන අම්මාත්, තාත්තාත්, එකම සහෝදරියවත් මා සිහිපත් කරන්නේ ආදරයෙන්.

සංගීතයට යොමු වෙන්න ඔබට පවුල් පසුබිමත් බලපෑවාද?

ඔව්. ඒ පසුබිමත් බලපෑවා. ගුවන් විදුලියේ කටයුතුවලදි ඒවා නියමාකාරයෙන් කරන්නට නැන්දාගේ ගුරුහරුකම් ලැබුණා. මාව නියම මාර්ගයට යොමු කළේ ඇයයි. ඒත් සමඟම මම ඉගෙන ගත් නාලන්දා විද්‍යාලයේ ජයන්ත දිසානායක කියන සංගීත ගුරු පියාත් මගේ හැකියාව හඳුනාගෙන මට නිසි මග පෙන්වා දුන්නා. පාසලේ හත, අට පන්ති දක්වා යනතුරු නන්දා මාලිනී ගුරුතුමිය යටතේ මා සංගීතය හැදෑරුවා. මේ වගේ පසුබිමක හැදුණු මම ප්‍රසංගවලදි වැඩිපුරම ගයන්න තෝරා ගත්තේ බෙග් මාස්ටර්ගේ ගීතයි. මට ආලෝකයක් ගෙනාවේ ඔහුගේ හඬයි.

මුල් කාලයේ බෙග් මාස්ටර්ගේ ගීත ගැයුවත් දැන් ඔබට ඔබගේම ගීත ගයන්න පුළුවන් නේද ?

මුල් කාලයේ පටන් මා බෙග් මාස්ටර්ගේ ගීත ගැයුව නිසා බොහෝදෙනාගෙන් ආරාධනා ලැබෙන්නේ ඒ ගීත ගයන්නයි. එහෙත් මෙවර ප්‍රසංගයේදී මගේම කියලා ගීත කිහිපයක් හඳුන්වා දෙන්නේ ඉදිරි ප්‍රසංගවලදි ඒවා ගැයීමේ අදහසින්. කොහොම වුණත් බෙග් මාස්ටර්ව මට කිසිම දවසක අමතක කළ නොහැකියි. මොකද රසිකයන් අතරට මාව අරගෙන ගියේ ඔහුගේ ගීත නිසා. ඒ නිසයි මේ ප්‍රසංගය සඳහාත් ඔහුට කරන ගෞරවයක් වශයෙන් මා ඔහුගේ ගීත කිහිපයක් තෝරා ගත්තේ. ඒ වගේම ඔහුගේ ගීත ගයද්දී ඔහුට උපහාරයක් කරලයි මම නිතරම ගී ගයන්නේ.

අපේම සංගීත නිර්මාණකරුවන් හා ගේයපද රචකයන් නොමැතියි කියලා සිතාගෙන ද ඔබ හින්දි ගීවලට සිංහල පද යොදා ගී ගයන්නේ ?

ඕනෑම ආධුනික නිර්මාණකරුවෙක් මුලින්ම ප්‍රවීණ ගායකයෙක්ගේ හෝ ගායිකාවකගේ ගීත ගයලයි කරළියට පිවිසෙන්නේ. එක්වරම තමන්ගේ ගීතයක් ගැයීමෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නට අද නොහැකියි. අද ගීතවල රූප රචනයට මූලික තැන යොමු වී තිබීම නිසා ආධුනික අපට ඒ ගැනත් අවධානය යොමු කරන්න සිදුවෙලා. මේ කාරණා සැලකිල්ලට ගැනීම නිසා සුභාවිත ගීතය බොහෝ අයට අමතක වෙලා. නමුත් මගේ අදහස නම් මේ සියලු අංශ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදි අලුත් වැඩක් කරන්නයි. මේ සියලු දේ සිතේ කොණක තැන්පත් කර තබමින් මේ ප්‍රසංගය නරඹන්න පැමිණෙන්න යැයි මා ඔබ සැමට ආරාධනා කරන්නේ බොහොම ආදරයෙන්.