වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




රන්බීර්ගේ මුල්ම දවසේ ලොකු ටෝක්

රන්බීර්ගේ මුල්ම දවසේ ලොකු ටෝක්

රංගන ශිල්පී සුගත් ජානක

දශක එකහමාරක් පමණ ගෙවුණු කලා දිවියේදී මේ වන විට ටෙලි නාට්‍ය පනහකට වඩා වැඩිි සංඛ්‍යාවකත්, චිත්‍රපට දහසයකටත් වඩා වැඩි සංඛ්‍යාවකත් තම රංගන දක්ෂතා ඉදිරිපත් කර ඇති සුගත් ජානක මේ දිනවල තිරගත වන 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ පණ පොවන්නේ එළාර රජුගේ සෙබළකුගේ චරිතයකටය. ඊට අමතරව සුගත්ට විදේශීය චිත්‍රපටයකට ද රංගනයෙන් දායක වීමට ලැබෙන්නේ සිය රංගන දිවියට අලුත් අත්දැකීම් රැසක් එකතු කරමිනි.

* සෙබළාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

'මහරජ ගැමුණු' මේ දවස්වල බොහොම සාර්ථක ලෙස තිරගත වෙනවා. ඒ ගැන සතුටුයි. මට ලැබුණු ඒ සෙබළාගේ චරිතය හැකි උපරිමයෙන් මා රඟපෑවා. ඒ නිසාදෝ බොහෝ දෙනා මුණ ගැසුණු විටදී මගේ චරිතය ගැන විමසනවා. ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ එවැනි චරිතයක් රඟපාන්නට ලැබීම මා සලකන්නේ මගේ ජීවිතයේදී ලැබුණු භාග්‍යයක් ලෙසයි.

* මේ දවස්වල ඔබ මොකද කරන්නේ?

මා රඟපෑ ටෙලි නිර්මාණ රැසක්ම මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසාදෝ බොහෝ දෙනාගෙන් ලැබෙන ප්‍රතිචාර අතර කාලය ගත කරන්නේ බොහොම සතුටෙන්. චන්ද්‍රරත්න මාපිටිගමගේ 'සබඳ බබානිස්' කියන මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යයේ රොමියෙල්ගේ චරිතයට පණ පොවන්නේ මමයි. ජාතික රූපවාහිනියේ විකාශය වන 'හිරු දරුවෝ' කියන ළමා නාට්‍යයේත්, දෙරණ රූපවාහිනියේ විකාශය වන 'ගිනි අවි සහ ගිනි කෙළි' ටෙලි නාට්‍යයේ ඉබ්බන් වත්තේ සෝමේ කියන චරිතයටත් මා පණ පොවනවා. ඊට අමතරව චනක පෙරේරාගේ 'ත්‍රී ඉඩියට්ස්' කියන ටෙලි නාට්‍යයේ රංජාගේ චරිතයටත්, අකිල සඳකැලුම් පිටපත ලියන චන්දන එදිරිසිංහ අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායකවීමට මට අවස්ථාව හිමි වුණා.

ළඟදී රූගත කළ මොහාන් නියාස්ගේ 'ගජමුතුයාය' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ බොහොම දුෂ්කර පළාතක් වුණු ගල්ගමුවේ. එහි රඟපෑ චරිතය මඟින් අපූරු අත්දැකීම් රැසකට මුහුණදීමට ලැබීම නිසා ලැබූ අත්දැකීම් බොහොමයි. මේ ආකාරයට රඟපෑ ටෙලි නාට්‍ය පහළොවක් පමණ ඉදිරියේදී විකාශය වීමටත් නියමිතයි. මේ අතර චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් සහභාගිවීමට මට ආරාධනා ලැබුණා. ඉන් එකක් වන්නේ මොහාන් නියාස්ගේ චිත්‍රපටයක්. 'අපි මැරෙන්නේ නෑ' කියන ඔහුගේ අනෙක් චිත්‍රපටය පසුගිය දවස්වල තිරගත වුණා. මේ අතරම බොහොම සතුටෙන් කිවයුතු තවත් කාරණක් තිබෙනවා. ඒ ලංකවේ සිනමාවේ නොලැබුණු අපූරු අවස්ථාවක් ඉන්දියානු චිත්‍රපටයක මට ලැබීමයි. ඒ 'බොම්බේ වෙල්වට්' කියන චිත්‍රපටයේ. රන්බීර් කපූර්ගේ යහළුවන් දෙදෙනාගෙන් එක් අයෙකුට මා රඟපෑවා. මගේ චරිතය වුණේ මස්තාන්. රන්බීර් කපූර්ගේ අනෙක් යහළුවාගේ චරිතය රඟපෑවේ නුවන් ගුණසේකරයි.

* මොන වගේ චරිතයක් ද ඔබට ලැබුණේ?

පාතාලය සමඟ ගනුදෙනු කරන චරිතයක්. මත් ද්‍රව්‍ය ගෙනැල්ලා අපි අවසානයේ හිරේට යනවා. ඒ ගැන වැඩි විස්තර චිත්‍රපටය තිරගත වන කාලයේම දැකගන්නට සිනමා රසිකයන්ට අපි ඉඩකඩ සලසා දෙමු කියලා මා කියනවා.

* ඔබට 'බොම්බේ වෙල්වට්' චිත්‍රපටය සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද?

ෆිල්ම් තීම් ආයතනයේ ඉන්න විරාජ් හා මහානාම කියන දෙදෙනාටම මම ඒ සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත විය යුතුයි. මොකද විරාජ් තමයි මාව සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වේ. 'බොම්බේ වෙල්වට්' කියන මේ හින්දි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාමයි මාව පරීක්ෂණයට ලක් කළේ.

* ඔබට හින්දි භාෂාව පුළුවන්ද?

හොඳටම කතා කරන්නට නොහැකි වුණත් ඒ අය කියන දෙය මට තේරෙනවා. මොකද මේ චරිතය මට ලැබෙන්නේ 'ගැහැනු ළමයි' ටෙලි නාට්‍යයේදී මා රඟපෑ පියසේනගේ චරිතය නිසා. පියසේනත් තරමක් හින්දි කතා කරන කෙනෙක්. ඒ චරිතය දුටුව විරාජ් මාව සම්මුඛ පරීක්ෂණයට කැඳෙව්වා. මේ අවස්ථාව මට ලැබෙන්නේ ගැහැනු ළමයි ටෙලි නාට්‍ය නිසා. එහි අධ්‍යක්ෂවරයාටත් මා හදවතින්ම ස්තුති කරනවා.

* 'බොම්බේ වෙල්වට්' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සමඟ ගෙවුණු කාලයේ ලැබුණු අත්දැකීම් මොන වගේද?

ඔවුන් සමඟ කටයුතු කරන්න බොහොම පහසුයි. කිසිම කලබලයක් ඔවුන්ට තිබුණේ නැහැ. එහෙම කියලා මා අදහස් කළේ අපේ අධ්‍යක්ෂවරු කලබලයි කියලා නෙවෙයි. ඒ අයට එයාලගේ නිර්මාණය හෙමින් කරන්න කාලය තිබුණා. කොස්ටියුම් වුණත් දවස් දෙකක්ම අඳින්න දීලා හරියට හරි යන ඇඳුමයි තෝරා ගැනුණේ. වේශ නිරූපණ ශිල්පියා පවා හිටියේ ඉන්දියානු අයමයි. මේ නිසා ඒ නිර්මාණයේ රඟපෑමෙන් අපට ලැබුණේ අපූරු අත්දැකීමක්. ඒ වගේම අධ්‍යක්ෂවරයා මගේ රඟපෑමෙන් සෑහීමකට පත් වුණු බව මට හැඟුණා. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමට ලැබුණු ඒ අවස්ථාව මගේ රංගන ජීවිතයේ අපූරු කඩඉමක්.

* රන්බීර් කපූර් වගේ රංගන ශිල්පියෙක් සමඟ රඟපෑමට ලැබීම ගැන මොනවද සිතුණේ?

මුල්ම දවසේ නම් ඔහු ලොකු ටෝක් එකක් දුන්නා. ඒත් දෙවැනි දවස වන විට නම් ඔහු අපිත් සමඟ බොහොම හිතවත් වුණා. අවසානයේ කරට අතදමාගෙන සිටිය අවස්ථා පවා තිබුණා. ඒ අය කතා කරන්නේ හින්දි හා ඉංග්‍රීසි කවලමේ නිසා ඔවුන් කියන දෙය තේරුම් ගන්න අපට ටික කාලයක් ගියා. මගේ චරිතය මම හොඳට කළා. කරන දේ හරියට කළොත් මොන රටක වුණත්, කා සමඟ වුණත් අපට වැඩ කරන්න පුළුවන් කියලා එහිදි මට වැටහුණ කාරණයක්.

* මෙතෙක් ඔබ කළ රංගනය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

මගේ රංගනය ගැන මම තෘප්තිමත්. මට රඟපෑමට ලැබුණේ සෑම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිතයි. ඒ නිසා ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. මෙතෙක් මේ ගමන එන්න උදව් කළ සියල්ලන්ටම මම ස්තූතිය පළ කරනවා. මාධ්‍ය ආයතනවලටත් මගේ ස්තූතිය හිමි විය යුතුයි. මම අද ඉන්න තැන හදා ගන්න ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයත් මට බෙහෙවින් උපකාරි වුණා.