වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




දෙයියන්ගේ පිහිටෙන් මාව කාටවත් අමතක වෙලා නෑ

දෙයියන්ගේ පිහිටෙන් මාව කාටවත් අමතක වෙලා නෑ

බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂ

හේමසිරි සෙල්ලප්පෙරුම

කලකට පසු සරසවිය සමඟ

හේමසිරි සෙල්ලප්පෙරුම යනු හෙළ සිනමාවේ අප්‍රමාණ සෙල්ලම් දැමූ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකි. නානා විධියේ සිනමාපට තිස් හයක් ඔහු අතින් නිමවිණ. අපගේ අභාග්‍යට දෝ සෙල්ලප්පෙරුම චිත්‍රපට කිරීම අත හැරියේය. ඒ ඔහුගේ අසනීප තත්ත්වය හේතුවෙනි. සංජානා සෙල්ලප්පෙරුමගේ අවසාන චිත්‍රපට අධ්‍යක්ෂණයකි. මේ දිනවල විවේකී සුවයෙන් නිවසෙහි කාලය ගත කරන අප ඔහු සොයා ගියෙමු.

මේ දිනවලදී ඔබගේ දුරකථනයට නිමක් නැතුව ඇති නේද?

ඇත්තමයි, ඔබ කීවා වගේ මට කෝල්ස් එනවා ඉවරයක් නැහැ. ගොඩක් අය සංජානා චිත්‍රපටය නරඹපු අය. එයාලා මට කියනවා කලෙකට පස්සේ බලපු සොඳුරුම පවුලේ චිත‍්‍රපටය සංජානා කියලා.

ඔබට මොකද හිතෙන්නේ?

සෑහෙන්න සතුටුයි. මට දැනෙනවා කාලෙකට පසුව මං යළි ඉපදුනා වගේ කියලා.

කලකින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නොහැකි වීම ගැන දුකක් නැතිද?

කොහෙත්ම නැහැ.

ඇයි ඒ?

පුළුවන් කාලේ මට කරන්න පුළුවන් සෑම චිත්‍රපටයක්ම කළා. ආයේ ඉතින් කරන්න චිත්‍රපටයක් ඉතිරි වෙලා නැහැ.

ඒ කියන්නේ කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දාලා ඉවරයි සිනමා ක්ෂේත්‍රය තුළ?

සහතික ඇත්ත.

ඔබ කෙතරම් සිනමාපට කළත් සම්මාන ලැබුණේ නැහැ? ඇයි එහෙම වුණේ?

කැපිල්ල වැඩියි. ඒ කාලේ මට සම්මාන ඔන්න මෙන්න තිබිලා වෙන අයට දුන්නා. මං ඒවට තර්ක කළා. දිගින් දිගටම වාගේම මණ්ඩලවලට අභියෝග කළා. හැබැයි රණ්ඩු සරුවල්වලට ගියේ නැහැ. අනික සම්මාන නෙවෙයි මට ඕනෑ වුණේ.

එහෙනම්?

මං චිත්‍රපට කළේ සල්ලි හොයන්න.

ඒ කිව්වේ ක්ෂේත්‍රයට යමක් දායාද කිරීම නෙවෙයිද ඔබේ අරමුණ වුණේ?

මෙහෙමයි, මම සල්ලි හොයන්න චිත්‍රපට කරනවා කියලා නෙවෙයි මං කිව්වේ. මට ඕනෑ මගේ චිත්‍රපටයට මුදල් යොදවන නිෂ්පාදකවරයාව බේරා ගැනීම.

ඔබ එහෙම කළා?

ඔව්. මං කරපු සෑම චිත්‍රපටයකින්ම නිෂ්පාදක ගොඩ ගියා.

සංජානා රූපරාමුවක්

ඇයි ඉස්සර තරම් සිනමා ක්ෂේත්‍රය අද බැබළෙන්නේ නැත්තේ?

ප්‍රධානම හේතුව තරගකාරිත්වය නොමැතිකම. ඉස්සර තරම් සම්මාන උළෙලවල් නැහැ. ඒක නිසා කරන්නම් වාලේ චිත්‍රපට කරනවා මිසක ගුණාත්මකභාවය ගැන හිතන්නේ නැහැ.

ඔබත් ඇතැම් අවස්ථාවල ගුණාත්මකභාවය හිතුවේ නැහැ. ඔබේ චිත්‍රපටවල තිබ්බා ගැහැව්වා දර්ශන තිබුණා?

අඩු දින ගණනකදී චිත්‍රපට කරන්න කියලා අපට පවරනවා. එතකොට ඔවැනි දේවල් වුණා.

ඔබ කලාත්මක ගණයේ චිත්‍රපට පවා අධ්‍යක්ෂණය කළානේ?

මං දන්නේ නැහැ මං එැනි චිත්‍රපට කළා ද කියලා. මිනිස්සු තමයි කියන්නේ ඒවා මොන අංශයට වැටෙන චිත‍්‍රපට ද කියලා. මං නිර්මාණකරුවකු විදිහට එක තැනක හිර වෙල චිත්‍රපට කළේ නැහැ. හැමෝටම සාධාරණයක් වෙන්න වැඩේ කළා.

සංජානා චිත්‍රපටය වගේ එකක් කළේ ඇයි?

ඒක පවුලේ චිත්‍රපටයක්. මං වැඩිපුරම කෙරුවේ එවැනි චිත්‍රපටනේ. මට හිතුණා රවීන්ද්‍ර රන්දෙණියගේ පුතු සමිරව සිනමාවට හඳුන්වා දෙන ගමන් අලුත් පරපුරේ අයව දාලා චිත්‍රපටයක් කරන්න.

සංජානා සඳහා මංජුලා කුමාරි, සංඛ ප්‍රසාද් වගේ ටෙලිවිෂනයේ නිතර දකින අයව තෝරා ගත්තේ ඔබද?

ඔව්. ඒ අය වැඩිපුරම සිනමාවේ නැහැ. අනික ඔවුන් දක්ෂයි. ඒ හැකියාව ප්‍රයෝජනයට ගත්තේ නැහැ අපේ අය. සංජානා හරහා ඒ අයත් කලඑළියට ආවා කියලා කියන්න පුළුවන්.

ඔබ ටෙලි නාට්‍ය කළේ නැහැ නේද?

මං කැමැති සිනමාවට පමණයි. ටෙලි නාට්‍යවලට වඩා සිනමාව උසස් තැනක තියෙන්නේ. මං ටෙලි නාට්‍ය කරනවා කියන්නේ මා සිටින තැනින් පහළට වැටෙනවා කියන එක.

ඒ වුණාට ඔබ හොඳ ටෙලි නාට්‍ය රසිකයෙක්?

ඔව්. කළු අරලිය, මොනර කඩදාසි, දස්කොන් වගේ ටෙලි නාට්‍ය මං දිගටම බැලුවා.

එතකොට මෑත කාලයේ ආව චිත්‍රපට බැලුවාද?

එකක්වත් මඟ හැරියේ නැහැ. ඊයේ පෙරේදා වෙනකම් ප්‍රදර්ශනය වුණ සෑම චිත්‍රපටයක්ම බැලුවා. පුතාලා තමයි මාව එක්කගෙන යන්නේ.

මොකක්ද ඔබ ළඟදී නරඹපු හොඳම චිත්‍රපටය?

මට එහෙම නම් වශයෙන් කියන්න අමාරුයි. මං එහෙම එක නමක් කිව්වොත් තවත් කෙනෙකු පහතට වැටෙනවා. මං ඒකට අකැමැතියි.

ඔබ පවුලේ චිත්‍රපට කළා කිව්වට ඇතැම් අවස්ථාවලදී ඔබේ චිත්‍රපට වාරණයට ලක් වුණා?

ඒ දෙබස් හින්දා. කපන මණ්ඩලයෙන් කිව්වා ඒවාවල දෙපිට කැපෙන අදහස් තියෙනවලු. මං ඩයලොග් ලිව්වේ සාධාරණ අදහසක් හිතේ තියාගෙන. වෙනත් අදහසකින් ඒ අය බලලා කියනවා ඒ දෙබස් හරි නැහැලු. මං අරගල කළා. අන්තිමේ මං දින්නා. ඒ වගේම 'සත්වෙනි දවස' චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණියගේ බඩ කපන සීන් එකක් තියෙනවා. මං ඒකට ලේ පාවිච්චි කළා. කපන මණ්ඩලයෙන් කිව්වා ලේ පෙන්වන එක වැරැදියිලු. බඩක් කපද්දී ලේ පෙන්වන්නේ නැතුව මොනවා පෙන්වන්නද.

ඔබ හඳුන්වා දුන් අය හොඳ තැන්වල ඉන්නවා?

ඒකනේ බහුතරයක් අද ඩිරෙක්ටස්ලා වෙලා. මට සතුටුයි ඒකට.

ඒ අය ඔබව බලන්න එන්නේ නැතිද?

දෙයියන්ගේ පිහිටෙන් මාව කාටවත් අමතක වෙලා නැහැ. රන්ජන් රාමනායක,සජිත් ප්‍රේමදාස, සනත් ගුණතිලක, මානෙල් චන්ද්‍රලතා ආදී ගොඩ දෙනෙක් මාව බලන්න ඇවිත් සුවදුක් විමසනවා.

ඔබ තමයි ලංකාවේ දෙවැනියට වැඩිපුරම චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා. කොතරම් නළු නිළියන් ඔබ මෙහෙව්වත් විශිෂ්ට රංගනවේදී ජෝ අබේවික්‍රමයන්ව අධ්‍යක්ෂණය කරන්න බැරි වුණා?

මං ජෝව අවස්ථා කිහිපයකදීම මගේ ෆිල්ම්වලට ගන්න බැලුවා. ඔහුගේ තිබුණු කාර්ය බහුලකමට ඒ් අවස්ථා සියල්ල මඟ හැරුණා. ඒ වුණාට මට ගාමිණී ෆොන්සේකාව නම් ඇති තරම් මෙහෙයවන්න අවස්ථාව ලැබුණා.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

සංජානා නොබලපු අයට බලන්න කියලා මං ආරාධනා කරනවා ඒ වගේම සංජානා තිරගත කරන්න මහන්සි ගත් සුරංග ද අල්විස්ට තුති පුදන්න ඕනෑ. මේ වෙලාවේ ලංකා පීරිස්ව සහ අර්නස්ට් වඩුගේව මතක් කරන්න කැමැතියි.