වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




 සිංහල සිනමාවේ කඳුළු බිංදුව

සිංහල සිනමාවේ කඳුළු බිංදුව

රුක්මණී දේවි විරුදාවලිය ලත් නාමයයි. එදා මෙදා තුර හෙළ සිනමා ඉතිහාසයේ එවන් ජනකාන්ත තාරකාවක් බිහිවේදැයි සැක සහිතය. රුක්මණී ගේ රංගනයෙන් මුසපත් වූ ප්‍රේක්ෂකයෝ ඇයට එකී නාමය පටබැන්දාහ. ඇතැම් ජවනිකාවන්හි රුක්මණී කඳුළු සලද්දී මුළු ප්‍රේක්ෂකාගාරයම හඬති. එදවස අගේ රංගනය හුදීජනයාට කොතරම් දැනෙන්නට ඇත්ද? ඇතැම්හු ඇයට සැලකුවේ මවකට මෙනි. ඒ රුක්මණී පෙර කළ පින් මහිමය හේතුවෙනි. රිදී තිරයේ කඳුළු බිංදුව සැබෑ ජීවිතයේදීත් කඳුළු බිංදුවකි. සාගරයක් තරම් ඇය සමහර දිනවල කඳුළු සලා තිබේ. ඒ කරුණු අප්‍රකටය. ඇයට ඇති ගරුත්වය නිසා රුක්මණී ගේ ඒ ජීවන පැතිකඩ වැඩි දෙනෙකු හෙළි නොකරති. නමුත් එඩී රුක්මණී දේවිය අද ජීවතුන් අතර නැත. එහෙයින් මේ කරුණු අද හෙළිකළාට කමක් නැතැයි මම විශ්වාස කරමි.

ඒ මා “සරසවිය” පුවත්පතහි සේවය කරන කාලයයි. මම රුක්මණී සමඟ ලිපියක් සැකසීමට කලක් ඔවුහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට ගියෙමි. ඔවුන් සිටියේ උඩ තට්ටුවකය. මා පහළ සිට තරප්පු පෙළ දිගේ ඉහළට යන්නට සැරසෙත්ම මට කිසියම් දෙදෙනෙකුගේ රණ්ඩුවක් ඇසිණ. ඒ රුක්මණී සහ එඩී බව මට හඳුනා ගන්නට වැඩි වේලාවක් ගත නොවිණි. මේ අලකලංචිය මැද එහි යන්නට සුදුසු නැති බැවින් මම පහළට වී සිටියෙමි. සුළු මොහොතක් ගත වූ තැන ටක් ටක් හඬ නංවමින් එඩී බැස ආවේය.

ආ.... වඩුගේ.... මං මීගමු යනවා. රුක්මණී ඇතුළේ ඇති. යන්න.

ෆුල් සූට් එකකින් සැරසුණු එඩී පිටව ගියේ දුම් පයිප්පයක්ද උරමිනි. මම රුක්මණීව හමු වුණෙමි.

අර්නස්ට් මල්ලී.... පේනවා නේද මං ගත කරන ජීවිතේ. මට වෙලාවකට එපා වෙනවා.

ඩේසි අක්කා දැන් මොකද කරන්නේ?

මොනවා කරන්නද මල්ලි එන විදිහකට මුහුණ දෙනවා.

එදින සුපුන් සඳක්වන් රුක්මණීගේ සුන්දර මුහුණ මැලවී තිබිණි. රූරා වැටෙන කඳුළු තවමත් නතර වී නොමැත. මම එදින ඇයගේ සිත පුළුවන්තරම් හැදුවෙමි. හර්බට් එම්. සෙනෙවිරත්න සහ රුක්මණී අතර තිබුණේ දැඩි හිතවත්කමකි. එය ප්‍රේම සම්බන්ධයක්දැයි මා දන්නේ නැත. එහෙත් බොහොම සංයමයකින් ඔවුන් දෙපොළ ඇසුරු කළහ.

ගියේ ඇයිද මාව තනිකර හෘදේ...” “වැළපෙන්නෙ ඔබගෙ සොඳුරිය ශෝකෙන් සුසුම් හෙළා” ආදී හර්බට් ලියූ ගීත රැසක් රුක්මණී ගායනා කළාය. ඒ මඟින් රුක්මණීගෙ ජීවිතය විවරණය වූ වග එකල විචාරකයෝ කීය. කෙසේ වෙතත් රුක්මණී හර්බට් එකතුවෙන් අප ගීත සාහිත්‍යයට නවමු නිර්මාණ බොහොමයක් බිහිවූ බව නොකියාම බැරිය. ගයන ගැයුම් ගීතය ගැයූ නෙවිල් ප්‍රනාන්දු සමඟද රුක්මණීගේ සමීප සබඳකමක් තිබිණ. ඇය මේ හිතවත්කම් තිබුණත් කිසිදු දිනක නොමඟ ගියේ නැත. මිනිසුන් ආදරය කළේ රුක්මණීගේ ඒ උදාර ගතිගුණයටය. ඒ ගැන කතා කරද්දී මට මතක් වන්නේ තවත් අපූරු කතා පුවතකි.

දිනක එඩී රුක්මණී සමඟ කාරයේ ගමනක් යමින් සිටියා. දුම්රිය හරස් මඟ ළඟ ඔවුන්ගේ රථය නතර කෙරුණේ එය වසා තිබූ බැවිනි. එඩී තම දුම්පයිප්පයේ අලු ගසා දමන්නට වාහනයේ වීදුරුව පාත් කොට තත්ත්පර කිහිපයක් ඇතුළත එය වසා දැමීය. ඒ ඇසිල්ලට ළඟ තිබූ කඩයක සිටි අයකු ඔවුන් දෙපොළව හඳුනා ගත්තේය. ක්ෂණයකින් ඒ තැන හිස්ගොඩක් බවට පත්විය. අවසානයේ ඒ සෙනඟ කන්දරාව පාලනය කරන්නට පොලිසිය පැමිණියේය.

තරුණී පුවත්පතෙහි වැඩ මුළුවකට රුක්මණීව ගෙනත් දෙන්න යැයි එවකට එහි කතුතුමා මගෙන් ඉල්ලීමක් කළේය. මම ඒ බව රුක්මණීට කීවෙමි. ඇය එක පයින් එයට කැමැත්ත ප්‍රකාශ කළාය. එම වැඩමුළුව තිබුණේ ගාල්ලේය. මටද රුක්මණී සමඟ ගාලු යන්නට සිදුවිය. ඇය සමඟ ගමන් යාම මට එපා වූයේ එදාය. අප එදින ගාල්ලට යාමට පැය අටකට ආසන්න කාලයක් ගතවිය. එයට හේතුව වුණේ කොළඹ සිට ගාල්ල දක්වා ඇති මාර්ගයේ තැන් විස්සකට වඩා රුක්මණීගෙ ඉල්ලීමට වාහනය නැවැත්වීමය. ඇය එලෙස වාහනය නවත්වන්නේ තමන්ගේ හිතවත් අයකුගෙ නිවසක් ළඟය. රුක්මණී වහා බැසගොස් තම හිතවතාගේ දුක සැප විමසන තුරු අපි කල් මරුවෙමු. පුදුමය වන්නේ රුක්මණී දුක සැප විමසන්නට ගිය නිවැසියන් බොහොමයක් සාමාන්‍ය අයවලුන් වීමය. ඇය තුළ තිබුණු මනුසත්කම කොතරම් ද යන්න ඔබට තේරුම් ගැනීමට මේ උදාහරණයම පමණක් සෑහෙනු ඇත.

කෙතරම් ඉහළින් වැජඹුණ ද රුක්මණීගේ ජීවිතයේ අවසන් කාලය ගෙවුණේ ආර්ථික අපහසුතාවයන් මැදය. තමන්ගේ පෞද්ගලික වාහනයක ද අහිමිව ඈ කල් ගත කළාය. ස්වර්ණ ගී නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ද පැවැත්වීමට ඈ තීරණය කළේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මඳකට හෝ මිදෙන්නටය. ඇය සතුවූ මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට ප්‍රධානම හේතුව වූයේ මුදල් යහමින් තිබූ සමයේ නිර්ලෝභීව වියදම් කිරීමය.

රුක්මණී මීගමුවේ සිට කොළඹට එන්නට යන වියදම රුපියල් දෙදහසක් යනු අද ලක්ෂ දෙකක් පමණය. කොළඹ එන්නට ඈ ගන්නා ඇඳුම් පැලඳුම් සහ මේකප්වලට එකී මුදල වැයවිය. එහෙයින් මුදල් ඉතිරියක් නොමැති කරම්ය.

රුක්මණී මිය ගිය පුවත කවුරුන් විසින් කීවාදැයි මට මතකයක් නැත. මම සහ පවුලේ අය ඒ මොහොතෙහිම මීගමුවට ගියෙමි. ඒ තාක්කල් අපව හිනැස්සූ විකට රජු එඩී හඬනු දුටුවේ එදාය. රුක්මණීගේ නිසල දේහය ළඟ පුංචි දරුවකුමෙන් එඩී වැළපෙමින් සිටි අන්දම අද ද මට මැවී පෙනෙයි. රුක්මණීගේ අවසන් කටයුතු සිදු කෙරුණේ අති විශාල වූ සෙනඟ කන්දරාවක් මධ්‍යයේය. ඒ අතරින් තෙරපෙමින් මමද රුක්මණීට අවසන් ගෞරවය දැක්වූයෙමි.

අර්නස්ට් පවසන අතීතයේ මී බිඳු සටහන් කරන්නේ ප්‍රසාද් සමරතුංග