වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - මහරජ ගැමුණු චිත්‍රපටය ගැන ඔබගේ අදහස කුමක්ද?

අයිලීන් සෝවිස් - වැලිසර, රාගම

අර්ජුන් - විශිෂ්ට ගණයේ සිනමාකරුවකු අතින් ලියැවුණු හොඳ නවකතාවක් ඔහු අතින්ම කෙලෙසා දැමීම ගැන ලෝකයේ හොඳම උදාහරණය මහරජ ගැමුණු.

ප්‍රශ්නය - හතළිහ දශකයේ ප්‍රදර්ශනය කළ චන්ද්‍රලේඛා නැමැති ද්‍රවිඩ චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් වන එම්. කේ. රාධා, ටී. ආර්. රාජකුමාරි යන අය ජීවතුන් අතර සිටීද?

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව, පල්ලිය පාර

අර්ජුන් - දෙදෙනාම අද වන විට ජීවතුන් අතර නැත.

ප්‍රශ්නය -2020 වන විට සිංහල සිනමාව කෙසේ වේවිද ඔබ සිතන්නේ?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් - ඇත්තටම වෙන දේ ගැන හරියටම කියන්න මම මේ දවස්වල හොඳ කේන්දරකාරයෙක් හොයනවා. ආනන්ද ඒ ප්‍රශ්නයට උත්තරය එවිට දෙන්නම්.

ප්‍රශ්නය - හින්දි සිනමාවේ ජනප්‍රිය නිළි ශ්‍රී දේවි රඟපා ඇති චිත්‍රපට මොනවාද? ඇය ගැන කෙටි විස්තරයක් කරන්න?

එම්. ඉන්ද්‍රපාල, සංගමිත්තා මාවත, මුංහේන

අර්ජුන් - නියම නම ශ්‍රී අම්මා යාංගර් අයියප්පන්. ඇය උපන්නේ 1963 අගෝස්තු 13 වෙනිදා තමිල්නාඩුවේදී. ඇය රංගනයට එක් වන්නේ ඇයට වයස අවුරුදු හතරේදී. ඉන් පසුව ළමා වියේ චිත්‍රපට රාශියක රඟපෑ ඇය තරුණ වියේදී මුල්වරට රඟපාන්නේ මුන්දාන මුඩිච්චි චිත්‍රපටයේ. ඒ කමල් හසන් සහ රජිනි කාන්ත් සමඟයි. මෙතැන් පටන් දෙමළ සිනමාවේ ජනප්‍රියම නිළිය බවට පත් වුණා. ඇය සම්මාන රාශියක් දිනා ගත්තා. හින්දි සිනමාවට එලඹෙන්නේ '1975 ජූලි' චිත්‍රපටයෙන්. එහෙත් පසුව ජනප්‍රිය නිළියක් බවට පත් වන්නේ 1983 න් පසුවයි. පසු කලෙක බොනී කපූර් සමඟ විවාහ වූ ශ්‍රී දේවි දෙමළ, මලයාලම්, කන්නඩ, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවලින් තැනුණු චිත්‍රපට සිය ගණනක රඟපෑවාය. හින්දි සිනමාවේ සුපිරි නිළිය හැටියට ඇය දිගු කලක් සිය කිරුළ ආරක්ෂා කර ගත්තා. එමෙන්ම අති විශාල සම්මාන රාශියක් ඇය තම රංගනය වෙනුවෙන් දිනා ගත්තා. ඇයගේ මෑත කාලයේ හොඳම චිත්‍රපටය 'ඉංගිලිස් විංගිලිස්' චිත්‍රපටයයි. ඒ වගේම ඔබ දන්නවාද ඇය අපේ නිළි රැජන මලිනී ෆොන්සේකාගේ දියණිය හැටියටත් චරිත නිරූපණය කළා. ඒ 'පයිලට් ප්‍රේමනාත්' චිත්‍රපටයේ.

ප්‍රශ්නය - මියුරි සමරසිංහ, රත්නාවලී කැකුනවෙල, ඇග්නස් සිරිසේන ගැන අපි යමක් දැන ගැනීමට කැමැත්තෙමු?

ලීනා ද සිල්වා, තැන්නකුඹුර, මහනුවර

අර්ජුන් - මේ අපේ ගුවන් විදුලියේ සහ වේදිකාවේ සිටි දක්ෂ නිළියන් තිදෙනෙක්. මෙයින් ඇග්නස් සිරිසේන අද වන විට ජීවතුන් අතර නැහැ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වූ ආර්. මුත්තුසාමි සංගීතවේදියාණන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් ද, නැතහොත් ඔහු ඉන්දීය පුරවැසිභාවයක් ඇත්තෙකුද?

මැණිකේ විල්වල, තිලකරත්න විල්වල

කෑගල්ල,තටාක පාර

අර්ජුන් - උපතින් ඉන්දියානුවෙක්. 1955 වසරේදී ශ්‍රී ලංකාවේ පුරවැසිකම ලැබුණා. එතැන් පටන් මිය යනතුරුම ශ්‍රී ලාංකික සංගීතඥයෙක්.

පෙම්බර මධූ මගේ ගීතය හින්දි තනුවක් අනුව සෑදුවක්දැයි අර්ජුනගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස ලැබුණේ නෑ යනුවෙන්. එහෙත් අපේ පාඨකයෙකු වූ රාජේන්ද්‍ර පූජිත ගුණවර්ධන එය 1971 පකිස්ථානයේ තිරගත වූ උර්දු චිත්‍රපටයක් වන චිරග් කහන් රොස්නි කහන් චිත්‍රපටයේ එන මෙරී දුවා හයි ගීතය ඇසුරෙන් තැනූවක් බව දක්වා නියමිත You tube link එකද එවා තිබෙනවා. එයට අපේ ස්තූතිය.