වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අවමානය මකා ගන්නේ කෙළෙසද? සේමිණි අවධාරණයෙන් අසයි

මේ අවමානය මකා ගන්නේ කෙළෙසද? සේමිණි අවධාරණයෙන් අසයි

කුප්‍රකට මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන වෙලේ සුදා සමඟ ගනුදෙනු කළේ යැයි, පවසමින් තමාගේ නම අන්තර්ජාලයට එක් කිරීමෙන් සිදු වූ අවමානය කිසිසේත් මකා ගත නොහැකි යැයි සම්මානනීය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සරසවියට පැවසුවාය.

ගයේෂා පෙරේරා, ලෝචනා ඉමාෂි, නිලන්ති ඩයස්, උදයන්ති කුලතුංග සහ ජින්ජර් නිළියන් සෙසු අය හැටියට එම පුවතින් හඳුන්වා දී තිබිණ. එය නිර්මාණය කොට තිබුණේ මධුශංක ගනේගොඩ නමැත්තෙකි.

කලකට පසු යළිත් ඉහත තැනැත්තා විසින් තවත් පුවතක් ෆේස්බුක් හරහා පළ කරන ලදී. එහි සඳහන්ව තිබුණේ තමන් විසින් සකසන ලද පෙර පුවත සාවද්‍ය එකක් යැයි යනුවෙනි. ජනපි‍්‍රය අධ්‍යක්‍ෂවරයකු විසින් එම හයදෙනාගේ නම් තමන්ට පැවසූ බව දෙවනවර පළ කළ පුවතෙහි සඳහන්ව තිබිණි . ඒ වනවිටත් සේමිණි ඇතුළු පිරිසගේ කීර්ති නාමයට දැඩිසේ හානිවී අවසන්ය. මෙම සිද්ධයෙහි ඇත්ත නැත්ත මාධ්‍යයට දැනුවත් කිරීම සදහා සේමිණි ඉද්දමල්ගොඩ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. ඇය සමඟ ඇය සමඟ ලෝචනා ඉමාෂි ද එකතු වී සිටියාය. එහිදී මේ පිළිබඳ සරසවියට පැවසූ සේමිණි,

“මධුසංක ගනේගොඩ කියන්නෙ මොඩ පුද්ගලයෙක්. ඔහුගේ හැටි දන්නා යම් කිසි කණ්ඩායමක් විසින් තමයි අර පුවත අන්තර්ජාලයට එක්කොට තිබෙන්නෙ. මේ වන විට වෙලේ සුදා සමඟ ගනුදෙනු පැවැත් වූ නිළියන් හතර දෙනෙකු පිළිබඳ අනාවරණය වෙමින් පවතිනවා. ඔවුන්ගේ මූලිකත්වයෙන් අපේ නම් මෙලෙස යොදාගෙන සාවද්‍ය පුවතක් නිර්මාණය කරන්නට ඇතැයි අප සැක කරනවා. කොහොම වුණත් දැන් අපට වෙන්න තියෙන දේවල් ටික වෙලා ඉවරයි. වෙලේ සුදා සමඟ සබඳකම් පැවැත් වූ ඇත්ත නිළියො ටිකගෙ පින්තූර දාලා පුවතක් දැම්මත් සමාජය විසින් පිළිගන්න එකක් නැහැ ඒක ඇත්ත කියලා. මොකද දැන් බොරු පුවතක් නිර්මාණය වෙලා ඉවරයිනෙ.

සේමිණී සමඟ මෙම සාකච්ඡාව සදහා ලෝචනා පමණක් සහභාගි වන්නේ මන්දැයි සේමිණීගෙන් අප ප්‍රශ්න කළෙමු.

ලෝචනා සහ එයාගෙ පවුලේ උදවිය මා ඉතාම ළඟින් ඇසුරු කරනවා. මට ඇයව අතිශය විශ්වාසයි. මට අනිත් අය ගැන කියන්න දන්නෙ නැහැනේ. ඒ වගේම තමයි ළඟින් ආශ්‍රයක් නැති නිසා අනෙක් අයටත් මා ගැන කියන්න බැහැනේ. නමුත් ලෝචනා මෙයට සම්බන්ධ නැහැ කියලා මට සීයට සීයක් විශ්වාසයි.

කෙසේ වෙතත් සිනමා කර්මාන්තයේ පිරිස් සම්බන්ධ කොට මෙවන් අසත්‍ය ප්‍රචාර ගොඩ නැංවීම සරසවිය තරයේ හෙළා දකින අතරම අදාළ සැකකරුවන්ගේ නම් හෙළි දරව් නොකොට ජනපි‍්‍රය නිළියන් ලෙස ඔවුන් හඳුන්වා දීමේදි ඇතැම් පහත් අදහස් ඇත්තන් ගේ අවශ්‍යතා ඉෂ්ට වීම අතිශය භයානක බැව් පෙන්වා දෙනු කැමැත්තෙමු. එමෙන්ම මෙම පුවත ගොඩනැගීමට උපකාර කළ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ නම ද ප්‍රේක්‍ෂකයාට අනාවරණය යුතුව ඇත.