වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 23 වැනිදා බ්‍රහස්පතින්දා




ඩී.එෆ්. කාරියකරවන මියයයි

ඩී.එෆ්. කාරියකරවන මියයයි

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ඩී. එෆ්. කාරියකරවන මහතා පසුගිය (21) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1920.02.08 දින මීගමුවේදී උපත ලද කාරියකරවන මහතා මිය යන විට 95 වැනි වියේ පසු විය.

වසර පහක පමණ කාලයක් රෝගාතුරව සිටි කාරියකරවන මහතා විසි එක් වැනිදා පෙ.ව. 7.40 ට පමණ අවසන් හුස්ම හෙළුවේය. කාරියකරවන මහතා මිය යන මොහොත වන තෙක්ම ලේඛන කටයුතුවල නිරතව සිටි අතර පුවත්පත් හතරකට සතිපතා තීරු ලිපි හතරක් සම්පාදනය කළේය.

පැරැණි ලංකාදීප පුවත්පතෙන් ලේක්හවුස් ආයතනයට පැමිණි කාරියකරවන මහතා ‘දිනමිණ’ ජ්‍යෙෂ්ඨ උප කර්තෘවරයකු ලෙස විශිෂ්ට සේවාවක් සිදු කර පසුව සිළුමිණ, ජනතා, ක්‍රීඩා ආදී පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධූරයට පත්විය. පුවත්පත් බස පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ හෙතෙම සිංහල ඉංගී‍්‍රසි දෙබසින්ම මාධ්‍ය කටයුතුවල නිරත විය. ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය පසුව ඔහු 1995 වසරේදී උපදේශකවරයකු ලෙස නැවත වරක් ලේක්හවුසියට එක් විය. දැනට සිටින බොහෝ මාධ්‍යවේදීන්ගේ ගුරුවරයකු වන කාරියකරවන මහතා 1995 වසරේදී ලේක්හවුස් ආයතනයේ ඇරැඹි මාධ්‍ය පුහුණු ආයතනයෙන් මාධ්‍යවේදීන් රැසක් බිහි විය.

“දසක සතක මතක, මතක පොතෙන් තවත් ටිකක්, මතක පොතේ ඉතිරි හරිය, රට ගිය ඇත්තෝ, ඇවිද්ද පය” ආදී ග්‍රන්ථ රැසක් කාරියකරවන මහතා විසින් රචනා කරන ලදී.

කාරියකරවන මහතාගේ අවසන් ඉල්ලීම අනුව අභාවප්‍රාප්ත වූ දිනයේදීම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පාංශකූලය පූජා කිරීමෙන් අනතුරුව පස්වරුවේදී මාලබේ වෛද්‍ය විද්‍යාලයට දේහය බාරදීමට කටයුතු යොදා තිබිණි.

කලක් සරසවිය පුවත් පතේ උප කතුවරයකු ලෙස සේවය කළ මුදිත ඇතුළු දූ දරුවන් පස් දෙනකුගේ පියාවූ ඔහු මාධ්‍යවේදී කුරුළු කාරියකරවන ඇතුළු දරුවන්ගේ මුත්තනුවන්ය.