වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




කේ.කේ. ජග්තියානි මියයයි

කේ.කේ. ජග්තියානි මියයයි

ශ්‍රී ලංකාව සිය දෙවැනි නිජබිම ලෙස සැලකූ මෙරට ජීවත් වූ ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදකවරයකු වූ කේ. කේ. ජග්තියානි මුම්බායි නගරයේදී පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය.

කළ කළ දේ පළ පළ දේ, කළණ මිතුරෝ, සිඟිති සුරතල් ඇතුළු චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළ ජග්තියානි, මරදානේ කලක් පැවැති ක්‍රවුන් සිනමාහල ඉදි කළේය.

වසර පනහකට අධික කාලයක් හින්දි චිත්‍රපට ආනයනය කළ ජග්තියානි 1962 වසරේ දී කොහිනූර් චිත්‍රපටය මෙරට තිරගත වද්දී ඔහු එහි ප්‍රධාන නළු දිලිප් කුමාර් ලංකාවට කැඳවා ගෙන ආවේය.

එමෙන්ම පසුගිය වකවානුවේ සල්මන් ඛාන්, කරිෂ්මා කපූර්, අක්ෂේ කුමාර් ආදීන් මෙරටට කැඳවා ගෙන පැමිණීමේ සම්බන්ධිකරණය තුළින් ජග්තියානි හින්දි සිනමා කර්මාන්තයට ද දායක වූ අතර එමගින් ඉපැයූ ධනයෙන් මෙරට චිත්‍රපට නිෂ්පාදනය සඳහා සිනමාහලක් ද ඉදි කළ එකම ඉන්දියානු ජාතිකයාය.

1928 නොවැම්බර් 02 වැනිදා උපත ලද ජග්තියානි මිය යන විට 85 වැනි උපන් දිනයට ආසන්නයේ සිටියේය.

ජීවන් ක්ලෝඩියස් වෙයි ඔෆීලියා නැතිව හැම්ලට් මඟ

ශේක්ස්පියර් කේන්ද්‍රය මඟින් ඉදිරිපත් කිරීමට සූදානම් වන හැම්ලට් චිත්‍රපටයෙහි ඔෆීලියාගේ චරිතය භාර දෙමින් නවක නිළියක් රිදී තිරයට හඳුන්වා දිීමට එහි අධ්‍යක්ෂ ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අපේක්ෂා කරයි.

ඒ සඳහා විශේෂ සම්මුඛ පරික්ෂණයක් මෙම මස 16 වැනිදා එනම් එන බදාදා උදෑසන 10.00 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි ඇති සිංහල සංස්කෘති ආයතනයේදී පැවැත්වෙනු ඇත.

මේ වන විට හැම්ලට් සිනමා කෘතියෙහි සෙසු චරිතයන් තෝරාගෙන තිබේ. ඒ අනුව ජීවන් කුමාරණතුංග ක්ලෝඩියස් ලෙසත්, හාන්ස් බිලිමෝරියා හැම්ලට් ලෙසත්, රෙක්ස් කොඩිප්පිලි පොලෝනියස් ලෙසත්, අරවින්ද දොඹගහවත්ත හොරෙෂිඩ් ලෙසත්, බුද්ධික ජයරත්න ලෙයාර්ට්ස් ලෙසත්, ක්ලීටස් මෙන්ඩිස් රොසාන් ක්‍රාන්ට්ස් ලෙසත් සරත් දික්කුඹුර ගිල්ඩර්ස්න්ස් ලෙසත්, වීණා ජයකොඩි ග්රූට්රූඩ් ලෙසත් චරිත මවනු ඇත.

මෙහි ඔෆීලියා චරිතයට යුවතියක ලැබුණු වහාම රූගත කිරීම් ඇරැඹෙන බව ගාමිණී වැඩිදුරටත් දන්වා සිටියි.

රන් කෙවිට 2 වාර්තා බිඳ හෙළයි

උදයකාන්ත වර්ණසූරියගේ රන්කෙවිට 2 සිනමාපටය හෙට දිනයට දින පණහ සපිරෙයි.

ප්‍රේක්ෂකයන් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් නරඹා ඇති එය මේ වන විට ලක්ෂ පන්සීයකට ආසන්න අදායමක් හිමිකරගෙන අති සාර්ථකව තිරගත වේ.

උදයකාන්තගේ මීළග සිනමාපටය කොස්තාපල් ප්‍රඥාසෝම ළඟදීම තිරගතවනු ඇත.

‘සඳ මිදුලේ රන් වී පත’ දොරට වඩී

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු කලා ලොවේ සැරිසැරූ ප්‍රවීණ චරිත විසි හතක් අළලා විජිත් කුමාර් සේනාරත්න පුවත්පතකට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් ‘සඳ මිදුලේ රන් වී පත’ කෘතිය සමන්විත වී ඇත.