වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

‘සරදම්’ චිත්‍රපටයේ දල සේයාපටයක්වත් චිත්‍රපට සංස්ථාවේ නැද්ද?

එච්. වී. කේ. පියදාස

පියදාස, චිත්‍රපට සංස්ථාව කියන්නේ දල සේයාපට ගබඩා කර ගන්න සංරක්ෂණාගාරයක් නොවේ. එය එයට වඩා වෙනස් වගකීම් සහිත ආයතනයක්.

1957. 11. 29 වැනිදා තිරගත වූ ‘සරදම’ චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයි. එහි සියලුම ගීත ප්‍රචාරය වුවත්, ජමුනා රාණි ගැයූ ‘ජීවිතේ රස විඳලා නෑ වගේ තව ඔහෙලා’ යන ගීතය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකාවලත්, කිසිම පෞද්ගලික නාලිකාවලත් ප්‍රචාරය නොවේ. එහෙම වෙන්නේ ඇයි?

ඇල්. ඇම්. ප්‍රේමසේන, ඥාන කුමාරි, මධු සුරංගි – කළුබෝවිල

එක කාලයකදී ඒ ගීතය අසභ්‍ය ගීතයක් යැයි බලධාරීන් විසින් තහනම් කරන ලද බැවින් ප්‍රචාරය නොවේ.

සිනමාස් සමාගම ‘වීර විජය’ නම් සිංහල චිත්‍රපටය නිපදවීමට අනුකරණය කළ දෙමළ චිත්‍රපටය කුමක්ද?

විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

‘වීර විජයන්’ චිත්‍රපටයයි.

අපේ ප්‍රදේශයේ මා සමඟ සිනමාව පිළිබඳ කතා කිරීමට, සංවාද කිරීම කිසිවකුත් ඇත්තේ නැත. එයට කළ යුත්තේ කුමක්ද?

චාමර හේමනාත් – පිළියන්දල

කොච්චර වාසනාවක්ද? මා හොයන්නෙත් ඒ වගේ පළාතක්.

සරසවිය පුවත්පතේ බොහෝ කාලයක් සේවය කළ කුමාර සිරිවර්ධන මහතා පූර්ණකාලීනව පරිවර්තන කෘති පරිවර්තනයේ පමණක් නියැලී සිටින්නේද? ලේක්හවුස් ආයතනයේ සේවයෙහි සිටින්නේද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද

ඔහු තවමත් සේවය කරන්නේ ලේක්හවුස් ආයතනයෙහිය. සාහිත්‍ය කෘති පරිශීලනයෙහි හා පරිවර්තන කාර්යයෙහි නිරත වන අතරම ඔහු ලේක්හවුස් ආයතනයෙහිම ප්‍රකාශයට පත් වන ‘දැනමුතු’ සඟරාවෙහි ප්‍රධාන කර්තෘවරයා ද වෙයි.

සිංහල සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගය වශයෙන් සැලකෙන්නේ කොයි කාලයද?

අයිලින් සෝවිස් - රාගම

නිල වශයෙන් සටහන් කරන්නේ නම් ඒ 70 දශකය ලෙස වුවත්, සාමාන්‍යයෙන් මා විශ්වාස කරන අන්දමට මගේ පෞද්ගලික මතය වන්නේ එහි ස්වර්ණමය යුගය වන්නේ 60 දශකය බවයි.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග යන රංගන ශිල්පීන් දෙදෙනා රඟපෑ පළමු ටෙලි නාට්‍ය දෙක මොනවාද?

ආතර් ද සිල්වා - මාතලේ

ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා රඟපෑ ටෙලි නාට්‍ය වන්නේ ‘සුදු සහ කළු’ යි. එහෙත් ජනකාන්ත නළුවකු වූ විජය කුමාරතුංග කිසිම දවසක ටෙලි නාට්‍යවල රඟපා නැත.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ආරම්භයේදී එහි සභාපති පදවියට තිස්ස නාගොඩවිතාන පත් වූවා නම්, සිනමාස් සමාගමේ නිපද වූ සියලු චිත්‍රපට ඔහු සංරක්ෂණය කරන වගට රහසක් නොවේ. එහෙම නම් ඒවා අද වනතුරු සංරක්ෂණය වී තිබෙනවා නේද?

සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳ

චිත්‍රපට සංස්ථාවේ කාර්යභාරය චිත්‍රපට සංරක්ෂණය පමණක් නොවේ. එයට පැවරී ඇත්තේ ඊටත් වඩා පුළුල් කාර්යයකි. චිත්‍රපට සංස්ථාවේ කාර්ය සංරක්ෂණය පමණක් නම් තිස්සගේ කාර්ය වැදගත් වේවි. නැත්නම් හරියට කුකුල්ලු බාර දුන්නා වගේ වේවි.

රුක්මණී දේවියගේ සිට සබීතා පෙරේරාගේ යුගය දක්වා කාලයේ රඟපෑ සියලුම නළු - නිළියෝ ඉතාමත් සුහදව හා ආදර්ශමත් ලෙස කාලය ගෙව්වත්, වර්තමාන නළු - නිළියන් ප්‍රසිද්ධියේ ගහ බැන ගන්නේත්, පත්තරවලින් මඩ නා ගන්නේත් ඇයි?

ලක්ෂ්මන් රණසිංහ – වත්තල

ලක්ෂ්මන්, ඔවුන් ඒ දවස්වලත් මඩ ගසා ගත්තා. හැබැයි ඒවා එච්චර එළි වුණේ නැහැ. ඒ අද මෙන් මඩ නොතිබුණු නිසායි. ඒ මඩ දැක්කම අද හොඳයි.

පුංචි තිරයෙහි කොතරම් ජනප්‍රිය වුණත්, ඒ නළු - නිළියන්ට සිනමාවේ ජනප්‍රියත්වයක් තබා ස්ථාවර තැනක්වත් හිමි කර ගත නොහැක්කේ ඇයි?

කරු මන්දාවල – නාත්තණ්ඩිය

ඒ ඉස්සරට වඩා අද නළු නිළියන් වැඩි නිසයි. ඒ වගේම ටෙලිවිෂනය සෑම දිනකම එක එක රැයට අලුත් තරු මවනවා.