වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




මුදලිගේ මෙදා පාර මොන නාඩගමක් ද නටන්න හදන්නේ

මුදලිගේ මෙදා පාර මොන නාඩගමක් ද නටන්න හදන්නේ

අශෝක සෙනරත් මුදලිගේ ගෙන් ගාමිණී ෆොන්සේකාට උපහාරයක්

නාට්‍යවේදියකු මෙන්ම පිටපත් රචකයකු ද වන අශෝක සෙනරත් මුදලිගේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා රංගවේදියාණන් වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් මෙම මස 15 දින එනම් එන අඟහරුවාදා සවස 3 ට බොරැල්ල සිංහල සංස්කෘතික ආයතනයේදී (සුදර්ශිය) පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. එදිනම අශෝකගේ හතළිස් වැනි කලා ජීවිත සැමරුම ද සිදු වනු ඇත.

මේ සුවිසෙස් කර්තව්‍ය පිළිබඳ ඔහු තවත් පැහැදිලි කළේ මෙසේය.

ගාමිණී ෆොන්සේකා කියන්නේ ඇවිදින විශ්ව කෝෂයක් කිව්වොත් වැරැදි නැහැ. මම එතුමාණන්ගෙන් ඉගෙන ගත් දේ බොහෝයි. ගාමිණී සර් අප අතරින් වියෝ වෙලා වසර නවයයි. එහෙයින් මම මේ උත්සවය සංවිධානය කරන්න හිතුවා.

මොනවද එදින සිදු වන්නේ?

මීට වසර දහයකට ප්‍රථම මං වැඩ සටහනක් කළා සිිනෙරූ තරු නමින්. එයට නිවේදකයකු හිටියේ නැහැ. වැඩ සටහන මෙහෙය වූයේ ද ඊට සහභාගි වූ ගාමිණී මහත්තයා, මාලිනී ෆොන්සේකා අක්කා සහ සුනිල් ආරියරත්න මහාචාර්යවරයා. එම වැඩසටහන ඩී වී. ඩී. ගත කළා. එපමණක්ද නොව එම තැටියට ගාමිණී මහත්තයාගේ ජීවිතයේ ඉතා වැදගත් වන මොහොතවල්හි ඡායාරූප, චිත්‍රපට ගීත ද එකතු කරනු ලැබුවා. අන්න ඒක එදාට එළි දක්වනවා. ඒ වගේම ගාමිණී ගුණ සමරු කතා කිහිපයක් ද පවත්වනවා.

සිනෙරූ තරු වැඩසටහන ගැන ගාමිණී මහත්මයා මොන වගේ අදහසක් ද දැරුවේ?

දෙමෝදර පාලම සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරයා හැටියට වැඩ කළේ මම. එහෙදියි ගාමිණී මහත්මයා හා මගේ හිතවත්කම වැඩි වූයේ. කාලයක් තිස්සේ අප ළඟ මිතුරන් වූවා. ඔන්න සිනෙරූ තරු වැඩ සටහනෙහි අදහස මසිතට ආපු ගමන් මම ඔහුට දුරකතන ඇමතුමක් දුන්නා.

මුදලිගේ මේ පාර මොන නාඩගමක් නටන්න ද මේ හදන්නේ?

ගත්ත ගමන් ඔහු එහෙම ඇහැව්වා.

මම වැඩ සටහනේ විස්තරය කිව්වා.

මුදලිගේ එහෙනම් වෙන කාවවත් මේකට පටලවා ගන්නෙ නැතුව ඔයාම පිටපත අරගෙන එන්නකෝ.

ඔහු එහෙම කිව්වාම මගේ සිත සතුටින් ඉපිළ ගියා. ලෙහෙසියෙන් ගාමිණී මහත්තයා වැඩකට සැටිස් වෙන්නේ නැහැ. ඔහු වඩාත් ප්‍රිය කලේ වැඩසටහනට නිවේදකයකු නොමැති වීම. එතුමාණන්ගේ වචනවලින්ම කිව්වොත් නිවේදකයකු නිසා ගුවන් කාලයෙන් අඩක්ම ඔහු ගන්නවා කිව්වා. එතකොට ඉඩක් ලැබුණොත්ලු කලාකරුවාට අවස්ථාවක් දෙන්නේ. ඉතින් ගාමිණී මහත්තයා මෙම වැඩ සටහන කළේ ඉතාමත් සතුටින්.

සිනෙරූ තරු ඩී. වී. ඩී. තැටිය වත්මන් පරපුරට වැදගත් වන්නේ කොහොමද?

ඇත්තටම වසර දහයකට ප්‍රථමයෙන් වැඩසටහන පටිගත කළත් අදටත් මෙහි නැවුම් ගතිය තියෙනවා. මෙමඟින් ගාමිණී මහත්මයා පිළිබඳ නොදත් පරපුරකට ඔහුගේ බොහෝ තතු දැනගත හැකියි. මං ඒකයි විශේෂයෙන්ම මෙය අවුට් කරන්නට හිතුවේ.

නිළි රැජන මාලිනී ෆොන්සේකා ඔබේ ළඟම ඥාතිවරියක් නේද? ඒ ගැනත් සඳහන් කරමු?

මගේ අක්කා තමයි මාලිනී අක්කගේ එක මල්ලි කෙනකු වන උපාලි ෆොන්සේකා විවාහ වෙලා ඉන්නේ. ඒ දෙන්නගෙ දරුවා තමයි සිරි පැරකුම් චිත්‍රපටයේ රඟපාපු සෙනාලි ෆොන්සේකා. මාලිනී අක්කත් මගේ කලා කටයුතුවලට ලබා දෙන සහාය අපමණයි. 15 වැනිදා ඇය විශේෂ ආරාධිත අමුත්තියක් විදිහට සහභාගීවීමට නියමිතයි.

ඔබේ කලා ජීවිතයට හතළිස් වසරයි. මොකද හිතෙන්නේ?

හරිම සතුටුයි. 1972 සිට මේ දක්වා නාට්‍යකරණයේ යෙදෙනවා. මං ඒ වගේම සහාය අධ්‍යක්ෂවරයකු වශයෙනුත් නිර්මාණ කිහිපයක් කළා. මං අවසන් වරට නිර්මාණය කළ ඇන්කොණ්ඩා සහ සිංහ දියණි නාට්‍යවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙලාවේ මට මුල ඉඳල උදවු කරපු උපාලි අත්තනායක, සරත් දසනායක, ආරියවංශ වීරක්කොඩි යන මහත්වරුන්වත් මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලයත් මතක් කළ යුතුයි.