වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




දැස නිදි නැති රෑක තනියම ඔබේ ගී හඬදෝ ඇසෙන්නේ ...

දැස නිදි නැති රෑක තනියම ඔබේ ගී හඬදෝ ඇසෙන්නේ ...

සුදු සේල මිහිඳුම් සළු පොරවා ගත් සඳ එළිය අද වෙනදාටත් වඩා ශාන්තය. සුන්දරය. ඒ සඳ රැස් තුරුලේ මුකුළු පානා සුවහසක් තරු කැකුළියන් දෙස මම මොහොතක් නිසොල්මනේ දෑස් දල්වා බලා හිඳිමි.

කොහෙදෝ සිට හමා ආ දඟකාර සුළං රොදක පැටළුණ අරලිය මල් සුවඳක් නැහැපුඬු තෙරපාළයි. මළවුන්ගේ ආත්මයට සදාකල් තනි රකින්නේ ඒ අරලිය මල් සුවඳමය.

වෙලාව මැදියම් රැයට ආසන්නය. ඔබ විශ්වාස කළත්, නොකළත් මා දැන් සිටින්නේ බොරැල්ල කනත්තේය. එහි ප්‍රධාන පිවිසුම් ද්වාරය අබියසින් සුසාන භූමිය කෙළවර දක්වා විහිදෙන මාවත දිගේ මම ඉදිරියට පියමං කරමි.

මේ මළවුන්ගේ ලෝකයයි. ජරාජීර්ණ වී දුගඳ හමන මිනිස් පුරවරයට වඩා එය කෙතරම් පිවිතුරුදැයි මට සිතේ.

සුසාන භූමිය වසාගත් සොහොන් කොත් මත සඳ වතුර ගලා හැලෙන්නේ සිහින් කෝමල රේඛා මවමිනි. ඇතැමකු අඩ නින්දේය. තවකකු පිරිවර හා සතුටු සාමිචියේය. තටු පොරවා ගත් සැළලිහිණියකු සේ සිය ආත්මයට ගුළි වී සදාකාලික නින්දේ සැතපෙන අය ද මා නෙත ගැටේ.
 

‘හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ

සඳුගේ රැයේදී යළි හමු වෙමූ’

දන්නා කියන කෙනෙකුගෙන් මුලින්ම මා නෙත ගැටුනේ අසහාය සංගීත ශිල්පීී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ රුවයි. සුදෝ සුදු ඇඳුමෙන් සැරසී ක්ලැරන්ස් තම ගිටාරය වයමින් ගීයක් ගයයි.
 

‘ඔබ එන්නේ කවදාදෝ

සිත විමසන්නේ

මග බලමින් ඉන්නේ . . .’

මම නිසොල්මනේ ඒ මියුරු ගී හඬට සවන් දෙමි. ගීතය අවසන් වෙනවාත් සමඟ මම අත්පොළසන් නඟමින්. ක්ලැරන්ස් අයියාට සතුට ප්‍රකාශ කළෙමි. සුපුරුදු සිනහවෙන් ඔහු සිය ස්තුතිය පුද කළේ මගේ සුරත දැඩිව අල්ලා ගනිමිනි.

හැම දිකුරාදාම මම මෙතන ඉඳගෙන මේ විදිහට ගිටාර් එක ප්ලේ කර කර සිංදු කියනවා මල්ලී. මෙහෙට ආපු දවසේ ඉඳන් ඒක මගේ පුරුද්දක්.

ක්ලැරන්ස් අයියේ ඔයා ගිටාර් එක ප්ලේ කරන්න. මම සිංදුවක් කියන්නම් . . .
 

හරි මල්ලී කියන්න . . .

‘මලට බඹරෙකු සේ

සිිතට ඔබ එනවා

කිරණ සේ හිරුගේ

හද සිනාසෙනවා

ඔබ සිනාසෙනවා . . .’

ෂඞ මල්ලි නියමයිනේ. වෙරි ගුඩ්.

ක්ලැරන්ස් අයියා දයාබර හඬින් එසේ පවසද්දී මා නෙතඟ සිහින් කඳුළු බිඳක් නැගුණේ ඔහුගේ, මිනිසත්කමේ ගුණ සුවඳ සිහිපත් වීමෙනි.

‘ආයෙත් දවසක හමු වෙමු. . .’

ක්ලැරන්ස්ගෙන් සමුගෙන මම ඉදිරියට පිය නගමි.

ආ . . . මහත්තයා කොහෙද මේ රෑ වෙලා යන්නේ?

තරමක් තිගැස්සුණ ද ඒ හඬෙහි වූ සුපුරුදු බව නිසාවෙන් මසිතට බියක් දැනුණේ නැත. මම වහා ඔහු හඳුනා ගත්තෙමි. ඒ අනිකකු නොව ආදරණීය ෆෙ‍්‍රඩී සිල්වාය. ජීවිත කාලය පුරාවටම අප සිනා රසයෙන් කුල්මක් කළ මේ විකට රජාගේ වත පුරා දිස්වන්නේ දුක්මුසු බවකි.

ඇයි මේ . . .?

මට එසේ ඇසුණේ ඉබේටම වගේය.

නෑ මහත්මයා, දැන් බලන්න මේ සුසාන භූමියේ ඉන්න හැම කලාකාරයකුගේම සොහොන් කොතක් ඉදි කරලයි තියෙන්නේ. ඒත් මම මැරිලා අවුරුදු දොළහක් ගිහිල්ලත් තාම මේ බෝඩ් ලෑල්ල විතරයි.

Loving memory H. L. M. J. Fredde Silva
Born 1938. 02. 06 - Died 2001. 10. 29

එම බෝඩ් ලෑල්ලේ ලියැවී තිබුණේ එකී වැකිය පමණකි. ජනප්‍රිය සිනමාවේ ජනපි‍්‍රයතම විකට නළුවා වූ ෆෙ‍්‍රඩී සිය අපූර්ව ගායන කුසලතාවෙන් ද අප වසඟ කළ විශිෂ්ට කලාකරුවකු වග අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් තම නමට ඉදි වූ සොහොන් ඵලකයක් පවා නොමැතිව ඔහු මේ හතර රියන් බිම් කඩෙහි සැතපෙන්නේ කෙතරම් අසරණ ලෙසද? මසිත උපන් ශෝකය කඳුළැල්ලකට මුසු වෙද්දී යටැසින් ෆෙ‍්‍රඩී දෙස බැලුවේ ඔහුගේ මුහුණ දෙස කෙළින් බැලීමට නොහැකි ලජ්ජාවක් මසිත උපන් හෙයිනි. ඔහුගේ දෙනෙතින් කඳුළු කැට රූරා ඇද හැලේ. මම ඔහු අස්වසාලන්නට උත්සුක වෙමි.

මහත්මයා . . . මගේ ජනේෂ් පුතත් නැති වුණා. මට ඒක ලොකුª දුකක්, කනගාටුවක්. මම මළ ගෙදරත් ඇවිත් ගියා. ඒත් කවුරුවත් මාව දැක්කේ නෑ. අනේ මහත්මයා පුළුවන්කමක් තිබ්බොත් මගේ මෝනවයි, දුවවයි මතක් කළා කියලා කියන්න.

හොඳමයි ෆ්‍රෙඩී අයියා. . . මම එහෙනම් ගිහින් එන්නම් . . .

‘හොඳයි මහත්මයා . . . සුබ ගමන් . . .’
 

‘සුළං කුරුල්ලෝ

සෙමින් ඉගිල්ලී

මල් සුවඳකි අරගෙන එන්නේ . . .’

පන්හිඳක ගී අසිරිය මැවූ ඒ සොඳුරු මිනිසා කරුණාබර දෑසින් යුතුව මදෙස බලා හිඳී. ඒ ධර්මසිරි ගමගේ කලාකරුවාය. ගීත රචකයකු, මාධ්‍යවේදියකු හා සිනමාකරුවකු ලෙසින් නොමැකෙන නමක් කලා ලොවේ රැන්දූ, ගමගේ මහතාට හිස නමා ආචාර කළ මම එතනින් නික්මුණි.

ධර්මසිරි ගමගේ සහෘද කලාකරුවාගේ සොහොන් කොතට පසුපසින් තවත් සොඳුරු මිනිසකුගේ නවාතැන්පළ මට හමුවේ.
 

‘මුවන් පැලැස්සට යන්න හිතයි මට

ඔබ එහි නෑ හරි පාළුයි’

ගුවන් විදුලියේ පෙරළිකාර පුතු ගැමුණු විජේසූරිය හිස් වැස්මක් පැලඳ තවකෙකු සමඟ කිසියම් කතාබහකය. ඔහු ද අපේ කලා ලොවට ආගන්තුකයකු නොවේ. එච්. ඩී. ප්‍රේමරත්න නමැති විශිෂ්ට සිනමාවේදියා මා දැක අත වැනුවේ ගැමුණු විජේසූරිය හට ද මා හඳුන්වා දෙමිනි.

මේ . . . අසංක දේවමිත්‍ර . . . මෙයා තමයි ‘සරසවිය’ට මගේ අන්තිම ලිපිය ලිව්වේ.

මසිත කිසියම් උද්දාමයකින් වෙළී යයි. කළ ගුණ අමතක වන කලා ලොවෙ ඇතැමුන් හට ප්‍රේමරත්නයන්ගේ එවදන් පරමාදර්ශයකැයි මට සිතේ.
 

‘හෙළ සිනමා මන්දාකිණියේ අපේක්ෂාව වී

තරුවලට දිළෙන්නට ඉඩ දුන්

මල්වලට පිපෙන්නට ඉඩ දුන්

මිහිමඬල ඔබ

අසහාය සිනමාවේදියාණෙනි

මාධ්‍ය ප්‍රතාපයාණෙනි

ආදරණිය ස්වාමියාණෙනි

අප්‍රමාණ මිනිසාණෙනි

ඔබට සදා පරමානන්දනීය

නිවන් සුව අත්වේවා . . .’

එච්. ඩී. ගේ සොහොන් කොත මත ලියැවුණු ඒ ආදරණීය වදන් සඳ එළියෙන් මට පැහැදිලිව පෙනේ. මා පෙළින් පෙළ එවදන් තෙපලද්දී එච්. ඩී. ප්‍රේමරත්නයන් ද එදෙස බලා සිටියේ මන්දස්මිතයක් මුව රඳවා ගනිමිනි.

අකල්හි අපෙන් වියෝ වූ ළෙන්ගතු මාධ්‍ය මිතුරා සුසිල් ගුණරත්නයන්ගේ සමරු සිහිවටනය තනා ඇත්තේ එච්. ඩී. ගේ සොහොන් කොතට දකුණු පසට වන්නටය. එහෙත් ඔහු පෙනෙන්නට සිටියේ නැත.

කෝ . . . මේ . . . අපේ සුසිල් අයියා . . . එච්. ඩී. ගෙන් මම ඇසුවෙමි.

මම හිතන්නේ සුනිල් හොරේෂස් හම්බ වෙන්න කියලා ගියා. දැන් එයි.

සෑහෙන වෙලාවක් ගත වුව ද සුසිල් අයියා පැමිණියේ නැත. මා එතනින් නික්මී යළිත් ප්‍රධාන මාවතට පිවිසියෙමි. දැන් මා සිටින්නේ බෞද්ධ සුසාන භූමිය ඉදිරිපිටය.

දුම් වැටියක් දල්වාගෙන දුම් වළලු කිහිපයක් හිස් අවකාශයට පාකර හැරි ඔහු නැවත තරු පිරි අහස දෙස නෙත් යොමා ගත්තේ කවි සිතිවිල්ලකට මුල පුරන්නට මෙනි. හේ ප්‍රේමකීර්ති ද අල්විස් නමැති ප්‍රතිභා සම්පන්න කලාකරුවාය.
 

විකල් මතක මැද පහන් තරුව ඔබ

බොඳ වුණ සිහිනෙක අරුණෝදය ඔබ

වැලපුණ වෙරළක දිය බිංදුව ඔබ

ගොළුවුණු දෙතොලක සිනහ සිසිල ඔබ

(ප්‍රේම පාරාදීසේ)

පේ‍්‍රමකීර්ති ද අල්විස්ගේ සොහොන් කොතෙහි එලෙස සටහන්ව තිබුණේ ඔහු වික්ටර් රත්නායකයන්ට ලියූ මියුරු පදවැලක සොඳුරු වදන් පෙළකි.
 

‘අපි සව්දිය පුරමූ

අපි සව්දිය පුරමූ . . .

ප්‍රේම් වරෙක වික්ටර් වෙනුවෙන් ලියූ ඒ ගී පද මුමුණමින් මම හීන් සීරුවේ ඔහු වෙතට ළං වුණෙමි. අපේ තාරුණ්‍යයේ මිතුරු දම උද්දාමයට පත් කළ ඒ සොඳුරු ගීතය සිහිපත් වී ‘හීන් අඩියක්’ ගැසීමට තිබුණා නම් කෙතරම් හොඳදැයි මට සිතුණි.

‘මම බීම නවත්තලා හුඟක් කල් මල්ලි.’

ප්‍රේමකීර්ති එසේ පැවසුවේ මසිත උපන් අවිහිංසක බලාපොරොත්තුව සුන්නද්දූලි කරමිනි.

දැන් වික්ටරුත් බොන්නේ නෑ කියලා ආරංචියි. ඒ කාලේ අපි බීපු හැටියට වික්ටර්ගේ ආත්ම ශක්තිය ගැන මම ආඩම්බර වෙනවා. ඔයාලත් නවත්තන්න බැරි නම් අඩු කරලා දාන්න. වැඩකට ඇති දෙයක් නෙවේ මල්ලි.

ප්‍රේමකීර්ති පැවසූයේ සත්‍යයකි. එහෙත් තවමත් මධුවිතකින් සප්පායම් වූ සැනින් සිතට නැගෙන ‘සොඳුරු දාංගලය’ මා වැනි දුහුනකු කෙසේ අමතක කරන්නද? ඒත් පරෙස්සම කෝකටත් හොඳය.

මල්ලි වික්ටර් අයියා මුණ ගැහුණොත් මතක් කළා කියන්න. මෙහෙ මට කරදරයක් නෑ.

ප්‍රේමකීර්ති මගෙන් සමු ගත්තේ එලෙසිනි.

කොන්ක්‍රිට් පුරවරයේ ගිනියම් අව් රශ්මියෙන් නිරන්තරව පීඩා විදින මා හට මේ සුවබර රාත්‍රිය කෙතරම් ආශ්වාදයක්දැයි කියන්නට වදන් සිතට නොනැෙඟ්. රැය පහන් වන්නට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණකි. මේ රාත්‍රිය එළැඹෙන පැයේ වඩා සුන්දර වනු නියතය.

ක්ෂේත්‍රයන් කිහිපයක තම කුසලතාවන් විදහා දැක් වූ තවත් විශිෂ්ට කලාකරුවකුගේ ස්මාරකයක් අහම්බෙන් මා නෙත ගැටේ. ‘යශෝරාවය’ ටෙලි සිත්තමේ ‘වීරසේකර’ කියූ පමණින් වුවත් ඔබ හොඳින් ඔහු හඳුනයි. ඒ ජී. ඩබලිව්. සුරේන්ද්‍රය.

‘සුප්‍රකට ලේඛකයකු, පුවත්පත් කලාවේදියකු ජනප්‍රිය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකු වූ ද ජනාදරයට පත් විශිෂ්ට කලාකරුවකු වූ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර සූරීන් අනුස්මරණය සඳහාය.’

ඒ සුරේන්ද්‍රයන් වෙනුවෙන් ඔහුගේ සොහොන් කොතේ ලියැවුණු සටහනයි. ඔහුගේ සදාකාලික නිවහන දෙස විමසුම් නෙත් හෙළුවද ඔහු එහි පෙනෙන්නට සිටියේ නැත. එහෙයින් මේ ආදරණීය මිනිසාගේ ස්මාරකය වෙත ආචාර කළ මා එතනින් නික්මුණි.

මෙයින් දොළොස් වසකට පෙරාතුව අපෙන් සමුගත් ජනප්‍රිය විශිෂ්ට ගායන ශිල්පිනිය හඳුනා ගන්නට මේ සෞම්‍ය එළිය මට හොඳටම ප්‍රමාණවත්ය.
 

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්

මල් වට්ටියකට අර ගන්නම්

ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්

එයට නෙළා පිළිගන්වන්නම් . . .

සිය රන් ස්වරයෙන් ඕ එසේ ගයන්නීය. කිසිදා පරව නොයන සොඳුරු ගී මල් පොකුරක් අපට තිළිණ කළ මාලිනී බුලත්සිංහලගේ හඬ තවමත් පෙර සේම සුගායනීයය. මනෝහරය. ඒ ගී හඬ මසිත මිහිරෙන් පුරවාලයි. සිත දැහැන්ගත වෙන්නේ මට ද හොර රහසෙනි.
 

‘ලස්සනට පිපුණු වන මල්

ගල් පීරන දිය වැල්

මම ආස කරන මැණික් කැටේ නිල්

දුර ඈත කැලේ ගල්

ගුහාවක ගෙවනවා කල්

ලක්ෂණ මගෙ කිරිල්ලි සුරතල් . . .’

ඒ ගීතයේ තනුව අනුව වැයෙන අති මියුරු වයලීන වාදනයක් මා දෙසවන පුරා පැතිරේ. ඒ ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් ගිී ලොවට කැඳවා ආ ඔහුගේ මංගල ගීතයයි. ආර්. ඒ. චන්ද්‍රසේනයන් සිය වයලීිනයෙන් තමා මීට පණස් වසකට පෙර නිර්මාණය කළ ඒ ගීතය අනු වාදනය කරන්නේ බිමට නැඹුරු කර ගත් හිසින් යුතුවය.

ෂඞ මාස්ටර් නියමයි . . .

මට කියවුණේ ඉබේමය. එහෙත් ඔහු මා වෙත කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

ඉද්ද ගැසුවාක් මෙන් තනි කෙළින් වැටී ඇති මාවත දිගේ මම යළිත් ඉදිරියට ඇදෙමි. දැන් මා සිටින්නේ සුසාන භූමියේ ආදාහනාගාරයට මඳක් ඔබබෙනි. එය මේ මාවතේ කෙළවරයි. එහි දකුණු පස තවත් සොඳුරු කලාකරුවන් රැසකගේ පාරාදීසයකි.
 

‘පාළු සුසානේ - ප්‍රේම පුරාණේ

කඳුළු විලාපේ මා තමයි

අප දෙදෙනාගේ එදා සෙනේ

සැමරුම් කිසිදා මැකී නොයේ

මට අමතක නෑ . . . ඔබට මතක නෑ . . .’

ඒ ආදරණීය ගී හඬ කාගෙදැයි මා ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැත. ඒ ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාලය.

මා පසෙකට වී ජෝති අයියා ගී ගයනු බලා සිටින්නේ උතුරා යන සතුටකිනි.

කමෝන් ජෝති අයියා. . . වන් මෝ . . .

මගේ හඬ සුසාන භූමියේ එහා කෙළවරට නෑසුණා නම් එය පුදුමයකි. ජෝති අයියා වට කර ගත් සහෘද මිතුරු කැළ මා දෙස බලන්නේ විපිලිසර දෑසින් යුතුවය.

‘මල්ලි ගහමුද පොඩි ඩ්‍රින්ක් එකක්?’

‘ජෝති අයියේ මේ වෙලාවේ . . .’

ප්‍රේමකීර්ති ද අල්විස් මට දුන් අවවාදය මතක් වී මඳක් එලෙස පසුබෑව ද ජෝති අයියා මා වෙත දිගු කළ වීදුරුව ප්‍රතික්ෂේප කරන්නට මට ශක්තියක් තිබුණේ නැත.

‘බොන්ඩ කොහෙද මල්ලි වෙලාවක් . . .?

එසේ පැනයක් නඟමින් ජෝති අයියා බ්ලැක් ලේබල් විස්කි බෝතලයෙන් මට වඩියක් පිරෙව්වේය.

ආ . . . මෙන්න සෝඩා . . .’

සෝඩා බෝතලයක් දිගු කරමින් කනත්තේ භෘංගයා මට මිත්‍රත්වය පළ කරයි. ඒ සාජන්ට් නල්ලතම්බි හෙවත් නිහාල් සිල්වාය.

විස්කි බඳුන හිස් කරනා අතරතුර මා හාත්පස නෙත් යොමමි. මේ ජනප්‍රිය, සදාදරණීය මුහුණු එකම විටෙක දකින්නට ලැබේ යැයි මා කෙදිනකවත් සිතුවේ නැත. එක් පසෙක ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ය. කරු අයියා තරමක් විශාල චොක්ලට් කැබැල්ලක් මුව තුළ රුවා ගත්තේ මා වෙත ද කෑල්ලක් දිගු කරමිනි. යෞවනයේ සදාදරණීය ගායන ශිල්පියා වූ මිල්ටන් මල්ලවාරච්චි, මෑතකදී මේ වාස භවනටආ ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන්ට විස්කි වඩියක් පුරවා දුන්නේ තම ළෙන්ගතු බව නිහඬව කියාපාන්නට මෙනි.

‘ජෝති අයියේ තව සිංදුවක් කියන්නකෝ’ මගෙන් ඉල්ලීමකි.

‘මොකක්ද මල්ලී ‘පහන් ටැඹ යට සොහොන් කොත ළඟ’ කියන්නද?

‘ඒක එපා ජෝති අයියේ. එතකොට මට දුක දරාගන්න බැරි වේවි’

‘එහෙනම් . . .’

‘රාජ කිරුළු පලන්දාපු’ කියමුද?’

ජෝති අයියා මයික්‍රෆෝනයක් නොමැතිවම සිය මියුරු හඬ පෞරුෂය අවධි කරයි.
 

‘රාජ කිරුළු පලන්දාපු රජ්ජුරුවෝ

නඩේ හැමට ඉරෙන් හෙඳන්

එළිය ගෙනෙන රජ්ජුරුවෝ

සිරසට ඔටුනු පලන් ජය පානෙන්

මත් වන්නේ . . .’

සැබැවින්ම අපේ ගී ලොව ඔටුනු පලන් රජු ඔහුම නොවේද? ඒ ජනපි‍්‍රයත්වයේ කිරුළට අතපොවන්නට තවමත් කිසිවකුට නොහැකි වී ඇත්තේ ඒ නිසාවෙනි.

‘ඒක නෙවෙයි සමහරු ජෝති අයියගේ සිංදු ටික විකුණගෙන කනවා නේද?’

‘කමක් නෑ මල්ලී . . . මම නිසා කවුරු හරි බඩ වියත රැක ගන්නවා නම් ඒක මට ලොකු සතුටක්. ඒත් මට ඉවසන්න බැරි මේ සමහර ස්ටාර්ස් තරගවල විනිශ්චය මණ්ඩලේ ඉන්න බුවාලා දෙන කමෙන්ට්ස්වලට.

ඒ කිව්වේ ?. . .

ජෝති අයියා දෙස බලමින් මා එසේ විමසන්නේ සිතේ මතුවන කුහුල මැඬ ගනිමිනි.

‘ඇයි මල්ලී . . . ඔය සමහර බුවාලා කියන්නේ ෂඞ ජෝතිපාලටත් වඩා හොඳට ගීතය ගැයුවා කියලා. එතකොට නම් ඉතින් මට . . .’

ජෝති අයියාගේ මුවින් නොසරුප් වදන් කිහිපයක් ගිලිහෙන්නේ වක්කඩ කැඩුවාක් මෙනි. ඒවා මෙහි සඳහන් කළ නොහැකිය. කවදත් අඩුවෙන් හිනැහුණු මිල්ටන් අයියා බඩ අල්ලාගෙන හිනැහෙන අයුරු බලන්නට අපූරුය.

‘කමක් නෑ ජෝති අයියා අවුරුදු විසි හයක් ගිහිල්ලත් තවම අපේ රටේ ජනප්‍රියම ගායකයා ඔයානේ . . .’

ජෝති අයියා මගේ දැතින්ම අල්ලා ගත්තේ දැඩි සෙනෙහසකිනි.

‘ඒක එහෙමනම් මල්ලී මේ සංඝදාස වගේ අයට මම පින්දෙනවා. මොකද එයාලා තමයි මාව හැමදාම ජීවමාන කළේ . . .’

එතෙක් වේලාවක් නිහඬව සිටි සංඝදාසයන්ගේ රුව මා දුටුවේ එවිටය. මදෙස බැලූ ඔහු අවිහිංසකව හිනැහුණා පමණි. සැබැවින්ම ජෝති වෙනුවෙන් සෑම වසරක් පාසාම ජූලි 07 වැනිදාට ‘සිරියාමේ සාරා’ ගී ප්‍රසංගය මෑතක් වනතුරු සංවිධානය කළේ ඔහුය.

දැන් නම් මා උමතු රසිකයකු වී හමාරය. මෙවන් සුපිරි කලාකරුවන් වෙසෙන රජදහනකට හදිසියේ මිනිස් පුරවරයෙන් කඩාපාත් වූ මා වැන්නකු එසේ නොවී සිටියා නම් පමණි එය පුදුමයක් වන්නේ.
 

‘සඳ උතුරා ගංගාවේ

ඔබෙ රුවදෝ ඇඳුණේ . . .’

ඒ ප්‍රේමාන්විත ගී හඬ මිල්ටන් මල්ලවාරච්චිගේය. මගේ ඇරැයුම පිළිගත් ඔහු තවත් ගීතයක් ගයන්නට එක්වුණේ මෙලෙසිනි.
 

‘දෙඅදර විලිකුන් සුරත් පළේ

පෙම් මදිරා අයදිමින් සැලේ

සීත මීදුම් සිහින වැල් පැටළේ . . .’

මිල්ටන්ගේ ගී රාවය මහත් ඕනෑකමින් අසා සිටින්නකු දෙස මගේ නෙත් යොමු වූයේ නිරායාසයෙනි. මම වඩාත් විමසිලිමත්ව ඔහු දෙස බැලුවෙමි. ඒ තවත් සුන්දර රසවතෙකි. මිල්ටන් ගැයූ ‘දෙඅදර විලිකුන්’ ඇතුළු ජනප්‍රිය හරවත් ගීත රැසක් ප්‍රබන්ධය කළ ඔහු ප්‍රවීණ ගීත රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්ය.

මධු බඳුන් ගැටෙනා හඬ අතරේ උතුරා යන ගී මිහිරෙන් මත් වූ මා මේ සුයාම සාදයෙන් සමු ගන්නේ කෙසේද? එහෙත් මා යා යුතුව තිබේ. මේ සුන්දර මිනිසුන්ගෙන් මිදී එළැඹෙන හෝරාවේ ‘නරලොව හොල්මන්’ සමඟ යළිත් ජීවත්වීමට මට සිදුවනු ඇත. මහැඳුරු සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘතියේ වැකියක් මට සිහිපත් වේ. ‘ලොව ඇත්තේ යාම, ඊම පමණිි. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය’

‘මල්ලී ආයෙත් දවසක ඇවිත් යන්න හොඳේ . . .’

ජෝති අයියාත්, මිල්ටන් අයියාත් එකවර පැවසුවේ දැඩි ළෙන්ගතු ස්වරයකිනි. ආයාසයෙන් නෙතට නැගුණු කඳුළු බිඳු සඟවා ගත් මා එතැනින් පියවර එස වූයේ සැමට සුබපතමිනි.
 

‘මේ භවයෙදි මුළු දිය දායේ

එකතු නොවනු ඇත අප ආයේ . . .’

නාරද දිසාසේකරයන්ගේ ගී හඬට කන් යොමමින් මා ඉදිරියට පියමං කළෙමි. තවත් ප්‍රතාපවත් මිනිසකු නිසොල්මනේ සිය සොහොන් කොත දෙස බලා සිටියි.
 

‘දෙවියන් වන්නේත් – තිරිසන් වන්නේත්

මිනිසාමයි ලෝකේ ’

- ධර්මදාස වල්පොල -

උපත – 1929. 11. 24

විපත – 1983. 12. 25 යනුවෙන් එහි සටහන් වී තිබුණි.

අසංක මල්ලී . . . අසංක මල්ලී . . .

කනත්තේ පිවිසුම් දොරටුව වෙත යමින් සිටි මා එම ආමන්ත්‍රණයත් සමඟ පිටුපස හැරී බැලුවෙමි. සුනිල් හොරේෂස් හා සුසිල් ගුණරත්න වැඩිහිටි මාධ්‍ය සගයන් දෙදෙනා සිනහ මුවින් මදෙස බලා හිඳිති.

‘ කොහොමද මල්ලී . . . මේ සීතල යන්නත් එක්ක අපි දෙන්නා පුංචි අඩියක් ගහනවා . . .’

සුසිල් අයියා පැවසුවේ අරක්කු බෝතලය මදෙසට දිගු කරමිනි.

‘මොනවද මල්ලී කියන්නේ . . . අපට එදා ප්‍රශ්නයක් තිබුණේත් නෑ, අදත් නෑ . . .’

ජීවිතය පුළුන් රොදක් සේ සැහැල්ලුවෙන් තැකූ සුනිල් හොරේෂස් තවමත් ජීවිතය දෙස බලන්නේ ඒ අයුරින්මය.

‘කියමු සිංදුවක් . . .’

යෝජනාව සුනිල් අයියාගෙනි. අනතුරුව ඔහු කිසිවකුටත් නොතේරෙන ස්පාඤ්ඤ වැනි භාෂාවකින් බයිලා ආරේ ගීතයක් ගයයි. ඒ ගීතය ඔහුගේ සමීපතමයන් හට හා ‘ සරසවියේ’ උදවියට හොඳීන්ම හුරුපුරුදුය. සුසිල් අයියාත් මමත් අත්තල නඟමින් ඊට සහාය වුණෙමු.

‘ආ මල්ලී . . . දැන් කෙහොමද ‘සරසවිය’ පත්තරේ. නැගලා යනවද? අරුණ ගුණරත්න කර්තෘ වුණා කියලා ආරංචියි. ඒක හොඳා. එහෙනම් කට්ටියම මතක් කළා කියන්න.

සුසිල් අයියා එසේ පවසද්දී මම ඔවුන්ගෙන් සමු ගතිමි. සඳ එළිය ද කෙමෙන් මළානිකව යන සෙයකි. මිහිඳුම් වලාවන් සිහින් පිනි බිඳු වෙසින් ගහ කොළ මතට ඇද වැටෙන්නේ ‘ටකස්’, ‘ටකස්’ යන හීන් හඬක් නඟමිනි.

‘ආ . . . මේ . . . තේ එක බොන්න. දැන් හොඳටම එළි වෙලා . . .’

කවුදෝ මගේ පාදයක් හොළවනු දැනී තිගැස්සුණු මා එකවරම සයනය මත හිඳ ගත්තේ අන්ද මන්ද වෙමිනි. බිරිය උදෑසන තේ කෝප්පය පෙට්ටියක රැගෙන මදෙස බලා සිටින්නේ සිනහපිරි මුවිනි.

මොකද හීනයක්වත් දැක්කද?

ඈ එසේ විමසද්දී පුතණුවන් හා දියණිය මහ හඩින් සිනාසී මා තුරුළට පැන්නේ සුපුරුදු උණුසුමට ගුළි වෙන්නටය.