වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




නිසසල අරණක් වන් බුදවත්තගේ නිවහන

නිසසල අරණක් වන් බුදවත්තගේ නිවහන

කලාපුරයේ තවත් ලස්සන දවසක්. නිස්කලංක බවත් සමඟින් උදා වූ අද දවසේත් අප පැමිණියේ එවන් සුන්දර කලා නිවහනකට. ඔහු කලා ලොවේ දැවැන්ත චරිතයක්. ඒ වගේම මෙරට නර්තන කලාවේ උන්නතියට විශාල මෙහෙවරක් කළ සුවිශේෂී පුද්ගලයෙක්.

එදා මෙදාතුර ඔහුගේ ගුරුහරුකම් ලද සිසු සිසුවියන් අද ක්ෂේත්‍රයේ අනාගතය සවිමත් කරති. ඔහු ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත.

නිවෙසට ඇතුළ්වත්ම අපට හැඟී ගියේ ඔහුගේ නර්තන නිර්මාණයන් සේම මේ සොඳුරු නිවහනත් කලාවෙන් විචිත්‍රවත් වූ අපූරු නිවහනක් බවයි. ඔහුගේ කලා නිර්මාණ තුළින් දකින්නට ලැබෙන දේශීය කලා අංග මෙම නිවෙස ද අලංකාරයට යොදා ගෙන තිබුණේ දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා අයුරින්. මෙම නිවෙසේ හිමිකරු ඔහු, කුලසිරි බුදවත්ත සිය අතීත මතකය ආවර්ජනය කළේ මෙලෙසින්.

‘අපි කලාපුර පදිංචියට ආවේ 1980 වසරේදියි. ඊට කලින් පදිංචි වෙලා හිටියේ මාලිගාවත්ත මහල් නිවාසවල. කලාපුරයට පැමිණීම විශාල සතුටක්. එය අපේ කලා කටයුතුවලටත් විශාල සහනයක් වුණා.

මගේ කලා කටයුතු සියල්ල දැන් සිදු කෙරෙන්නේ මහරගම පිහිටි මගේ කලායතනයේදී තමයි.

ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අපේ දුකට සැපට සිටින කලාපුරයේ සියලුම සහෝදර කලා ශිල්පීන්. හැමෝගෙම එකතුව හැමෝටම ශක්තියක්.’

මේ නිවසේ සිරිකත බඳු වූ ඇය කුලසිරි බුදවත්තයන්ගේ ආදරණීය බිරිඳ නේමාලි බුදවත්ත. මේ නිවසේ සියලු කටයුතු බලා ගනිමින් සුන්දර කරන්නී ඇයයි. මේ සුන්දර නිවහනේ නිස්කලංකව ජීවිතය ගෙවන ඇය සිය හඬ අවදි කළේ මෙලෙසින්.

‘කලාපුර කලාකරුවන්ට ජීවත් වෙන්න කදිම තෝතැන්නක්. ලෝකේ කොහේවත් මේ වගේ තැනක් නැතුව ඇති. අපි මේ ගෙදර පදිංචියට ආවාම විශාල සතුටක් දැනුණා. අපේ කලා කටයුතුවලට එය විශාල පහසුවක් වුණා. අපේ ගෙදර මේ දවස්වල ඉන්නේ මමයි මහත්තයයි තවත් අපේ ඥාති දියණියකුයි විතරයි.

පුතා මේ දවස්වල විදෙස් ගත වෙලා ඉන්නේ. ඔහු ගුවන් නියමුවෙක් වෙන්න අධ්‍යාපන කටයුතු දැන් නිම කරලා තියෙන්නේ. ඒ වුණාට නර්තනයෙන් නම් ඈත්වෙලා නැහැ.

දැනටත් විදේශ සංචාර සියල්ලේම සංවිධාන කටයුතු කරන්නේ පුතා. ලබන අවුරුද්දේ පුතා ලංකාවට එනවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් ගෙදර තවත් අලංකාර කරන්න මේ දවස්වල සූදානම් වෙනවා.’

කලාකරුවෙකුගේ සිතෙහි වූ මනස්කාන්ත සිතුවිල්ලක් බඳු වූ ඒ නිවෙස තවත් අලංකාර වීමට සැරසෙයි. කාලය ටිකෙන් ටික ගත වෙන්නේ අපට කලාපුර තවත් සොඳුරු හිතැත්තෙකුගේ කැදැල්ලක අසිරි බලන්නයි. මේ ඒ සඳහා වූ වේලාවයි. අද කලාපුර කුලසිරි බුදවත්තයන්ගේ නිවෙසින් සමුගත් අපි යළි ලබන සතියේදී හමු වෙමු.