|
මේ බඩේ ඉන්න එකා කියනවා අම්මේ මට කාත් කවුරුවත් නැතිවෙයි කියලා
ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘතාන්තයකි.
ගෙයි දැල්වුණ කුප්පි ලාම්පුවේ එළිය ගෙතුළ අඳුර නිවන්නට මඳ වූයේ නමුත් ඒ ගැන මැසිවිලි නගන්නට කිසිවකු හෝ ඉදිරිපත් වූයේ නැත. කිරි එතනා බත් කමින් උන් තැනට පැමිණි හීන් බණ්ඩා ඇය අසලින් වතුර ජෝග්ගුවක් වත් කර තැබුවේය. බත් කා අවසන් කළ ඇය අසල කොරහකට අත සෝදා එහි තිබූ කුප්පි ලාම්පුව ගෙන ගෙතුළට ගියාය. මුතු මැණිකා සමග ඇතිවූ ආරෝවෙන් පසු වස්තුහාමි පිටත් ව ගියේ කරන්නට සිතා ගෙන සිටි වැඩ ටික ද මග හැර දමමිනි. මුතුමැණිකා තමා සමග සේනපුර බලා පැමිණෙතැයි ඔහු බිය වූයේය. කිරි අම්මා කාමරයට වැදුණ පසු හීන් බණ්ඩා බත් පිඟානක් බෙදා ගෙන ගෙතුළට ගියේය. මුතුමැණිකා තවමත් දොර වසා ගෙනය. ඔහු හීන් සීරුවේ දොරට ගැසුවේය.ඇය දොර ඇරියාය.හීන් බණ්ඩා අඩ අඳුරේ සිට ගෙන සිටියේය. 'මඟුල් විසේ ගැහුවද උඹටත්. ඔව් ඉතිං මහ එකා තීන්දු කර ගෙනනේ ගියේ. නොදකින් තියෙන විලි ලැජ්ජා නැති කම." ඇය එක දිගට බැණ ගෙන ගියාය. හීන් බණ්ඩා යමක් කියන්නට තැත් කළත් එයට ඉඩ නොලැබිණ. "තොපි මහ අසම්මජ්ජාති එවුං" මුතු මැණිකා බැණ වැදීමෙන් නතර වූයේ නැත. ඇය ඔහුට පහර දුන්නාය. හීන් බණ්ඩාගේ අත තිබුණ මැටි බඳුන බිම වැටිණ. එහි තිබූ බත් පත සීසී කඩ විසි වී ගියේය. මුතු මැණිකා පහර දීම නතර කළාය. "'උඹ මට දෙන්ඩද ගෙනාවේ." ඇය එය ඇසුවේ පසුතැවිලි වන ස්වරයකිනි. හීන් බණ්ඩා කිසිත් නොකියා එතැන පාත් වුවේ වළං කටු අහුලන්නට මෙනි. "උඹ දවල්ටත් අඬ අඬ හිටියා මිසක්ක මුකුත් කෑවේ නෑනේ. ඒක හින්දයි උඹට මං බත් ටිකක් ගෙනාවේ.අක්කේ" ඔහු කියා සිටියේය. මුතු මැණිකා ට යළිත් හැඬුම් ආයේය. ඇය ද ඔහු සමග වළං කටු අසුලන්නට පාත් වූවාය. "කෝ උඹට බෑ. අයිං වෙයං" ඇය පැවසුවාය. අනතුරුව ඇය අසළ වූ ඉලපත අතට ගෙන එය අතු ගා දමන්නට ඉදිරිපත් වූවාය. එයින් දින ගණනක්ම ගෙවී ගියේය. මුතු මැණිකා සිටිනවාට කිසිවකු ගේ හෝ විරුද්ධත්වයක් නොවිණ. කිරි එතනා ද කණු කුණු ගෑම අත ඇරියාය. විටෙක පපුවේ මහන්සිය නිසා කෙඳීරි ගාන හීන් බණ්ඩා ළඟට යන ඇය තෙල් බෝතලයෙන් ගන්නා තෙල් ඔහුගේ පපුවේ අතුල්ලන්නීය. "උඹ අපේ අම්මා වගේමයි" ඔහුට කියැවිණ. පසුවදා ඇය ගෙයි පිළිකන්නේ ලිපක් දල්වා වතුර රත් කළාය. හීන් බන්ඩා එතැනට පිවිසියේ ඇය වතුර රත් කරණ කාරණය විමසන්නටය. එහෙත් ඔහු අපේක්ෂා නොකළ කාරණයක් සිදු විණ. ඇය වතුර කෝප්පයක් ගෙන ඔහුගේ හිසේ සිට වත් කළාය.ඔහුට කෑ ගැසිණ. "දෙය් හාන්දුරුවනේ මේ මොකදෑ කළේ. මට වතුර අගුණයි. වහ වාගේ. මං කවදාවත් ඔලුවේ නාන්නේ නෑ.“ ඔහු විලාප දුන්නේය. "උඹ ගාව තැම්බුම් ගඳයි" මුතු මැණිකා පැවසුවේ උපහාසයට මෙනි. අනතුරුව ඇය වතුර කෝප්ප කිහිපයක් ඔහුගේ හිස මතට වත් කළාය. "දැන් වාඩිවෙලා වතුර සීයක් නාපං.මං පොල් ලෙල්ලක් කපන් එනකං‘ ඇය එතැනින් යන්නට සැරසුණාය. "පොල් ලෙල්ලක්"? ඔහු ප්‍රශ්ණ කර සිටියේය. "හඩු ගඳ යනකම් අතුල්ලන්ඩ එපායැ. පොල් ලෙල්ලක් නැතුව බෑ." ඇය පැවසුවේ තරමක් උස් හඬිනි. වත්තේ තිබුණ පොල් අත්තක් දුටු විට ඇය එය සොයා වියා ගත්තාය. එහෙත් එක් දිගට එම කටයුත්තේ නියැලෙන්නට ඇයට හැකි නොවුණේ මහන්සිය දැනුණ නිසාය. "කවුරුවත් උඹට කීවයැ පොල් අතු වියන්න කියලා" ඇගේ අමාරුව තේරුම් ගත් විලාසටයන් හීන් බණ්ඩා ප්‍රශ්න කළේය. ඇය තම කුස දෙසට අත දිගු කළාය. "මේං මේ බඩේ ඉන්න එකා.ඌ කියනවා අම්ම මේ මට කවුරුවත් නැති වෙයි,බලා ගනිං කියලා. මට ඉන්ඩ නැති වෙයි කියනවා. ඌ බයේ ඉන්නේ. ඌට තාත්තෙක් නැති වෙයි කියලා. ඌට නම දෙන්ඩ එකෙක් නැති වෙයි කියලා. ඌ එළියට අවහම මාව මේ ගෙදරින් එළෙව්වවොත් මං පැල් කොටයක් හදනවා. ඒක හෙවිල්ලන්න මං පොල් අතු වියනවා" ඇය කියා ගෙන ගියාය. "මට හිතෙනවා මලේ ඔය කොළනිය හොයා ගෙන යන්ඩ" "කිරි අම්මා තනියම දාලා යන්ඩ බෑනේ.නැත්නම් මාත් එනවා" හීන් බණ්ඩා පැවසුවේය. "අතේ කීයක් වත් නැතුව මගට බැස්සහැකැ." "කොප්පරා විකුණපු සල්ලි ටිකක් තියෙනවා.මං දෙන්නං" හීන් බණ්ඩා ඇයගේ සිතෙහි බලාපොරොත්තුවක් ඇති කළේය. එහෙත් ඇය ඒ බව පළ නොකළාය. "මං යනවට උඹ කැමතියි එහෙනං" "මං එපා කීවයි කියලා උඹ නොයා ඉඳීයි එහෙනං" ඇය හීන් බණ්ඩා ගේ මුහුණට එබී බැලුවාය. "උඹත් තොලේ කටේ නොගෑවෙන්ඩ කතා කොරන්ඩ දන්නේ ම නෑ. උඹලෑ අය්යත් එහෙමනේ.හිතට එන එක කියන්නෑ. යට ගහනවා.හංගලා කියනවා." හීන් බණ්ඩාට සිනහ ගියේය. එහෙත් එක් වරම ඔවුනගේ කතා බහ නතර විණ. ඒ අමුත්තියක් එතැනට කඩා වැදුණ හෙයිනි. ඇය සෙදෝ නෝනාය. බැලූ බැල්මට ඇය වස්තුහාමිගේ සොහොයුරිය බව අමුතුවෙන් කිවයුතු නැත. "බලපල්ල කෝ. මුකුළුව. අනේ අනිච්චං මෙච්චර දවසක් මං විස්වාසෙට ගත්තේ නෑ. ඇස් ගෙඩි දෙකටම දැක්කට පස්සේ.තවත් ඉතිං විස්වාස නොකර කොහොමදෑ. අනේ හීං එකෝ උඹ ලෙඩා දුකා.උඹට මොන ගෑණු ද ? ඇය කියාගෙන කියාගෙන ගියාය. "නැන්දම්මේ උඹ මොනවදෑ මේ දොඩවන්නේ ?" හීන් බණ්ඩා ඇසුවේ ඇයගේ දෙස් දෙවොල් ඉවසිය නොහැකි තැනය. "නෑ නෑ මට උඹ එක්ක කතාවක් නෑ. මං අහන්නේ මේ ගෙදර එව්වෝ යංඩ ගියාට පස්සේ උඹ මොකෑ මේ ගෙදරට රිංගුවේ ?' මුතු මැනිකා එයට පිළිතුරු දෙනු වෙනුවට ගෙතුළට යන්නට ගියාය. එහෙත් සෙදෝ නෝනා ඇගේ ගමන වලක්වනුයේ ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තාය.මුතු මැණිකා තම චීත්තය තරයේ ඇඳ ගත්තේ සටනට පිවිසෙන්නට මෙනි. "මං හොඳීන් කියන්නේ අත ඇරපං මයෙ කොණ්ඩේ" සෙදෝ නෝනා ඒ තර්ජනයට පසු බැස්සාය ඇය මුතු මැණිකාගේ කෙස් වැටිය අත ඇරියාය. "මේක මං ඉපදුන ගෙදර.මේකේ පිට එවුන්ඩ ඉන්න බෑ.මේ දැන්ම මේ ගෙයිං බැහැල යන්ඩෝ නෑ" ඇය උස් හඬින් පැවසුවාය. "මං යන්නෑ." මුතු මැණිකා තිර ලෙස පැවසුවාය. "මං යන්ඩ නම් සුදු බණ්ඩය්යා එන්ඩ ඕනෑ. උඹලෑ බූදල් අයිති කර ගන්ඩ ආපු ගමනක් නෙවේ. සුදු බණ්ඩය්යා ආවම මං යනවා" මතු සම්බන්ධයි
|