වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව්, මං රයිනිට කැමැතියි. ඒත්...

ඔව්, මං රයිනිට කැමැතියි. ඒත්...

චින්ති කියන ඇත්ත කතාව

තරුමිණි ඔච්චම් පාවි දැන්
හදවත වත්තම් වේවි ආදරෙන්
ඒ හැඟුම් ඒවී . . .

චින්ති සමඟ රූකාන්ත, චන්ද්‍රලේඛා දියණි රයිනි චාරුකා ගැයූ මේ ගීතය ලැබුවේ අසීමිත ජනප්‍රියත්වයක්.

වෙනස්ම ස්වර සංකලනයකින් ඉපදුණු තරුමිණි පසුගිය කාලයේ නිබඳ තුඩ තුඩ රැව් දෙන්නාක් බඳු ගීතයක් වුණා කිව්වොත් නිවැරැදියි.

චින්ති සහ රයිනි තවත් අලුත් ගීතයක් නිර්මාණය කරලා. කනින් කොනින් එහෙම ආරංචි වෙද්දී චින්තිට අප කතා කළේ එහි විස්තර ඔබ ඉදිරියේ දිග හරින්න.

චින්ති ඇයි රයිනිත් එක්කම සිංදු කියන්නේ?

චින්තිගෙ සුවදුක් විමසන ගමන් ඒ පැනයෙන්ම මේ සංවාදයට මුල පුරන්න අප තීරණය කළා. ඒත් එක්කම ඔහුගේ සංගීත දිවිය ගැනත් ඇහැව්වා. සාමාන්‍යයෙන් ගී ගයද්දී බොහොම සක්‍රීය චරිතයක් වුණාට චින්ති කතාබහට නම් ටිකක් විතර හොරයි. එත් ඒ පුරුද්ද පැත්තකින් තියලා අප අහපු දේවල්වලට නම් චින්ති උත්තර දුන්නේ හරිම ක්‍රියාශීලීව.

ඉතිං චින්ති කොහොමද?

හොඳයි. මගේ අලුත් සිංදුව ඔයා ඇහැව්වද. ඒකෙ නම කාන්දම් දෑස. මේ දවස්වල මාධ්‍යයන් කිහිපයකින්ම දකින්නට අහන්නට පුළුවන්. මගේ කිව්වට මගේ විතරක්ම නෙවෙයි. ඔබේ හඳුන්වාදීමේ තියෙනවා වගේ රයිනිත් එක්ක තමයි සිංදුව කිව්වේ.

කාන්දම් දෑස මොන වගේද?

තනිකරම ලව් සෝන්ග් එකක්. ආදරේ ගැන පමණයි ඉන් කියවෙන්නේ.

ඇයි රයිනිවම මේ සඳහා තෝර ගත්තේ?

මං රයිනිගේ කටහඬට ආසයි. අනික කාන්දම් දෑසෙහි මෙලඩිය හැදුවෙ රයිනිටම තමයි.

ඇයට හැර වෙනත් ගායිකාවකට ඔබ අතින් මෙලඩි හැදෙන්නේ නැතිද?

ඇයි එහෙම කියන්නේ.

රයිනිත් එක්කමනෙ ඔබ සිංදු කිව්වෙ. ඒකයි එහෙම ඇහැව්වේ?

රයිනිට ඇරෙන්න තව ගායිකාවන් එක්ක සිංදු මගේ අලුත්ම ඇල්බම එකේ තියෙනවා.

කාන්දම් දැස හැදුවේ රිඟිං ටෝන්වලටද?

බොරු කියන්න ඕනේ නැහැනෙ. මගේ වෘත්තිය සංගීතය. මං ආදායමක් බලාගෙන තමයි හැම සිංදුවක්ම හදන්නේ. ඒත් ඒ අරමුණ අමතක වෙනවා මෙලඩිය නිර්මාණය කරන කොට. සිංදුව හැදුණට පස්සෙයි මතක් වෙන්නේ මේක රිඟින්ටෝන් දාන්න ඕනෙ කියලා.

මේ සිංදුව ගැන රයිනි මොකද කිව්වේ?

ඇය හරිම ආසාවෙන් මේක ගැන කතා කළේ.

මං කෙළින්ම දෙයක් අහන්නනම්කෝ. රයිනියි ඔයයි ආදරවන්තයින් නෙවෙයිද?

අනේ නැහැ. අපි හොඳ යාළුවෝ විතරයි.

රයිනි ගැන පුංචි හෝ කැමැත්තක් නැතිද ඔබට?

ඔව්. මං රයිනිට කැමැතියි. හැබැයි යාළුවකු විදිහට පමණයි.

ඒ මිත්‍රකම ආදරයකට පෙරලෙයිද?

තවම හරියට ඒ ගැන හිතලා නැහැ.

ඒ කියන්නේ කවද හරි එහෙම හිතෙයි කියන එකනෙ?

ඒක අන්ෂුවර් කතාවක්.

ඔබේ කතාවෙන් තේරෙන්නේ රයිනි සතුව ඔබ අකැමැති ගතිගුණ තිබෙනවා වගෙයි?

ඔව්.

එකක් දෙකක් කියමුකො බලන්න?

එයා වෙලාවට එන්නේ නැහැ. හැමදාම පරක්කු වෙනවා වැඩකට එද්දි.

මේක කියවලා ඔබත් එක්ක රයිනි ආයෙ සිංදු නොකියයිද දන්නේ නැහැ?

ඇය එච්චර පටු අදහස් තියෙන කෙනෙක් නෙවෙයි. මං හිතන්නේ නැහැ රයිනි මගෙත් එක්ක කවදාවත් තරහ වෙයි කියලා. එයා හොඳ තෙරුම් ගත් චරිතයක්.

කාන්දම් දෑස හි වීඩියෝව කළේ කවුද?

සමීර වන්නිආරච්චි.

වීඩියෝ එක රූගත කරද්දී රයිනිව බලෙන් රූකාන්තයි චන්ද්‍රලේඛයි ඇවිත් එක්කගෙන ගියා කියන්නේ ඇත්තද?

ඔව්, ඔව්. ඒක වුණේ මෙහෙමයි. රයිනිට අමතක වෙලා වීඩියෝවට දීලා තියෙන්නේ එයාලා විදෙස් ගතවන්නට හිටපු දවසට පෙර දවසයි. ඉතින් රයිනි කොහොම හරි එදා ආවේ රට යන්න ලැහැස්ති වෙලා. රෑට තමයි ෆ්ලයිට් එක තිබිලා තියෙන්නේ. හවස් වෙද්දී රයිනිව එක්කගෙන ගියා. වෙලාවට ඇයගේ රූගත කිරීම් නිම වුණා විතරයි ගෙනියද්දි.

ඔබ ගයන්නෙම රෙගේ රිද්මයේ ගීත. චින්තිට බයිලා කියන්න බැහැ කියලයි ගොඩක් දෙනා කියන්නේ?

බයිලා කියන අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවනෙ. මම ආසයි මගේ විදිහට සිංදුවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න. හැම ශෛලයකම සිංදු කරන්න ගියොත් චින්තිව අච්චාරුවක් වේවි.


පුණ්‍යමය ප්‍රසංගයක් හොරණදී

හදිසි අනතුරකට ලක්වීමෙන් හිස් කබල පුපුරා ගිය හොරණ මීවනපලාන සිරිල්ටන් වත්තේ පදිංචි 32 හැවිරිදි චානක සුමේධ සිල්වාට අවශ්‍ය කෘත්‍රිම හිස් කබල සැකසීම සඳහා අධාර පිණිස ‘සිතක සුවඳ’ පුණ්‍යමය ගීත ප්‍රසංගය මෙම 11 වැනිදා සවස 6.00 ට හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ දී පැවැත්වේ.

ඔහුගේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය මුදල මෙම 14 වැනිදා ට ප්‍රථම සපුරා ගත යුතුව ඇත.

මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන ඕෂදී රන්දීව් ය. ඔහු සමඟ රොජර් සෙනෙවිරත්න, උමයංගනා වික්‍රමසිංහ ගායනයෙන් දායක වෙයි. හොරණ ‘සින්තසිස්’ සංගීත කණ්ඩායම සංගීතවත් කරන මෙම ප්‍රසංගයට කථනයෙන් සම්පත් මංචනායක සහ රූපවාහිනී නිවේදිකා ශිරෝමී ප්‍රියදර්ශනී දායක වෙයි. වෘත්තියෙන් වඩු කාර්මිකයකු වන චානකගෙන් යැපෙන්නන් අතර ඔහුගේ බිරිය හා කුඩා දියණිය ද වෙයි.

ඔබටත් චානක වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකි නම් 041/2/001/1/0996091 ඔහුගේ මෙම ගිණුමට බැර කළ හැකිය. 077- 8952833 ඔහුගේ දුරකථන අංකයයි.