වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




මං ගමේ කොල්ලෙක්

මං ගමේ කොල්ලෙක්

A/L ඉවරයි අජන්තගේ ජීවිත කතාන්දරය

මධුර ප්‍රභාෂ්වරව බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 7.27 ට විකාශය වුණු A/L ඉවරයි ටෙලි නාට්‍යයේ අජන්තගේ චරිතයෙන්. එක වෙලාවකට බොහොම දාර්ශනිකයෙක් වගේ කතාබහ කරන මේ කොල්ලා තවත් වෙලාවකට කතා කරන්නේ මෝඩ පහේ චරිතයකට ආරෝපණය වෙමින්. සාමාන්‍ය ජීවිතයේදීත් මධුර, අජන්ත වගේ ද කියන තරමටම රූපවාහිනිය නරඹන්නන්ට ප්‍රශ්නයක් ඇති වුණා. අප මේ ගැන මධුරගෙන් ඇසුවා.

* අජන්ත වගේම ද මධුරත්?

‘අජන්තගේ චරිතයේ මධුරත් ඉන්නවා. නමුත් ඒ සියයට සියයක්ම නොවෙයි. සියයට තිහ, හතළිහක, පනහක ප්‍රමාණයේ මධුරත් ඒ චරිතයේ ඉන්නවා. මේ වගේ චරිතවලදී අපි බාගයක් විතර ඒ චරිතයේ ඉන්න එක අපට සියයට සියයක් ඉවත් කරන්න බැහැ.

* මධුර කොහොමද අජන්තව දැක්කේ?

අජන්ත කියන්නේ ගමකින් කොළඹට එන කෙනෙක්. ඔහු ගමෙන් නගරයට එනකොටත් මාක්ස් ලෙනින් කියවපු මතවාදී තරුණයෙක්. ඔහු විවිධ මතවාදී කණ්ඩායම්වල වචන පාවිචචි කරන, සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන, නමුත් න්‍යායාත්මකව කියැවීමෙන් ලැබුව දැනුම කතා කරන කොට නිතරම පාවිච්චි කරන කෙනෙක්. ඔහු හිතන්නේ ජීවිතය ගෙවන්න ඕනෑ ඒ විදියට කියලයි. ඒත් ඔහුටම සමහර විට තේරෙනවා එහෙම ජීවත්වෙන්න බෑ කියලත්. අජන්ත කියන්නේ ඒ දෙපැත්තටම දෝලනය වන චරිතයක්. ඔහු වරෙක බුද්ධිමත්. වරෙක බොහොම මෝඩයි. තවත් වරෙක බොහොම සීරියස් චරිතයක්.

* අජන්තව ප්‍රතිනිර්මාණය කර ගැනීමේදී අවට පරිසරය ඔබට කොයි තරම් උපකාරී වුණාද?

මමත් ගමේ ඉඳගෙන කොළඹට එන කොල්ලෙක්. ඕලෙවල් කරන්නේ නිකවැරටියේ කුදරවාලිය කියන කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ලෙවල් කරන්න මම කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට පැමිණෙනවා. ඒ ලෙවල් ලියලා 2007 දී කැම්පස් එනකම් මම නාට්‍ය වැඩ කටයුතුවලට සහාය වෙන්න කොළඹ එනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ හිටිය මගේ යාළුවන් කිහිප දෙනෙක් නිසා වගේම මගේ තිබුණු කැමැත්ත වේදිකාව පැත්තට යොමුවීමේ පසුබිම නිර්මාණය කරනවා.

මුලින්ම මට මතකයි මම වේදිකා පරිපාලකයකු විදියට ‘යෙර්මා’ කියන විශ්ව විද්‍යාලයෙන් කළ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන විදිය. ඒ තරුණ සේවා එකෙන් කරන යෞවන නාට්‍ය උළෙල සඳහා. ඊට ප්සේ 2007 දී මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුල් වෙනවා. එතැන් පටන් තමයි දිගටම අධ්‍යයන කටයුතුත් සමඟ රංගන කටයුතුවල නිරත වෙන්නේ. මේ අතරේ ගමෙන් කොළඹට ඇවිත් නාට්‍ය කරන කොණ්ඩෙ රැවුල වවාගත්ත කොල්ලො, කෙල්ලන්ගේ ඇසුර ලැබෙන නිසා ඒ ජීවිතයේ අපට අමුත්තක් දැනෙන්නේ නෑ. අපිත් ඒ ජීවිතයේ කොටස්කාරයෝ වෙන්නේ නිතැතින්මයි. මේගොල්ලෝ කතා කරන, හැසිරෙන විදිය, කොහොමද බෝඩිමක් ඇතුළේ ඉන්නේ වගේ දේවල් අපේ ඇස ගැටෙනවා. ඒවා තමයි මේ විදියට අජන්තගේ චරිතයෙන් ප්‍රතිනිර්මාණය වෙන්නේ.

* අජන්තට ලැබෙන ප්‍රතිචාර තවමත් එහෙමම වගෙයි.

අජන්තගේ චරිතය කොයිතරම් මිනිස්සුන්ගේ හිත්වලට කා වැදිලද කිව්වොත් නාට්‍යය අවසාන වෙලා සතියක් ගත වෙලා තිබුණත් තවමත් ඔවුන් මට අමතන්නේ අජන්ත කියලා. ඒ තරමටම මේ නාට්‍ය මිනිස්සු ප්‍රමාණයක් බලා තිබෙනවා නේද කියලා හිතෙන්නේ ලැබෙන මේ ප්‍රතිචාර නිසයි. කොළඹ නගරයෙන් ඈත්වෙලා ගමකට ගියාට පස්සෙත් ඒ ප්‍රතිචාර එහෙමමයි. රූපවාහිනිය නරඹන නරඹන්නන්ටත් පොඩි කුහුලක් තිබෙනවා. ඒ ඇත්ත ජීවිතයේදීත් අපි මෙහෙමම ද කිය කාරණය ගැනයි. මොකද අපි ඇත්තටම මුහුණවල් හෝදන්නේ නැතිව ඇත්තටම බෝඩිම් ඇතුළේ මෙහෙම ඉන්නවා කියන කාරණා ඔවුන් සත්‍ය ලෙසටම අරගෙන තිබෙන බව පෙනෙනවා. මායාවත් ඇත්තත් අතර ඔවුන් අතරමං වෙලා.

* ඒ වුණාට නරඹන්නන් සිතන ඒ කාරණාවල සත්‍ය තත්ත්වයක් නැතිවාම නෙමෙයි නේද?

නෑ. (සිනාසෙයි) සමහර දේ නම් ඇත්තයි.

* රංගනයට අමතරව ඔබ වෘත්තියෙන් නීතිඥයෙක්?

මම කොළඹ මහ අධිකරණයේ නීතිඥයකු විදියට වැඩ කරනවා. ඒ නීතිඥ වසන්ත රිටිගල මහතාත් සමඟයි. මම තවම තනිවම වැඩ කරන්නේ නෑ. ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්තයෙක් සමඟයි කටයුතු කරන්නේ.

* මේ වෘත්තින් දෙක සමබර කර ගන්නේ කොහොද?

ඒක බොහොම අමාරු කාර්යයක්. ෂූටින් තිබුණොත් උසාවි යන්න බැහැ. ඒ ගැටලු තිබෙනවා. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මගේ කලා කටයුතුවලට අවසරය ලබාදීලයි තිබෙන්නේ.

* කලාව හා නීතිය කියන්නේ පරස්පර වෘත්තීන් දෙකක්. ඔබට මේ ගැන මොකද හිතෙන්නේ?

වෘත්ති දෙකක් වුණාට මට හිතෙන්නේ හොඳ නීතිඥවරයකුට හොඳ රංගන ශිල්පියෙක් වගේම හොඳ රංගන ශිල්පියෙකු හොඳ නීතිඥවරයෙකුත් විය හැකි බවයි.

* ඔබට සාධාරණ නීතිඥයෙක් විය හැකියි ඔබ සිතනවාද?

වෘත්තීය ආචාර ධර්ම තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්න කැමැති නෑ. නීතිඥවරු කියන්නේ තමන්ගේ සේවාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. වෘත්තීය නීතිඥයෙක් විදියට මමත් කරන්නේ ඒකමයි. ඒ කියන්නේ තමන්ගේ සේවාදායකයන්ට උපරිමේ යහපත ඉටු කිරීමයි. නමුත් මම වඩාත් කැමැති කලා මාධ්‍යය ඇතුළේ ජීවත් වීමටයි. ඒක අපට දැනෙනවා. මිනිස්සුත් සමඟ ගත කරන තත්පරය වුණත් අපට ජීවත් වනවා කියන හැඟීම දැනෙනවා.

* මෙහෙම ගියොත් ඔබ නීතිඥ වෘත්තියෙන් සමුගනීවිද?

ඒක කියන්න බෑ. සමහර විට සදහටම නීතිඥ වෘත්තියෙන් සමු ගන්නත් පුළුවන්. සමහර විට කලාවෙන් සදහටම සමුගන්නත් පුළුවන්. එහෙම නැතිව මේ වෘත්ති දෙක නැතිව වෙනම එකක් කරන්නත් බැරි නෑ. මම වඩාත් කලා මාධ්‍යයට කැමැති නිසා මගේ උපරිමයෙන් ඊට දායක වෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් කොහොම හරි ඒකට දායක වෙන්නයි මා සිතන්නේ.

* ඔබගේ කලා ජීවිතයේදී අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

මම මුලින්ම රඟපාන්නේ ඩෙනිස් පෙරේරාගේ ‘ත්‍රීවිල් ඩයරිස්’ කියන චිත්‍රපටයේ. ඒකේ කළ රංගනය මට කිසිම දවසක අමතක වෙන්නේ නෑ. මධුර කියන මගේ නමින්ම ගමක සිටින තරුණයෙක්ගේ චරිතයක් තමයි මම රඟපෑවේ. ඒ් වගේම ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබෙනවා බිත්තරවලින් ගුටිකන. ඒක නම් මට කිසි දිනක අමතක වෙන්නේ නෑ. බිත්තරවලින් ගුටි කෑව විතරක් නෙමෙයි බිත්තර සාරු මුළු ඇෙඟ්ම ගෑවිලා ටික වෙලාවක් රූගත කිරීමට එහෙමම ඉන්න වුණා. ඒ ගඳ නම් තාමත් මේ මට දැනෙනවා වගෙයි.

* ඔබ පෙම්වතෙක්ද?

ඔව්. මම පෙම්වතෙක්. ඒ ගැන ඒ තරමට කිව්වාම ඇති කියලා මම හිතනවා.

* පවුලේ තොරතුරුත් යමක් කියමුද?

මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, අයියයි, නංගියි. අම්මා ගුරුවරියක්. අප්පච්චි ලංගම බස් රථ පරික්ෂකවරයෙක් විදියට වැඩ කරනවා. බොරළුවැව, පහළ මාවුල්ල කියන ගමේ තමයි ඔවුන් තවමත් ඉන්නේ.