වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




වතුරට බැස්ස තැන දැවැන්ත කිඹුලෙක්

වතුරට බැස්ස තැන දැවැන්ත කිඹුලෙක්

කෝරලේ මහත්තයා දර්ශන තලයේ සුන්දර මතක

සන්සුන් ආගන්තුක සුළං රැලි වැව් දියවර මත දිගාවෙයි. රතු පැහැ හිරු කෙඳිතිවලින් සංතර්පණය වන වැව් දියවර රන් තැටියක සිරි ගන්නා හැන්දෑවයි මේ.

මඟ සොයමින් හුරු පුරුදු කෙළි දෙලෙන් කැදලි කරා ඇදෙන කෑදැත්තන් ගේ හඬත් රාත්‍රියට අතවනන ඉපල් අත්තක හිඳ මොනවාදෝ කියන්නට වෙරදරන බකමූණකුගේ කෙඳිරියත් හැර පරිසරයම වෙලාගෙන ඇත්තේ නිහැඬියාවක සුන්දරත්වයකි.

උදෑසනම කොළඹින් පිට වූ මමත් ඡායාරූප ශිල්පි නිරෝෂුත් රන්මිහිතැන්නට පය ගසද්දී හිරු මුඳුන් වී පැය දෙකකට ආසන්නව තිබිණි.

‘කෝරලේ මහත්තයලගෙ ගෙදර කොහෙද’

අප ගමන් කළ රථයේ රියදුරු අප මහන්සියට පත් නොකරම අදාළ තැන වෙතටම රැගෙන යාමට සැරසෙයි.

ආරක්‍ෂක නිලධාරියාගේ විධානය අනුව රථය ඉදිරියට ඇදෙයි.

අපට ඉතාමත් හුරු පුරුදු මේ නවාතැනට මීට පෙර කිහිප වතාවක්ම පැමිණි මම රථයෙන් බැස ගත්තේ කෝරලේ මහත්තයා දර්ශන තලයේ ඇතිවී ඇති කලබලය දැකීමෙනි.

විශාල පිරිසක් පිනා වටකරගෙනය. කරකියා ගත නොහැකි වූ පිනා තුෂ්නිම්භූතව බලා හිඳියි.

‘මොකෝ මේ....

මට ඇසුණේ ඉබේටමය.

‘නෑ මේ රන්මිහිතැන්න බලන්න ආපු කට්ටිය පිනාව වටකරගෙන දිගට හරහට ප්‍රශ්න අහනවා.

‘පිළිතුරු බැන්ඳේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාරය.

‘ආ... මං බැලුවෙ මොකක්ද මේ කලබලේ කියලා.

අපි වැඩ කටයුතු ඇරැඹුවේ එතැනිනි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි රසිකයෝ පිනා මෙන්ම ‘කෝරලේ මහත්තයා’ පිරිස සමඟ කතාවකය. අපි එම පිරිස ද කැමරාවට හසු කරගත්තේ පිනා සමඟය.

ඒ රසිකයන්ට සදාදරණීය තිළිණයක් වූ එම කටයුත්තෙන් අනතුරුව දර්ශන රූ ගත කිරීම් ඇරැඹුණේ කඩපොළ දෙසය.

මුදලාලි, පිනා, පියුමි දර්ශන තලයේය. පිනා කතන්දර මැද දර්ශන රූගත කොට හමාරවන විට සැන්දෑවට ඉතා ආසන්නය.

ඉන් අනතුරුව වෙදරාලගේ නිවෙසේ රූගත කිරීම්ය. වෙදරාලගේ ඉළ ඇදෙන විහිළු කතා නිමක් නැත. ඒ කතාන්දර අලුත්ම විහිළු කතන්දරය.

මේ අතරතුර කදිරා හමු නොවීම අපට පැනයකි. මමත් නිරොෂුත් කදිරා සොයමින් වන වැදුනෙමි.

රූස්ස ගස් මුදුණක පැලකට වී හිඳින කදිරා ඊළඟ මොහොතේ බිමට බැස්සේ අප දැකීමෙනි. කදිරා සමඟ මොහොතක් කතා කළ අප වැව අසලට ගියේ අනගි බටලී හඬ සොයමිනි.

වැව් කණ්ඩියේ තැනෙකට වී හුදෙකලාව වස්දඬුව වයන්නා සපුමල් ය. විශ්වත් ඔහුගේ මිතුරා ලෙස රඟපාන නිෂානුත් ඡායාරූපයට නගාගත් අපි ඊළඟ මොහොතේ වැව අසලට වී ගිමන් හැරියෙමු.

විශ්ව පාලම මත හිඳිද්දී මිතුරා වැවට බස්සවා ඡායාරූපයක් ගැනීමට අපට අවශ්‍ය වූයේය. මේ මොහොතවන විට අපි එම ඡායාරූපය රැගෙන සිටියෙමු.

වැවට බැසීම නිසා පෙඟුණු සරම මිරිකමින් උන් මිතුරාත් ඒ දෙස බලාසිටි මමත් විශ්වත් නිරෝෂුත් අතරට පැමිණියේ වෙදරාලය.

‘මේ වැවේ මාර කිඹුලෙක් ඉන්නවා.

ඒ කියමන සමඟ මිතුරා ගේ මුහුණ වෙනස්වනු දුටු මට සිනාහවට වඩා ඇති වුයේ භීතියකි.

මීට සුළු මොහොතකට ප්‍රථමවද වැවට බැස සිටි ඔහු ගේ වෙනස්වන මුහුණ මතට සඳ එළිය වැටී තිබුණි.

අද කෝරලේ මහත්තයා පිරිසට සුවිශේෂී දිනයකි. සියලු දර්ශන නිමා කළ සතුට විඳින්නට අද රාත්‍රී සාදයකි. සාදයට සියල්ල සූදානම්ය.

මේ කෝරලේ මහත්තයගේ කොණ්ඩෙයි රැවුලයි කෝ?

කොණ්ඩා සැලසුම් ශිල්පියා ගැටලුවකට මැදිව සිටී.

ඒක ගලවලා වෑන් එකේ.

තවත් හිතවතකු පවසන්නේ රාජකාරි අතරතුරය.

මේ ගෙවෙන්නේ සුන්දරත්වයේ ඉමිහිරි හැන්දෑවයි. දිවා කාලයේ හමුවුණු නුපුරුදු මුහුණු වෙනුවට දැන් සිටින්නේ අපට ළෙන්ගතු නළු නිළි පිරිසකි.

‘මල්ලී වසන්ත කුමාරවිල ඉන්නේ කාටද?

දිවා කාලයේ කදිරා ලෙස සිටි වසන්ත හඳුනා ගැනීමට නොහැකි වූ අප රථයේ රියදුරා මාගෙන් අසන්නේ වසන්තගේ මුව මඬලද සිනාහවේ ගිල්ලුවමිනි.

දැන් පිනා වෙනුවට අප ඉදිරියේ සිටින්නේ හොඳින් ඇඳ පැලඳ ගත් මහින්ද පතිරගේය. කෝරලේ මහත්තයා තමාට හුරු පුරුදු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටී. රෙද්ද හැට්ටය හැඳි ගැමි ළඳුන් සියල්ලෝම බටහිර ඇඳුමින් සැරසී සිටිති.

රාත්‍රී සාදය ඇරඹිණි.

වෙදරාලගේ බටලී හඬත් විජේරත්න වරකාගොඩයන්ගේ මිහිරි ගායනාත් මහින්ද පතිරගේ ගේ සුන්දර ගීතත් සමඟ රාත්‍රී ගෙවී යන්නේ නොදැනුවත්වමය.

එකිනෙකා ළෙන්ගතුව රඟමින්, ගයමින් සුන්දර සාදය අවසන් වූයේ අලුත් බලාපොරොත්තු ඉතිරි කරමිනි.

කෝරලේ මහත්තයා 3 ළඟදීම පටන් ගන්නවා.

පද්මසිරි කොඩිකාර පැවසුවේ වෙන්වීමක් අග සුන්දර හමුවීමක් ද ඇතිබව පසක් කරමිනි.