වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




මඟුල් බෙර වැයූ මිථිල

මඟුල් බෙර වැයූ මිථිල

තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදාමෝත්සවය පසුගියදා නිමා විය.

ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි. අපේ වෑයම ඒ සොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හඳුන්වා දෙන්නයි.

මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ බියන්විල ‘නැගෙන හිරු’ යෞවන සමාජයෙන් බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදාමෝත්සවයේදී ගැටබෙර වාදනය ඒකල පිරිමි අංශයේදී උඩරට මගුල් බෙර වාදනය ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය හිමිකරගත් මිතිල ප්‍රියංකර පිළිබඳව හඳුන්වාදීමට අද යංග් ටැලන්ට තීරුව වෙන් කෙරේ.

කැලණිය ජනාධිපති විද්‍යාලයේ 12 වැනි වසරේ කලා අංශයේ (නැටුම් හා බෙර වාදනය) අධ්‍යාපනය හදාරන මිතිල අවුරුදු 12 දී නර්තනයට සහ බෙර වාදනයට යොමු වී ජාතික මට්ටමේ තරග රැසකින් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබේ.

උඩරට මඟුල් බෙර වාදනයට වැඩි නැඹුරක් දැක් වුව ද නැටුම්, මුද්‍රා නාට්‍ය, චිත්‍ර අංශයෙන් ඉදිරිපත් වී බොහෝ ජයග්‍රහණ ලබා ඇති මිතිල උසස් අධ්‍යාපන කටයුතු කලා අංශයෙන් ඉදිරියට කරගෙන යාමත්, තමන් ලද දැනුම ඊළඟ පරම්පරාවට කියාදීමටත් බලාපොරොත්තු වේ.

මිතිලට මේසා දුරක් යන්නට සුභාෂිනී, සමින්ද, සරත්, නලීන්, රවිබන්දු විද්‍යාපති, සමන්ති විද්‍යාපති, ජිනෙන්ද්‍ර විද්‍යාපති, රුවන් යන ගුරුවරුන්ගෙන් ලැබුණු දැනුම උපකාරී වී තිබේ.


ඔබ නැතුව ඔබ එක්ක චිකාගෝ යයි

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ අන්තර් ජාතිත සම්මානයට පාත්‍ර වූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමාපටයේ අමෙරිකානු මංගල දැක්ම මෙම මස 10 එනම් අද සිට 24 දක්වා ඇමෙරිකවේ චිකාගෝ නගරයේ පැවැත්වෙන 49 වැනි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී පැවැත්වීමට නියමිතය.

එහිදී එම සිනමාපටය ලෝක සිනමා අංශයේදී තිරගත වන අතර මෙවර චිකාගෝ චිත්‍රපට උළෙලට මහද්වීප පහෙන් රටවල් තිස් දෙකක චිත්‍රපට තිරගත වනු ඇත.

ඉන්දු - ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වන ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ අංජලී පාටිල් සමඟ ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම් ප්‍රධාන චරිත මවති.

ඔබ නැතුව ඔබ එක්ක ළඟදී සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරැඹේ.