වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




එයාට වෙන කොල්ලෙක් ඉන්න බව ආරංචි වුණා

එයාට වෙන කොල්ලෙක් ඉන්න බව ආරංචි වුණා

ධනුකගේ පළමු ආදර කතාව

ප්‍රේමය යනු ලෝකයේ හමුවන මිහිරිතම වදන්වලින් එකකි. ලෝකයේ ජීවත්වන ඕනෑම අයෙකුට කිනම් මොහොතක හෝ කුමන ආකාරයක හෝ ප්‍රේමයක අත්දැකීම් ඇත. දෙදෙනකු අතර ඇතිවන බැඳියාව මත හට ගන්නා ආදරයක පළමු අත්දැකීම ඉමිහිරි වූ එකකි. මේ සරසවිය ඔබ අප ආදරය කරන තරුවල පළමු ආදර කතාව සොයා යන ගමනයි. අද ඒ ගමනේ අප සොයා යන්නේ ධනුක දිල්ෂාන්ගේ ආදර අන්දරයයි. මේ වනවිට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා සම්මානයේ දෙවැනි තැනට මනාප ලබා ඇති ඔහු ‘සඳ පිනි බිඳක’, ‘දම්සාරි’, ‘තූර්යා’ ආදී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙයි.

* ඔබ පෙම්වතෙක්ද?

මම දැන් නම් පෙම්වතෙක් නෙවෙයි.

* ඒ කියන්නේ ඔබ මීට කලින් පෙම්වතෙක්?

ඔව්. ඒ අවුරුදු තුනකට කලින්.

* ඒ ආදරයට මොකද වුණේ?

ඒක නැති වුණා.

* කවුද ඈ?

ඇගේ නම කියන්න මා කැමැති නැහැ.

* මොකද ඒ?

ඒක එහෙම තමයි.

* එහෙනම් ඈ අහිමි වුණේ?

ගෙවල්වලින් අකැමැති වුණා.

* කාගේ නිවෙසින්ද?

අපේ ගෙදර අය ඇයට අකැමැති වුණා. ඊට පස්සේ ඇගේ ගෙදර අයත් අකැමැති වුණා.

* ඒ වෙනකොට ඔබ නළුවෙක්ද?

නෑ. එතකොට මම මේ වගේ දිගටම රඟපාන්නේ නෑ.

* හරියටම ඒ මොන කාලයේද?

මම හිතන්නේ ඒ ඒ ලෙවල්වල අන්තිම කාලයේ.

* ඇයත් පාසල් ළමයෙක් ද?

ඔව්. අපේ පාසලේ නම් නෙවෙයි.

* ඔබට ඇයව මුණ ගැසෙන්නේ කවදාද?

ඒක නම් මට අමතකයි.

* කොහේදීද?

ඈ අපේ අසල්වැසියෙක්.

* අසල්වැසියාට ඔබ ප්‍රේම කළා.

එහෙම තමයි.

* මතකද ඇයට ඔබ මුලින්ම ආදරෙයි කියූ දවස?

මුලන්ම මම ඇයට ආදරෙයි කිව්වේ ෆෝන් එකෙන්.

* කවද ද කියලා මතකද?

එහෙම මතක නෑ.

* අසල්වැසියෝ නම් ගෙදරට යනවා එනවා ඇති නේද?

එහෙම නෑ.

* ඒ කියන්නේ ඈ ඔබගේ නිවස අසලම නෙවෙයිද?

නෑ ගෙවල් කිහිපයකට එහායින් ඈ හිටියේ.

* ඈ දුටුව ගමන් ආදරයක් ඇති වුණා?

එහෙම්මම නෙවෙයි.

* එහෙම නම් කොහොමද?

අපි ටික කාලයක් හොඳ යහළුවන් ලෙස ඇසුරු කළා.

* ඊට පස්සෙයි ආදරය ඇති වුණේ?

ඔව්.

* ඈ ඔබගේ ආදරය එක්වරම පිළිගත්තද?

ඔව්. පිළිගත්තා.

* ඇය ඔබට මුලින්ම දුන්න තෑග්ග කුමක්ද?

මට මතක නෑනේ.

* ඒ වුණාට බොහෝ දෙනා කියන්නේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැයි කියලනේ.

මම ඒක අමතක කරලා ඉවරයි.

* ඔය තරම් ඉක්මනට ඒක අමතක කරන්න පුළුවන් වුණාද?

ඔව්. එදා ඉඳලම මම ඈව අමතක කළා.

* ඔබ ඇයට කොයි තරම් කාලයක් ආදරය කළාද?

මීට වසර තුනකට පෙර ඇය මට නැති වුණත් මා ඇයට වසර එකහමාරක් පමණ ආදරය කළා.

* නිවෙසින් අකැමැති නිසා එක පාරටම ඇයව ඔබට අමතක කළ හැකි වුණාද?

නෑ. එක පාරම අපි ආදරය කිරීම නතර කළේ නෑ.

* කොහොම හරි අන්තිමට ආදරයට තිත තිබ්බා.

එහෙම වුණා.

* ඈ කැමැති වුණාද ආදරය අතරමඟ නවත්වන්න?

අන්තිමට කැමැති වෙන්න සිද්ධ වුණා.

* ඔබ තවමත් ඇයට ආදරෙයිද?

නෑ.

* ඇයි එහෙම කියන්නේ?

දැන් එයාට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බව ආරංචි වුණා.

* ඔයාට දැන් පෙම්වතියක් නෑ කියලද ඔය කියන්නේ?

මට තවමත් පෙම්වතියක් නෑ.

* එක පිළිගන්න පුළුවන් පිළිතුරක් නොවෙයිනේ. මොකද දැන් අවුරුදු තුනක්?

ඔව් ඉතින්. ධනුක නැවතත් ආදරය ගැන හිතුවේ නෑ.

* රඟපෑමට සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද?

කුඩා කාලයේ පටන්ම මම රඟපෑවා. සිරස රූපවාහිනියේ විවිධ වැඩසටහන් කළා. ටික කාලයක් ඉන් ඈත් වුණේ ක්‍රිකට් නිසා. නැවතත් රඟපෑමට ආවේ A/L වලින් පස්සේ.

* මුලින්ම රඟපෑවේ?

රුවන් මාලිගා ටෙලි නාට්‍යයේ.

* මේ වනවිට ඔබ ජනප්‍රිය නළුවෙක්. සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවන් අතර දෙවැනි තැනටයි ඉන්නේ.

ආදර ආරාධනා ලැබෙන්නේ නැතිද?

ගොඩාක් ලැබෙනවා. නමුත් ඒ අයගේ හිත රිදවන්න අකැමැතියි. ඒ නිසා දෙපැත්තම බැලන්ස් එකේ තමයි කටයුතු කරන්නේ.

* මේ ආරාධනා අතර ඔබ වඩාත් කැමැතිම යුවතියකට හිත ගියොත් මොකද කරන්නේ?

හිත ගියොත්, හිත ගියාදෙන් කියලා මම මගේ පාඩුවේ ඉන්නවා.

* ඔය තරමටම ගැහැනු ළමයි එපා වෙලාද?

අම්මෝ, ඔව්.

* ඒ වුණු සිදුවීම කියන්නත් අකැමැතියි නේද?

මතක් කරන්නවත් කැමැති නෑ.

* හැම ගැහැනු ළමයාම එක වගේ නෑනේ?

ඒ අයව මට නම් වැඩක් නෑ.

* හැමදාම ඔහොම ඉන්නවා කියල ද කියන්නේ?

නෑ. එහෙම නෑ. දැනට නම් ලොකු උවමනාවක් නෑ.

* නිවෙසේ අය ඔබට මනමාලියෝ සොයනවද?

නෑ. ඒ අය මට මගේ පාඩුවේ ඉන්න දීලයි තිබෙන්නේ.

* ආදරය කියන්නෙ මොන වගේ දෙයක්ද?

ආදරය කියන්නේ එක වරක් පමණක් හිතේ ඇතිවන බැඳීමක්.

* ඒ කියන්නේ ධනුක ආදරය කරන්න කැමැති නෑ?

ඔව්. දැන්ම කැමැති නෑ.

* නමුත් බොහෝ දෙනෙක් කියනවනේ තරුණයන්ට ආදරය නැතිව ඉන්න බෑ කියලා.

ඒක බොරුවක් නේ.