වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




නවේ පනාමුර ඇත් රජු හමුවෙයි

නවේ පනාමුර ඇත් රජු හමුවෙයි

ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ අලුත්ම නිර්මාණ කටයුත්තක් ආරම්භ කරලා. එය නම් ඓතිහාසික කතා පුවතක් පදනනම් කරගත් ගීත නාටකයක්. වනය සහ තම වර්ගයා රැක ගැනීම වෙනුවෙන් අභීතව සටන් කළ පනාමුර ඇත් රාජයා සම්බන්ධ කතා පුවත තේමා කරගත් මෙම සංගීත රංගය නම් කර තිබෙන්නේ ‘පනාමුර කුංචනාදය’ නමින්.

වසර 1952 දී සිදු වූ මෙම සිදුවීම ගැන තමා අවුරුදු දෙකක විතර පර්යේෂණයක යෙදුණ බවයි නවරත්න ගමගේ අපට කිව්වේ. ඊට පසුව මෙහි රංග කාර්යය නිර්මාණය කරන්න ඔහුට තවත් වසරක පමණ කාලයක් ගත වෙලා.

පරිසරය හා සතුන් පිළිබඳව සංගීතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන මෙම නාද නාට්‍යය ජන සංගීතය, ශාස්ත්‍රීය සංගීතය මෙන්ම බටහිර සංගීතයත් මුසු කර වෙනස්ම ආකාරයෙන් වේදිකා ගත කරන්නයි ඔහුගේ සූදානම.

මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදු කෙරෙන මෙම සංගීත රංගය මේ වසර අගදී වේදිකාගත කරන්න නවරත්න ගමගේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රවීණ කලා ශිල්පීන් රැසකුත් මේ සුවිශේෂ නිර්මාණයේ කොටස්කරුවන් වෙලා සිටිනවා.

ජනප්‍රිය ගීත රැසක් සමඟින් වේදිකා ගත වූ ‘සඳ එළියෙන් දෝතක්’ ඔහුගේ ප්‍රථම ප්‍රසංගයයි. මේ දිනවල වැඩිපුර නාට්‍ය සමඟ කටයුතු කිරීම නිසා කාලයක් තිස්සේ වැඩෙමින් පැවැති බලාපොරොත්තුවක් ලෙස මෙම සංගීත රංගය ගෙන එන බවයි නවරත්න ගමගේ සරසවියට කියා සිටියේ.