වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




රෝයිගේ අලුත් චිත්‍රපටයට රංගන වරමක්

රෝයිගේ අලුත් චිත්‍රපටයට රංගන වරමක්

රෝයි ද සිල්වාගේ නවතම සිනමා අධ්‍යක්ෂණය සිහින ලොවක් සඳහා නවක නළු නිළියන් කිහිප දෙනෙකු අවශ්‍ය බව ඔහු ‘සරසවිය’ට දන්වා සිටියි.

ඔබ අවුරුදු 18 – 25 අතර රංගනයට ප්‍රිය අයකු නම් නො: 104/ඒ, පාගොඩ පාර, පිටකෝට්ටේ යන ලිපිනයෙන් හෝ 0722284675 යන අංකයෙන් මේ සඳහා වැඩි විස්තර ලබා ගත හැකිය.

‘3පෝLS’ සංගීත ප්‍රසංගය 13 දා

තිස් වසරක සංගීත දිවිය සමරන ගායකයෙකු, වාදකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු වන නාලක ඩී. සොයිසා සමඟ මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පීන් වන වින්සන් ඩී. පෝල්, ක්‍රිස්ටෝපර් පෝල් සහ පෝල් ප්‍රනාන්දු ගී ගයන ‘3පෝLS’සංගීත ප්‍රසංගය ලබන 13 වැනිදා මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවැත්වේ.

සිරි පැරකුම් ගමට යයි

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන සිරි පැරකුම් සිනමාපටය පසුගියදා සිට ගම් මට්ටමෙන් සිනමා ශාලාවන්හී තිරගතවීම ඇරැඹණ. අසීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරැඹී එය මෙරට සිනමා ඉතිහාසයේ ආදායම් වාර්තා අලුත් කිරීමට ද සමත් විය. ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන් යුතු රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සිරි පැරකුම් ඔවුන් දෙපොළ තිරයට ගෙනා පළමු ඓතිහාසික කතා පුවත වේ.


‘රාලහාමි' ආයෙත් එයි

රෝහණ බැද්දගේ කලාකරුවන්ගේ සිව්වන වේදිකා නාට්‍ය නිර්මාණය ‘රාලහාමි’ දිගු කලකට පසු මෙම මස 11 වැනිදා සවස කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

ගම්මුලාදෑනියකුගේ චරිතය ඇසුරෙන් තිර නාටකය සැකසුණු රාලහාමි බන්දුල විජේවීර, මහින්ද පතිරගේ, ඉන්දික ජයසිංහ, නිලුඛා රේඛාණි, තුෂාරි ගුණරත්න, අනෝමා කුමුදිනී, තරංගා කුමාරි රංගනයෙන් රසවත් කරති.

මෙම වේදිකා නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත නිර්මාණය සහ නැටුම් අධ්‍යක්ෂණය යන සියලුම අංග රෝහණ බැද්දගේ විසින් නිම කිරීම සුවිශේෂයි. රාලහාමි නාට්‍ය සඳහා බැද්දගේ සූරීන් විසින් අලුත්ම ජන කවි කිහිපයක් ද නිර්මාණ කොට තිබේ.

ලුවී නැවත තැනූ බෝනික්කා ළඟදී එයි

ලුවී වැන්ඩස්ට්‍රාට්න් කලකට ඉහත නිර්මාණය කළ අති සාර්ථක වූ බෝනික්කා චිත්‍රපටය නව නිෂ්පාදනයක් ලෙස ළඟදීම තිරගත වනු ඇත.

විල්සන් කරුණාරත්න, මලින්ද පෙරේරා, ගයේෂා පෙරේරා, ශාලිකා එදිරිසිංහ, සුනෙත් මැල්සිරිපුර, සංජු සමරසිංහ, සරත් දික්කුඹුර, කපිල සිගේරා, අමාලි ඉන්දීවරී ඒකනායක ඇතුළු පිරිස රංගනයෙන් හැඩගන්වති. ටිෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අශෝක පීරිස් සංගීත නිර්මාණයෙන් ද, රන්දික සංස්කරණයෙන්ද බෝනික්කා සඳහා දායක වී ඇත. ස්ටැනී ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. ලෙයෝන් වැන්ඩස්ට්‍රාට්න් සහාය අධ්‍යක්ෂවරයාය.

බෝනික්කා ජානක ලියනගේ ගේ නිෂ්පාදනයකි.