වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




එයා නළුවෙක් වෙනවට මං කැමති නෑ

එයා නළුවෙක් වෙනවට මං කැමති නෑ

ජයනි සේනානායක විවාහය ගැන හෙළිදරව්වක්
ඉදිරියේදී අලුත්ම ජයනි කෙනෙක් හමුවේවි

‘මුහුදට බිලිවුණු දේවී කුමරිය’

කුඩා කාලයේ පටන් අපි සියලු දෙනාගේම හදවතේ ඈ ජීවත් වුණේ එලෙසිනි. යොවුන් කාලයේ දේවී කුමරිය නමින් හැඳින්වුණු ඈ මුහුදට බිලිවී කිරින්දෙන් ගොඩ බසියි. රුහුණෙහි රජකම් කළ කාවන්තිස්ස රජු මේ සුන්දර දේවී කුමරිය නැවෙන් ගොඩගෙන, තම අගබිසව කරගනිමින් ඈ ගොඩබට ස්ථානයෙහි විහාරයක් කරවයි. එතැන් පටන් ශ්‍රී ලංකාද්වීපයෙහිම ජනතාව දේවී කුමරිය හඳුන්වන්නේ විහාරමහා දේවිය නමින් බව අපි දනිමු. ඒ ශ්‍රේෂ්ඨ කාන්තාව පිළිබඳ මතකය යළි අවදි කරන යමක් අපට පසුගිය දා අසන්නට ලැබිනි.

‘ජයනි විහාර මහාදේවියට රඟපානවා’

ජයනි සේනානායකගේ ඒ රංගනයෙහි අලුත්ම තොරතුරු සොයන අටියෙන් මම ඇය සොයා ඇගේ නිවහනට පා එසැවීමි.

* විහාර මහාදේවිය කියන්නේ ඉතිහාසයේ බොහොම වැදගත් ස්ථානයක් හිමිකර ගත් කාන්තා චරිතයක්. මෙවැනි චරිතයකට පණ පෙවීම ඔබගේ ජීවිතයේ සංධිස්ථානයක්ද?

ඇත්තටම ඔව්, හෙඬන් තමයි මේ චරිතය රඟපාන්නේ. හඬ නළුවෙන්. මේක කරන්නේ සිංහ එෆ්. එම්. නිළිකාවෙන්. අපේ ඉතිහාසයේ සිටිය වීර කාන්තා චරිත පිළිබඳ කෙරෙන මේ ගුවන් විදුලි නාට්‍ය වැඩසටහනේ එක කතා මාලාවක් වන්නේ විහාර මහාදේවියගේ කතාවයි. මේවන විට සිංහ එෆ්. එම්. නාළිකාව ඔස්සේ උදේ 10-12 දක්වා විකාශය වන මේ ගුවන් විදුලි නාට්‍යයේ ගුවන් කාලය පිළිබඳ ලැබෙන මේ ප්‍රතිචාර මාව පුදුම කරවනවා. ඒ කියන්නේ අපි බොහෝ වෙලාවට හිතන්නේ මේ කාලයේ දී ගුවන් විදුලි නාට්‍ය අසන්න කෙනෙක් නැතිවේවි කියලයි. එහෙම නැහැ. ඒ වගේම විහාර මහාදේවිය කියන්නේ අපි පුංචි කාලයේදිම බොහොම ආදරය කළ වීර චරිතයක්. පුංචි කාලයෙදි ඈ ගැන අහලා තිබුණත් කිසිම දවසක ඇයට හඬ දෙන්න මට පුළුවන් වේවි කියලා කිසිම දවසක හිතුවේ නැහැ. ඒ සඳහා මාව තෝරාගත් අයට මම ස්තුති කරනවා.

* හඬ නළුවෙන් සහභාගි වීමේදී විහාර මහාදේවිය පිළිබඳ ඔබට මොනවගේ හැඟීමක් ද ඇති වුණේ?

මේ කතාව කියවගෙන යනකොට ඉතිහාසයේ දි මා ඉගෙන නොගත් බොහෝ දේ පිටපත ඔස්සේ ඉගෙන ගත්තා. පිටපත රචනා කරන පිටපත් රචිකාව පිටපත රචනා කරන්නේ හොඳ අධ්‍යයන කටයුත්තකින් පස්සේ. ගුවන් විදුලි නාට්‍යයේ දී ඉතිහාස කතාව ඒ අයුරින්ම වෙනසකට ලක් කිරීමක් නොකර, නිවැරැදි ලෙසම අසන්නන්ට අසන්නට සැලැස්වීම වඩාත් හොඳ කාරණයක්. අනිත් කාරණය වෙන්නේ විහාර මහාදේවිය ගේ චරිතයට හඬ කවන කොට මට විවිධ වෙනස්කම් කිරීමට සිදුවුණා. ඇගේ චරිතය අවධි රැසකින් යුක්තයි. අවුරුදු 16 ක කුමාරිකාවකගේ පටන් කාවන්තිස්ස රජුත් සමඟ විවාහ වීමෙන් පසු කාලයේ වයස අවුරුදු 30 ක කුමාරිකාවක් ලෙසත්, ගැමුණු කුමාරයා රජ වුණාට පස්සේ මහලු විහාර මහාදේවියගේ වයස, කියන මේ සියලු චරිතවල ඇති හඬ පරාස පිළිබඳ මා සැලකිලිමත් වුණා. ඒ ගැන මා අධ්‍යයනයක නිරත වුණා. කුඩා කාලයේ පටන් සැප පහසුව හැදී වැඩුණු, වීර ගති පැවතුම් තිබෙන මේ කුමරිය විවාහයෙන් පස්සේ තමාගේ සැමියාගේ දේශපාලන කටයුතු සමඟ ජීවත්වන, අවසානයේ දී දේශපාලනය මෙහෙයවන දක්‍ෂ දේශපාලන නායිකාවක් බවට පත්වෙනවා. එවන් කෙනෙකුගේ තිබිය යුතු පෞරුෂය මා මතු කළ යුත්තේ හඬෙන්. මම විශ්වාස කරන්නේ ඒ කාරණය මගෙන් ඉටු වුණා කියලයි.

* මේ දවස්වල ඔබගේ රුව වැඩිපුර පුංචි තිරයේ වගේම වේදිකාවේත් දකින්න නොලැබෙන බවයි පෙනෙන්නේ.

ඔව්, දිගු කාලයක් රඟපෑමේ කටයුතුවල නිරත වී සිටිය නිසා තරමක විවේකයක් ගන්න හිතුවා. ඒ නිසා කොළඹින් පිට රූගත කිරීම් භාර ගත්තේ නැහැ. ඒ වගේම දිගු කාලයක් වැඩ කිරීම නිසා නැවත වේදිකාවට ගොඩවන විට අලුත් ජයනි කෙනෙක් විදිහට ඊට ගොඩ නගින්න කැමතියි. ඒ නිසා මේ විවේක කාලය දැනුම රැස්කර ගැනීමට, ලෝකයේ රඟපෑම් සම්බන්ධයෙන් බොහෝදේ සෙවීමට කාලය ගත කරන්නයි මා සූදානම් වන්නේ. ඊට අමතරව ‘සුදුයි උසයි’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් කෙරෙනවා. මේ වනවිට මට චිත්‍රපට තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. අශෝක අතාවුදහෙට්ටි ගේ චිත්‍රපටයේ පුංචි චරිතයකටත් මා රංගනයෙන් දායක වුණා.

* මේ කටයුතුවලින් ඈත්වෙලා ඉන්නට හිතුවේ ඔබේ විවාහය නිසාද?

අනේ නැහැ. ඔහු මගේ රංගන කටයුවලට ගොඩක් උදව් කරනවා.සැමියා සංජීව ඉලේපෙරුම. ඔහු වෘත්තියෙන් ගණකාධිකාරවරයෙක්. මේවන විට ඔහු විදේශ ගතවෙලා ඉන්නේ. අපි දෙන්නාම නිවැරැදිව තේරුම් අරගෙන ඉන්නේ. ඔහු විශේෂයෙන්ම මගේ රැකියාව වගේම මාවත් තේරුම් අරගෙන ඉන්නේ. අපි අතර විශාල විශ්වාසයක් තියෙනවා. ඒ නිසා රසවත් විවාහ ජීවිතයක් ගත කරනවා. නිළියක්, දියණියක්, කියන මේ සියලු භූමිකාවලදි මම තෘප්තිමත් කෙනෙක්. ඒ වගේම බිරිඳ කියන භූමිකාවේදිත් මම අතිශය තෘප්තිමත් කෙනෙක්. ඊට වඩා මට ලබාගන්නට දෙයක් නොමැති තරම් කියලා මට හිතෙනවා.

* ගණකාධිකරණය හා කලාව කියන අංශ දෙක කොහොමද පෑහෙන්නේ?

ඔහුව මට මුණ ගැසෙන්නේ පෞද්ගලික නාළිකාවකදි. ඒ හඬ කැවීම් ශිල්පය හරහාමයි. ලංකාවේ ජනපි‍්‍රය හඬ කැවීම් ටෙලි නාට්‍යයක් වුණු ‘මහගෙදර’ තුල්සිගේ චරිතයට හඬ දුන්නේ මමයි. ඒ හඬ කැවීම් කරන මුල් කාලයේ දි තමයි සංජීව මට මුණ ගැසෙන්නේ. ඒ මුණ ගැසීම හිතවත්කමකට පෙරළෙනවා. බොහෝවිට අපි දෙන්නා ගේ අදහස් එකවගේ. ඒ කියන්නේ සියයට සියයක්ම එකවගේ කියන එක නෙවෙයි. ඒවා ගළපගන්න පුළුවන් කමක් තියෙනවා. ඔහු නුවර. මම අනුරාධපුරයේ. අපි දෙන්නා මුණගැසෙන්නේ කොළඹදි.

* ඔහුව ඔබ දකින්නේ කොහොමද?

සංජීව තමන්ගේ පවුලට විතරක් නෙවෙයි, මගේ පවුලෙ අය ගැනත් සිතන, ආදරය කරන, සොයන බලන, උදව්කරන, කෙනෙක්. මටත් වඩා පවුලේ අය පිළිබඳ සොයන බලන කෙනෙක් ලැබීම මා ලද භාග්‍යයක්. ඔහු තමන්ගේම පවුලේ කෙනෙක් වගේ. මම වුණත් එහෙමයි. ඔහුගේ අම්මාට, තාත්තාට මාව ලේලියෙක් නෙවෙයි, දුවක්. දවසක් කතාබහ නොකර සිටියොත් ඔවුන්ගේ හිතට දුකයි. ඒ නිසා මට තවත් අම්මා, තාත්තා කෙනෙක්, සහෝදර, සහෝදරියො ටිකක් ලැබුණා කියලා හිතෙනවා. ඒකට සතුටුයි.

* කලා කටයුතුවලට කොහොමද ඔහුගේ දායකත්වය?

එයා වැඩ කරන්නේ සිරස නාළිකාවේ. කලා කටයුතුවලට වැඩිපුර දායක වෙන්නේ නෑ. එකක, දෙකක වගේ පොඩි චරිත රඟපෑවා. කොහොම වුණත් මගේ සැමියා රඟපානවට මා කැමති නෑ. නළුවෙක් මගේ සැමියා කරගන්න මා කැමති නෑ. පාසල් කාලයේදි ඔහු දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඔහු පමණක් නොවෙයි ඔහුගේ පියාත් දක්‍ෂ කැටයම් ශිල්පියෙක්. ඔවුන්ගේ ජීවිතය ඇතුළේ කලාව තිබෙනවා. මට අසීමිතව ඔහු උදවු කරනවා. වේදිකා නාට්‍ය පුහුණුවීම්වලදී මට විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙනවා. එතැනදි සිදුවන සියලු අඩුපාඩුකම් දරාගනිමින් මාව අගය කරමින්, අගැයිමීවලදී සතුටු වෙමින්, මාව දිරිමත් කරන කෙනෙක් ලෙස මගේ සැමියා මට ආඩම්බරයක්.

* ඔහු රඟපානවාට විරුද්ධ වෙන්නේ ඔබ බොහෝ ආත්මාර්ථකාමී කෙනෙක් නිසාද?

අපෝ නැහැ. ඔහු මුලදීම නළුවෙක් නම් ඔහු මගේ හොඳ යාළුවෙක් වේවි. නමුත් මගේ සැමියා වන එකක් නෑ. එලෙස මා පවසන්නේ වෘත්තිය පැත්තේ ඇති අකැමැත්ත මිසක්, ඔහුට තියෙන අකැමැත්ත නිසා නොවෙයි.

* ඔබගේ ආදරය දිනා ගැනීමට ඔහුට තිබුණු සුදුසුකම් මොනවාද?

මම ආදරයෙදි අසීමිතව ආදරය බලාපොරොත්තුවන කෙනෙක්. ඔහුත් ඒ වගේමයි. මා සම්බන්ධ චූටි කාරණයකදි වුණත් ඔහු දැඩි ලෙස අවධානය යොමු කරනවා. මාව අසාමාන්‍ය ලෙස ආරක්‍ෂා කරනවා. සොයා බලනවා. ඒ දේවල් මම හරියට අගය කරනවා. මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි මගේ ආදරය මට කරදරයක් වෙමින් මා ළඟ දැවටිය යුතුයි කියන කාරණය. ඒ ගුණාංගය ඔහු ළඟ තිබෙනවා.