වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනු නිගම්ට මරණ තර්ජන

සෝනු නිගම්ට මරණ තර්ජන

කල් හෝ නා හෝ, මේ හූන් ආ, පියු බෝලේ, කබි අල්විදා නා කෙහ්නා වැනි සම්මානයෙන් මෙන්ම ජනතා සම්මානයෙන් ද ජනහද දිනාගත් හතළිස් හැවිරිදි ගී තරුව සෝනු නිගම්ට දැන් ගීත ගැයීමට ශබ්දාගාරයට යනවාට වඩා යාමට සිදු වී ඇත්තේ පොලීසියටයි. ඒ ගීතයක අයිතිය ඉල්ලා නම් නොවෙයි. ජීවත්වීමේ අයිතිය ඉල්ලායි. චෝටා ශකීල් නම් පාතාල නායකයාගෙන් ඔහුට මරණීය තර්ජන එල්ලව තිබේ.

වසර දෙදාහේදී සෝනුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කළ ඔහු දැන් යළිත් කරදර කිරිමට පටන් ගෙන ඇත. පසුගිය මාසයේ ශකීල් කළ තර්ජනය මාධ්‍යයෙන් හෙළි කිරීම නිසා සෝනු මහත් අපහසුතාවකට පත් වී සිටින්නේය. මේ අනවශ්‍ය ප්‍රසිද්ධිය ඔහුගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය දෙගුණ තෙගුණ වෙයි. ඉන්දියානු පොලීසිය සහ ඉන්දියානු මාධ්‍ය ගැන ඔහු බෙහෙවින් කලකිරී සිටියි.

‘මං සල්ලිවලට වැඩ කරන කෙනෙක් නෙවෙයි. මුදල් ඉපයීම ඔයාගේ බලාපොරොත්තුව නොවෙනවා නම් ඇයි මට ඕන අයත් එක්ක වැඩ නොකරන්නේ කියලා ශකීල් අහනවා. මොනවා වුණත් ශකීල් ගැන කිසිදු අමනාපයක් මට නැහැ.’ සෝනු පවසයි.

නිරුවත නම් බැහැ

සෝනක්ෂි සිංහ රඟන සිනමාපටයක් කෝටි සියයක ආදායමක් ඉපයීම සාමාන්‍ය දෙයකි. එනිසා සිනමාපටය කරා රසිකයන් ඇද ගැනීමට අඩ නිරුවත කොහෙත්ම කාන්දමක් ලෙස යොදා ගැනීමට අවශ්‍ය නොවෙයි.

ඕනෑම සිනමාපටයකට අත්සන් තැබීමට පෙර ඇය අධ්‍යක්ෂවරයාට තහනම් නියෝගයක් දෙන්නීය. ‘බිකිනියක් අඳින්න නම් බැහැ’ ඒ සෝනක්ෂි ලබා දෙන නියෝගයයි. තිරයට සරාගී ලෙස අවශ්‍ය නම් තෙමුණු සාරියකින් සැරසීමට පමණක් ඇය කැමැත්ත පළකර තිබේ.

ඉදිරියේදී ඇය රැඟූ ‘රෝජා රාජ් කුමාර්’ සිනමාපටය තිරගතවීමට නියමිතයි. එහි ඇය ජලයේ සිට සිරුරට ඇලුණු තෙත සාරියකින් සැරසී පිටතට පැමිණෙයි.

නවසීලන්තයෙන්ම පමණයි

රජ ඛාන්ට කොතැන ගියත් රාජකීය සැලකිලි ලැබීම පුදුමයක් නොවෙයි. මෙවර ෂාරුක් ඛාන් උත්සවශ්‍රීයෙන් පිළිගනු ලැබුටේ නවසීලන්ත අගමැතිවරයාය.

නවසීලන්ත අගමැති ජෝන් කේ, ‘ටෙම්ප්ටේෂන් රීලෝඩඩ්’ නර්තන ප්‍රසංගය ඉදිරිපත් කිරීමට පැමිණි ෂාරුක් ඇතුළු නර්තන කණ්ඩායම නවසීලන්තයේ සාම්ප්‍රදායික මයෝරි නර්තනයෙන් පිළිගනු ලැබීය.

නවසීලන්ත නිල බ්ලැක් කැප් ක්‍රිකට් කණ්ඩායමේ කමිසයකින් සැරසී ඔහු පැමිණ සිටියේය. තමන් එම කමිසයක් පුතුට තිළිණ කරන බව ෂාරුක් ඒ අවස්ථාවේදී පැවසුවේය.

‘චෙන්නායි එක්ස්ප්‍රස් වීරයා’ මේ දිනවල ඕක්ලන්ඩ් හි පුහුණුව ලබමින් සිටින්නේ සිය සුපිරි නර්තන සගයන් වන මධුරි ඩික්සිත්, රාණි මුඛර්ජි, ජැකලින් ෆර්නැන්ඩස් සමඟය. සියයකට වැඩි පිරිසක් නර්තනයෙන් දායක වෙන මේ ප්‍රසංගය ඔස්ට්‍රේලියාව ඇතුළු ආසියාවේ පැවැත්වෙන විශාලම බොලිවුඩ් වීදි සංදර්ශනයයි.

නවසීලන්ත අ අගමැතිවරයාට පැවසීය.

මෑතකදී ප්ලේයර්ස්, අයි හේට් ලව් ස්ටෝරිස් සිනමාපට රූගත කෙරුණේ නවසීලන්තයේයි.

ෂාරුක් වගේම ඕක්ලන්ඩ් හි අත්විඳින සෞන්දර්යය, මධුරී, ජැකලින් සහ රාණි ද ට්වීටර් වෙබ් අඩවියට සොඳුරු කවියක් සේ එක්කර ඇත.

විශ්ව රූ රැජනත් බොලිවුඩ් එයි

ඔහු මේ දිනවල විශ්වයේම සුන්දරත්වය නරඹන්නේය. ඒ අන් කිසිවකුගෙන් නොව විශ්වයේම සොඳුරු රුවැත්තිය ඔලීවියා කල්පෝගෙනි. විශ්ව රූ රැජන අමෙරිකානු ජාතික ඔලීවියා, සිය ගායක, ගීත රචක නික් ජෝනාස් සමඟ ඉන්දියාවට පැමිණියේ සමාජ සත්කාරයකටයි.

සල්මන් ඛාන් සොයුරියක වූ සංජනාට සිය ගොවි පොළෙහි උපන් දින සාදයක් සූදානම් කර තිබුණු අතර එයට ඔලීවියා ද සහභාගි වූවාය. මේ ඔලීවියාට සල්මන් මුණ ගැසුණු පළමු අවස්ථාවයි. සාදයේදී මේ දෙදෙනා කෙතරම් සමීප වූවා ද කිවහොත් ඔහු ඇයට රඟපාන්නට ද ආරාධනා කර තිබේ.

ඔලීවියා ද ඊට එක පයින්ම මනාපය ලබා දී ඇත. ‘ඇත්තෙන්ම මං රඟපාන්න කැමැතියි. ඉන්දියානු සංස්කෘතියටත් කැමැතියි. බොලිවුඩයේ රඟපාන්න ලැබෙනවා නම් ඒක ලොකු අවස්ථාවක්’ ඇය පැවසුවාය.

ඔලීවියා පැමිණියේ දින 10 ක චාරිකාවකටයි. ගැහැනු කලල විනාශ කිරීම සහ කාන්තාවන්ට සිදුවන හිංසනය ගැන ඉන්දියානු සමාජය දැනුවත් කිරීමට පැමිණි ඇය අවසානයේදී බොලිවුඩයේ තාරකාවක් වේවි ද? එසේ වුවහොත් ඇය තිරයට හඳුන්වාදීමේ සාඩම්බර හිමිකරුවන්නේ සල්මන්ය.

ප්‍රතිකාර සඳහා සංජේට නිදහස

මොන වරද කළත් තරුවක් සිරකර තබන්නේ කෙසේද? සංජේ දත්ට දින 14 ක නිදහසක් පූනේ, යෙර්වාදා සිපිරි ගෙදරින් ලබාදීමට සිදු වී ඇත්තේ ඒ නිසයි.

එහෙත් ඔහුට මෙවැනි නිදහසක් ලබා දී ඇත්තේ සිනමාපටයක රඟපෑමට නම් නොවෙයි. සංජු නීතියෙන් වැටෙන ලෙඩවලට පමණක් නොව ගතේ ලෙඩ නිසා ද රෝගී වූ අයෙකි.

පනස් තුන් හැවිරිදි සංජේට නිවාඩුව ලබා දී තිබෙන්නේ පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි. පාදවල රුධිර කැටි සිරවීම නිසා සංජු තදබල ලෙස දෙපා වේදනාවකින් පීඩා විඳින්නේය. ඔහුට අධික රුධිර පීඩනය ද ඇත.

ලැබුණු නිවාඩුව දරු පවුල සමඟ ගත කිරීමට ලැබීම මේ සියල්ලටම වඩා ඔහු ලබන හොඳම ප්‍රතිකාරයයි.