වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




උදාරිගේ අලුත් රංගනයට සැමියා එක්වෙලා

උදාරිගේ අලුත් රංගනයට සැමියා එක්වෙලා

උදාරි වර්ණකුලසූරිය ඔබේ ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනිනයක්. රංගන කටයුතු සේම පුංචි දියණියකගේ මවක් ලෙසත් කාර්යබහුල ඇය දැන් කලා ක්ෂේත්‍රයේම නව මාවතකට යොමුවෙලා. ‘දෙනුවන් පියා’ නමින් ගැයෙන ගීතයත් සමඟ උදාරි පිවිසන්නේ ගායන ලොවට.

මේ වෙනුවෙන් රූප රචනයකුත් සිංගප්පූරුවේදී රූගත කෙරුණා. මෙහි විශේෂ කාරණයක් තියෙනවා. මොකක්ද දන්නවද? එහි උදාරි සමඟ රංගනයෙන් දායක වෙන්නේ ඇයගේ සැමියා. වෛද්‍යවරයකු වන උදාරිගේ සැමියාත් උදාරිත් සිඟිති දියණියත් ජීවත් වෙන්නේ සිංගප්පූරුවේ. උදාරිගේ සැමියා සුජිත් මියුසික් වීඩියෝවක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ ප්‍රථම වතාවටයි.

සුජිත්ගේ කාර්යබහුලත්වය නිසා මෙහි රූගත කිරීම් රැසක්ම කරන්න සිදුවෙලා තියෙන්නේ රාත්‍රි කාලයේදී. රූගත කිරීම් කළේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්දික මල්ලවාරච්චි. ඔහුගේ සහායට ශම්මි ගයානුත් ඉඳලා තියෙනවා.

ඉතිං සුජිතුත් උදාරිත් රූගත කිරීම්වල යෙදෙන විටදී සිඟිති දියණිය බලා ගන්න සිදු වෙලා තියන්නෙත් ඉන්දික සහ ශම්මිට. සමහර වෙලාවට බබා වඩාගෙනම ඉන්දික තමයි වීඩියෝකරණය කරලා තියෙන්නේ. චූටි දියණියත් නළවමින් වීඩියෝ කරන එක ඉන්දිකට අලුත් අත්දැකීමක් වෙන්න ඇති. කොහොම හරි මේ ලස්සන මියුසික් වීඩියෝව රූගත කරන්න දින තුනක් ගත වෙලා තියෙනවා. දැන් ඔබට එය ‘යූ ටියුබ්’ ඔස්සේ නැරැඹීමේ අවස්ථාව තියෙනවා.

උදාරිගේ ‘දෙනුවන් පියා’ ගීතයේ පද රචනය කරලා තියෙන්නේ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ. සංගීත නිර්මාණය භාතිය සන්තුෂ් විසින්.