වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




‘දූ දරුවෝ’ ගැන මට කනගාටුවක් නෑ

‘දූ දරුවෝ’ ගැන මට කනගාටුවක් නෑ

වේදිකාව හා සිනමාව අබිබවමින් වර්තමානයේ වඩාත් ජනතා ආකර්ෂණයට ලක් වූ කලා මාධ්‍ය, ටෙලි නාට්‍ය බැව් අවිවාදිතය. අද බොහෝ දෙනකු කර්මාන්තයක් සේ හැඳීන් වුව ද එදා ටෙලි නාට්‍ය සංස්කෘතිය ආරම්භ වූයේ ඇසි දිසි මාධ්‍යයේ ප්‍රබල කලාංගයක් ලෙසිනි.

දේශිය ටෙලි නාට්‍ය කලාව තෙවන දශකයට පා නගද්දී, එහි පුරෝගාමියකු ලෙස වර්තමානය තෙක් කටයුතු කරනා සුවිශේෂී පුද්ගලයකු අපට සිහිපත් වේ. හේ සෝමවීර සේනානායකයන්ය. ඔහුගේ රූපවාහිනී තිර රචනා කලාවට ද මේ වන විට තිස් වසරක් සපිරී තිබේ. .

අද (10) සවස 3.00 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ‘තිස් වසරක රුපවාහිනී ප්‍රසාද ප්‍රණාම උළෙල’ පැවැත්වෙන්නේ එකී කරුණු ද්විත්වය මුල් කර ගනිමිනි.

සෝමවීර සේනානායකයන් හා මේ සංවාදයට නිමිත්ත එයයි.

* ප්‍රශස්ත සිනමාපට කිහිපයකම තිරකතා රචකයා ලෙස කටයුතු කර ඒ ලැබූ අත්දැකීම් සමඟයි ඔබ රූපවාහිනී මාධ්‍යයට එළැඹුණේ. මේ සුවිශේෂ මොහොතේ ඒ යටගියාව සිහිපත් කළොත්?

ජාතික රූපවාහිනිය ආරම්භ වන්නේ 1982 වසරේ. ඒ ආරම්භයත් සමඟ රූපවාහිනී තාක්ෂණය පැත්තෙන් පුහුණුවක් දුන්නා ජපානයෙන්. නමුත් රූපවාහිනී තිර රචනය පැත්තෙන් කිසි කෙකෙªට කිසිම පුහුණුවක් ලැබිලා තිබුණේ නැහැ. ඒ කියන්නේ නිර්මාණශීලී කාර්යය පැත්තට. ඒ කාලේ රූපවාහිනී නාට්‍ය අංශයේ ප්‍රධානියා ධම්ම ජාගොඩ මහත්මයා. එතකොට වැඩ සටහන් බාරව හිටියේ එච්. එම්. ගුණසේකර මහත්මයා. මේ අය තමයි මුලින්ම මට ආරාධනා කළේ රූපවාහිනිය සඳහා තිර රචනා ලියමු කියලා. එහෙම ආරාධනා කරන්නත් විශේෂ හේතු කිහිපයක් තිබුණා.

* ඒ මොනවාද?

මම ඒ වෙනකොට චිත්‍රපට දහයක විතර තිර කතා රචනාකර තිබුණා. ඒ අත්දැකීමත් නවකතා, කෙටි කතා ආදිය ලියලා ඒවා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා අගැයීමට ලක්ව තිබීමත් තමයි ප්‍රධාන හේතු සාධක වුණේ. එතකොට මම ලේක්හවුස් ආයතනයේ සේවය කළේ. මේ අත්දැකීම් සියල්ල මිශ්‍ර කරගෙන මේ අලුත් මාධ්‍ය මා හඳුනා ගනියි කියලා විශ්වාසයක් ඒ අය අතර තිබුණා. ඒ අනුව 1982 වසරේ මම තිර නාටක ලිවීම ආරම්භ කළත් දොරට වැඩීම සිදු වන්නේ 1983 අවුරුද්දේ. ඒක එකාංගික ටෙලි නාට්‍යයක්. ‘ වෙසක් පහන’ කියලා. රූපවාහිනී ළමා අංශයට තමයි මම ඒක ලිව්වේ. ආචාර්ය සාලමන් ෆොන්සේකා තමයි අධ්‍යක්ෂණය කළේ.

* ඉන් පසු ඔබ මාලා නාටක රචනයට පිවිසෙනවා ‘පළිගු මැණිකේ’ ටෙලි නාට්‍යයත් සමඟින්?

ඔව්. ‘පළිගු මැණිකේ’ අධ්‍යක්ෂණය කළේ ධම්ම ජාගොඩ. ජපානයේ විශේෂඥයන් වෙතින් ඔහු ඒ වෙන කොට රූපවාහිනී මාධ්‍යයේ කාර්මික පැත්ත ගැන මූලික දැනුමක් ලබා තිබුණා. ඒ වගේම වේදිකාවේ වැඩ කරලා පරිචයක් ලබා තිබුණා. ඊළඟට එයා වේදිකා නාට්‍ය පිළිබඳ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂය මාලා සංවර්ධන අංශයේ උගන්වමින් හිටියා. මේ ඔක්කොම දැනුම එකතු කරගෙන තමයි අපි මේ කාර්යයට පිවිසියේ.

* වේදිකා නාට්‍ය කලාව පිළිබඳ ධම්ම ජාගොඩ සතුව තිබූ පරිචයත්, ඔබේ සාහිත්‍ය දැනුමත් ටෙලි නාට්‍ය නම් වූ නව්‍ය කලාංගය ගොඩ නැංවීමට හොඳ සුසංයෝගයක් වුණා?

ඔව්. මේ දෙපාර්ශවයේම එකතුවෙන්. කොයි තරම් මේක සමීප දෙයක් වුණා ද කිව්වොත් ටෙලි නාට්‍ය කියන වචනය නිර්මාණය වෙන්නෙත් ඒ හරහා. ධම්ම ජාගොඩ ටෙලි නාට්‍ය කියන වචනය හදන කොට මමත් එතැන හිටියා. මුලින් රූපවාහිනියේ විකාශය වූ මාලා ටෙලි නාට්‍යය තමයි ඩී. බී. නිහාල්සිංහගෙ දිමුතු මුතු. එය ටෙලි වෘත්තාන්තයක් ලෙස තමයි හැඳීන්වූවේ. එතකොට ටෙලි නාට්‍ය කියන වචනය හැදිලා තිබුණේ නැහැ. මුලින්ම ටෙලි නාට්‍ය කියන වචනය මිනිස්සු අතර ප්‍රචලිත වුණේ ‘ළා හිරු දහසක්’, ‘පළිඟු මැණිකේ’ කියන ටෙලි නාට්‍ය හරහා. ඒත් සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබුණේ නෑ මේ ටෙලි නාට්‍ය ගැන. රූගත කිරීම්වලට ගියාම ඒ අයට අවබෝධ කරලා දෙන්න වුණා ඒ ගැන. එහෙම තමයි ආරම්භය වුණේ.

* මේ මහ පොළොවේ පය ගසා ජීවත්වන චරිත තමයි ඔබේ නිර්මාණවල නිරන්තරයෙන් අපට හමුවන්නේ. අක්මුල් නැති ඔහේ පාවෙන චරිත අපට ඔබේ දායකත්වයෙන් යුත් ටෙලි නාට්‍යවල දකින්නට ලැබෙන්නේ නෑ. මේ පරිචය ඔබට ලැබෙන්නේ කොහොමද?

දැන් සිනමාව ආරම්භයේදි අපේ බවට පත්කර ගන්න වුණේ හුඟක් වෙලාවට දකුණු ඉන්දීය චරිත. ඒක ඉතිං ඒ කාලේ ඒ අය අතින් කෙරුණු විදිහ. මුල් කාලේ අපි රූපවාහිනියෙන් පෙන්නුවේ බටහිර ටෙලි චිත්‍රපට, වාර්තා වැඩ සටහන්. මොකද මෙහේ තිබුණේ නෑ නිෂ්පාදන. ඒ පාරේ ගියොත් ඒත් බිහි වෙන්නේ අපේ නළු, නිළියන් රඟපාන බටහිර චිත්‍රපට, නැතිනම් ටෙලි නාට්‍ය. එතකොට අපේකමක් නෑ. මට ඕනෑ වුණේ මේ අලුත් මාධ්‍යයට අපේ දහදිය සුවඳ, අපේ ගුණ සුවඳ එක් කරන්න. අපේ ගැමියෝ, අපේ ස්කෝල මහත්තුරු, වෙද මහත්තුරු, හමුදුරුවරු චරිත බවට පත්කරලා මේක අපේ කර ගන්න.

* එසේ ඔබ පුංචි තිරයට නිර්මාණය කළ චරිත බොහොමයක් අදටත් ප්‍රේක්ෂකයන් අතර ජීවමානයි. උදාහරණයක් විදිහට ගත්තොත් ‘පළි¼ගු මැණිකේ’ ටෙලි නාට්‍යයේ චරිත පමණක් වුණත් සෑහෙනවා ඒ මතය සනාථ කරන්න?

‘පළිගු මැණිකේ’ ටෙලි නාට්‍යයේ මැණික්හාමි ගුරුන්නාන්සේ, පණ්ඩිත හාමුදුරුවෝ එබඳු චරිත. එතකොට පළිගු මැණිකේ. මෙන්න මේ විදිහේ අපේ මිනිස්සු තමයි මම විෂයය කරගන්න උත්සාහ කළේ. අපේ කර ගන්න. නැතිනම් මේක අයාලේ යන්න තිබුණා. එහෙම නැතිනම් විදේශවලින් ආනයනය කරන චරිතවලින් මේක පිරෙන්න තිබුණා. මේ තත්ත්වයන් හොඳට අවබෝධ කර ගත්තා ධම්ම ජාගොඩත්. අපි ඒ නිසා විශේෂ පරිශ්‍රමයකින් නිිර්මාණයකට චරිත ඇතුළත් කළේ. දැන් ඔය මැණික්හාමි ගුරුන්නාන්සේලා, සූරසේනලා වෙන කොහේවත් නෙවෙයි, අපේ ඇහැ ගැහෙන මානයේ හිටපු අය.

* ඔබ ඔවුන් ආලින්දයට කැඳවන් ආවා?

ආලින්දයට කැන්දං ආවා. කොළඹ ආශ්‍රිත ජන ජීවිතයත් එක්ක අපි උප නාගරික සංස්කෘතිය අත්විඳීමින් සිටියේ ඒ වෙනකොට. ඒක තමයි ‘යශෝරාවය’ට ඇතුල් වුණේ. මං දැනුත් දකිනවා ‘බලදේව’ පරමාදර්ශයට ගෙන ජීවත්වෙන චරිත. එතකොට ‘සූරසේන’ වගේ ඇඳලා වෙළෙද දැන්වීමවලට පෙනී සිටින අය. අපේ ශ්‍රියන්ත මෙන්ඩිස් පවා. යන්තම් පොඩි චරිතයක් දැක්කාම මම ඒක වඩාත් විස්තාරණය කර ගැනීමට උත්සාහ කළා. ඒකට ඕනෑ අමුද්‍රව්‍ය අවට සමාජයේ තිබුණා.

* ඔබේ ටෙලි නාට්‍ය රචනා කලාව දෙස බලද්දී අපට පේන්නේ ගැමි වහරින් ඔපවත් වූ සානුකම්පිත උපහාසය මුසු වූ රීතියක්. අපේ ජාතක කතාවලින් විටෙක ඔබ අනුප්‍රාණය ලබනවා. එවැනි ශික්ෂණයක් තුළ තමයි ඔබ මේ චරිත පෙළ ගස්වන්නේ. මෙන්න මේක මම හිතන්නේ ඔබේ නිිර්මාණ දිවියේ සුවිශේෂී ගුණාංගයක්?

ඔව්. එහෙම කියනවා අනෙක් අයත්. මම ඒක ඕනැකමික් කළා ඇත්තටම. මට හිතෙනවා ඇතැම් ටෙලි නාට්‍යයකට අපේ පණිවිඩය, අදහස, සංකල්පය ගෙන යන්න විශේෂයෙන්ම උත්ප්‍රාසය වගේ දෙයක් උපයෝගී වෙනවා කියල. මට ඒකට හුරුව ලැබුණේ අපේ පැරැණි සාහිත්‍ය සහ බටහිර සාහිත්‍ය ඇසුරෙන්. සද්ධර්ම රත්නාවලිය, උම්මග්ග ජාතකය වැනි විශිෂ්ට සාහිත්‍ය කෘතිවලින් ලත් ආභාසය මගේ නිර්මාණවල තිබෙනවා. මම ඒවා මේ නව මාධ්‍යයට මිශ්‍ර කළා.

* දැන් ඇත්ත වශයෙන්ම ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, ඔබ වැනි පුරෝගාමී ශිල්පීන් මේ ටෙලි නාට්‍ය කියන මාධ්‍යය පටන් ගන්නේ කලාවක් විදිහට. නමුත් අද වෙන කොට ‘ටෙලි නාට්‍ය කලාව’ කියන පූර්වෝක්ත සංකල්පය ඊට වලංගුද?

ඒක නම් ඇත්තටම බරපතළ ප්‍රශ්නයක් තමයි. මොකද ටෙලි නාට්‍ය පටන් ගන්නේම හොඳ තලයක. සාමාන්‍යයෙන් අලුත් කලාංගයක් ආරම්භ කරන කොට ටිකක් පහළ ඉඳන් ඉහළටනේ යන්න වෙන්නේ. දැන් නවකතාව වුණත් නිකං ප්‍රබන්ධ කතාවලින් පටන් ගෙන, ටික ටික ඇවිදින් ඉහළට නගින්නේ. වේදිකා නාට්‍යයත් එහෙමයි. මිනර්වා නාට්‍යය ඇවිදින්, ටීටර් ඇවිදින් ඔහොමනේ. නමුත් අපේ ටෙලි නාට්‍ය ආරම්භයේදීම ඉහළ මට්ටමක තිබුණා.

* ඒ සඳහා හේතු සාධක වුණේ?

එදා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ රූපවාහිනිය නැතිනම් පිළිගත් ආයතන, සමාගම්, සංස්ථා මඟින්. ඒ අයටත් තිබුණා රැකගන්න නමක් සහ ව්‍යාප්ත කර ගන්න නමක්. අධ්‍යක්ෂණය සඳහා පිවිසුණෙත් විවිධ ක්ෂේත්‍රවල පළපුරුද්ද තිබූ අය. එක්කෝ වේදිකාව නැතිනම් සිනමාව වැනි ක්ෂේත්‍ර. එතකොට රචනයටත් පිවිසුණේ වෙන, වෙනත් සාහිත්‍ය කටයුතුවල නිරත වූ උදවිය. ඒ වගේම ටෙලි නාට්‍ය කලාව ආරම්භ වන යුගයේ ඉතාම හොඳ රසඥතාවයකින් යුත් ප්‍රේක්ෂක පිරිසක් අපට හිටියා. ඒ ප්‍රේක්ෂක පිරිස හරි නැවුම්. ඒ නිසා ඒ අය ඉදිරියට නිර්මාණයක් ගෙන යන්න බයක්, චකිතයක් වෙන්න ඕනෑ වුණේ නෑ.

* විශේෂයෙන්ම ආරම්භක යුගයේ දී ජාතික රූපවාහිනියෙන් පමණයි ටෙලි නාට්‍ය විකාශය වුණේ?

ඔව්. ස්වාධීන රූපවාහිනිය ඒ කාර්යයට පිවිසුණේ තරමක් ප්‍රමාද වෙලා. ඉතින් ජාතික නාළිකාව පමණයි. ප්‍රේක්ෂකයෝ අනිවාර්යයෙන්ම එය බලනවා. ඒ සඳහා ගෙදර අය පමණක් නොවේ, වටපිටාවේ අයත් ප්‍රේක්ෂකයෝ වෙනවා ඒ මොහොතට. අනෙක් එක සතියකට එකයි නැතිනම් දෙකයි ටෙලි නාට්‍ය තිබුණේ. පැය භාගෙ ඒවා දෙකයි මුළු සතියටම තිබුණේ. නමුත් අද දවස් හතේම ටෙලි නාට්‍ය. හැම නාළිකාවකම ටෙලි නාට්‍ය. දැන් පේ‍්‍රක්ෂකයා විසිරිලා ගිහින්.

* ඇත්තටම හොඳ තිර පිටපතක් නොමැතිව හොඳ ටෙලි නාට්‍යයක් හදන්න බැරිද?

බැහැ. චිත්‍රපටයක්වත්, ටෙලි නාට්‍යයක්වත් නිර්මාණය කරන්න බැහැ. චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් මුලින් රඟ දැක්වෙන්නේ තිර කතා රචකයාගේ මනසේ. තිර රචනයක් ලියන්නේ නිර්මාණයක හත් අට දෙනකුගේ ප්‍රයෝජනය උදෙසා. මොකද ඇත්තටම තිර රචනයක් ලියන්නේ පාඨකයකුට නෙවෙයි. කැමරාව සඳහායි ලියන්නේ.

* අර ඔබ මුලින් සඳහන් කළ ‘හත් අට දෙනා’ කවුද?

තිර පිටපත දැකීමෙන් තමයි නිෂ්පාදකයා අවබෝධ කර ගන්නේ තමන් කුමක්ද නිෂ්පාදනය කරන්න යන්නේ කියලා. අධ්‍යක්ෂවරයා දකින්නේ අධ්‍යක්ෂණය කරන්නේ මොකක්ද කියලා. ඒ වගේම කැමරා ශිල්පියා පූර්ව දැනුම ලබා ගන්නේ තමන්ගේ කාර්යය පිළිබඳ. නළු නිළියන් කළ යුත්ත, කිවයුත්ත කුමක්ද කියා දැනගන්නේ තිර රචනයෙන්. ඒ කියන්නේ ඇක්ෂන් එකයි, ඩයලොග් එකයි, වේශ නිරූපණ ශිල්පියා තමන්ගේ කාර්යය අවබෝධ කර ගන්නේත්, කලා අධ්‍යක්ෂවරයා පසුතල නිර්මාණය කරන්නේ හා රංග භාණ්ඩ සැපයිය යුත්තේ කෙසේ ද කියලා අවබෝධ කර ගන්නේත් පිටපත කියවලා. අනෙක චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් අනු පිළිවෙළින් කැමරාගත කරන්නේ නැහැනේ. ඒක අපි දර්ශන ඉසව්වලට කඩාගෙන කිසියම් සැලැස්මකට යන්නේ. සමහර විට එක දර්ශන තලයක දර්ශන සියල්ල එකවිට රූගත කරනවා. අවසානයේ මේ සියලු දර්ශන අනු පිළිවෙළින් නිර්මාණයට මුසු කරන්න සංස්කරණ ශිල්පියා කටයුතු කරන්නේ මේ තිර රචනය බලමින්.

* එතකොට මෙ සියල්ල රැඳී තිබෙන්නේ තිර නාටකය මත?

ඔව්. හරියටම නිවසක නම් අත්තිවාරම වගේ. ඉතින් මේ සියලු කාරණා සලකා බලනකොට කොහොමද හොඳ තිර නාටකයක් නොමැතිව හොඳ ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් හදන්නේ.

* හැබැයි හොඳ තිර නාටකයක් තිබිලත් අසාර්ථක වූ නිර්මාණ තියෙනවා.?

ඔව්. තියෙනවා.

* වරද කාගේද?

මූලික වශයෙන් වගකිව යුත්තේ අධ්‍යක්ෂවරයා. මොකද අර කණ්ඩායමේ ප්‍රධානියා අධ්‍යක්ෂවරයා නිසා. ඒ සියලු දෙනාම මෙහෙයවන්නේ අධ්‍යක්ෂනේ. ඉතින් ඔහු අතින් ඒ සියලු කටයුතු නිසි අයුරින් සිදු වී නැත්නම් ඇතැම් විටෙක නිර්මාණය දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදකවරයා අවශ්‍ය පිරිවැය සම්පාදනය කරලා නැතිනම් ඒත් අසාර්ථක වෙන්න පුළුවන්. ඇතැම් විට වෙනත් නොවැළැක්විය හැකි හේතූන් මත නිර්මාණයක් දුර්වල වෙන්න පුළුවන්.

* නළු, නිළියන්ගේ දුර්වල රංගනය නිසා වුණත්?

ඒක හරි. නමුත් සියලු වගකීම පැටවෙන්නේ අධ්‍යක්ෂවරයාගේ දෙවුර මත. මොකද තිර රචකයා ලියන්නේ සාහිත්‍ය තිර රචනය පමණයි. ඒක කාර්මික තිර රචනයක් නෙවෙයි. කැමරා කෝණය, රූප රාමුව නම් කරලා, මොන ෂොට් එකේ ද තියන්න ඕනෑ කියලා ඒ අදාළ තිර රචනය සකස් කරන්නේ අධ්‍යක්ෂවරයා

* ඒක වෙනම කාර්යයක්?

වෙනම කාර්යයක්. අපි ඒ කාර්යයන් නොකරන්නේ එය කර ගැනීමට අධ්‍යක්ෂවරයාට අවස්ථාව සලසා දිය යුතුª නිසා. නමුත් තිර රචනය තමයි ප්‍රධාන. ඒකයි සත්‍යජිත් රායි වාගේ සිනමාකරුවෙක් කිව්වේ සම්පූර්ණ තිර රචනය ලියා ඉවර වුණා කියන්නේ චිත්‍රපටයේ වැඩ සියයට හැටකින් විතර ඉවරයි කියලා.

* වර්තමානය වන විට ‘මෙගා’ ටෙලි නාට්‍ය රැල්ල බොහෝ චෝදනාවන්ට ලක්ව තිබෙනවා. ඒත් ‘දූ දරුවෝ’ තමයි ලංකාවේ මුල්ම මෙගා ටෙලි නාට්‍ය හැටියට හඳුන්වන්නේ. එහි තිර නාටකය ලිවේවෙත් ඔබ. එතකොට මේ චෝදනා ඔබටත් අදාළයි නේද?

නෑ. ‘මෙගා’ වචනය ආවේ ඊට පස්සේ. ‘මෙගා’කියන එක එකක්. දීර්ඝ ටෙලි නාට්‍ය කියන එක තව එකක්. මෙගා කියන එක හරි නම් යෙදෙන්න ඕනෑ ඔය අර්ථයෙන් නෙවෙයි. දැවැන්ත කියන අර්ථයයි මෙගා කියෙන්නේ. ඔය දැන් තියෙන ඒව මෙගා වෙලා තියෙන්නේ දිග වැඩි වෙලා. නමුත් දැවැන්ත නෑ ඒවා. ඉතාමත් අඩු වියදම් සහිත සරල නිෂ්පාදන. මම එක එක තිර රචනා කලාවක් හඳුන්වා දුන්නා. ‘අසල්වැසියෝ’ වගේ හාස්‍යෝත්පාදක නාට්‍යය. ඔය වගේ නොයෙකුත් අත්හදා බැලීම් කළා. ඇත්තටම නාට්‍යයක කොටස් ප්‍රමාණය බලපාන්නේ නෑ ජනප්‍රියත්වය සහ පැවැත්මට. එහි තිබෙන අන්තර්ගතය හා චරිත තමයි තීරණාත්මක සාධක වෙන්නේ.

* ඔබේ නිර්මාණවලින්ම නිදසුන් ගෙනහැර දක්වන්න පුළුවන්?

මම තිර රචනා කළ අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘ගිරය’ කොටස් දාහතරයි. අදත් ඒක ගැන කතා කරනවා. ‘පළි¼ගු මැණිකේ’ කොටස් දාසයයි. නමුත් ඒ වෙන කොට ලෝකයේ අලුත් ප්‍රවණතාවයක් තිබුණා මේ කොටස් ගණන වැඩි ටෙලි නාට්‍ය බිහි වෙන. දැන් ඕස්ට්‍රේලියාවේ ‘හයිහෝට්’ කොටස් විශාල සංඛ්‍යාවක්. එංගලන්තයේ ‘කොරනේෂන් ස්ට්‍රීට්’. ඒ වගේම ජපානෙන් ආවා ඔෂින්. මේවා ඔක්කොම දීර්ඝ ටෙලි නාට්‍යය. ඉතින් මෙවැනි නාට්‍ය විශේෂයක් හඳුන්වා දීමට තමයි ‘දූ දරුවෝ’ ලිව්වේ. මමවත් ඊට පස්සේ ඒ දිග ඒවා ලිව්වේ නෑ. ඉතින් අනෙක් අය ඒකෙ එල්ලිලා හිටියට මම මොනවා කරන්නද? මම ඒක ආරම්භ කළේ දිගටම, හැමදාම ඒකම කරන්න නෙවේ.

* ‘දූ දරුවෝ’ වගේ ටෙලි නාට්‍යයක් ලිවීම පිළිබඳ අද ඔබ කනගාටු වෙනවාද?

නෑ. මම ඒ ගැන කනගාටු වෙන්නේ නෑ. මගේ අරමුණ වුණේ මෙහෙම ටෙලි නාට්‍ය කලාවක් ලෝකේ තියෙනවා කියා පෙන්වා දීම. ‘දූ දරුවෝ’ ලියන කාලේ අද වගේ ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකින් හැම නාළිකාවක්ම, හැම බෙල්ට් එකම පිරිලා තිබුණේ නෑ. ඕක ජාතික රුපවාහිනියේ විකාශය වුණේ. ඒකට සාකච්ඡා කරලා තෝර ගත් වෙලාව තමයි ඉරිදා රාත්‍රී 8.30. ඒ කාලේ කවදාවත් ඉරිදාට ටෙලි නාට්‍යයක් පෙන්නුවේ නෑ. ඉතින් කාටවත් බාධාවක් නොවෙන්න තමයි එදා දවස ගත්තේ. අද ඉතින් හැමදාම පිරිලානේ. ඒ නිසා එවැනි නාට්‍යයක් හඳුන්වාදීම ගැන කනගාටු වෙන්නේ නෑ. අනෙක් අය ඒකෙ එල්ලිලා ඉන්න එකයි කනගාටුව.

* තිර රචකයකු ලෙස ඔබේ දායකත්වය ලද සියලුම නිර්මාණ පිළිබඳ ඔබ තෘප්තිිමත්ද?

ඕනෑම කෙනෙකුගේ හැම නිර්මාණයක්ම සාර්ථක වෙන්නේ නෑ. මොන යම් හේතුවක් මත හෝ එහෙම වෙන්න පුළුවන්. දැන් ඕනෑම ලේඛකයකුගේ හැම කෘතියක්ම සාර්ථක නෑ. නාට්‍යවේදීන්, සිනමාකරුවන්, සංගීතඥයන් වුණත් එහෙමයි. නමුත් සමාජය පොදුවේ කතා කරන්නේ අර හොඳ නිර්මාණ ගැනයි. සමස්තයක් හැටියට ගත්තම මම තෘප්තිමත් වෙනවා. හැම වෙලේම මමත් උත්සාහ කළේ ඒ චරිත තුළින් සමාජයට යම් පණිවිඩයක් දෙන්න. දූදරු මවුපිය සම්බන්ධය ගැනයි මම ‘දූ දරුවෝ’ තුළින් කතා කළේ. එතකොට පළි¼ගු මැණිකේ ටෙලි නාට්‍යයෙන් මම කතා කළේ සමාජ විපර්යාසය. ඒ වගේ හැම චරිතයක් හරහාම මම සමාජයට යම් ආදර්ශයක්, පණිවිඩයක් දුන්නා.