වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුසීමා ගී අලෙවිය විකිණීම නතර කරනු

සුසීමා ගී අලෙවිය විකිණීම නතර කරනු

රොහාන් වැලිවිට

‘සුසීමා’ ටෙලි නාට්‍යයේ පිටපත් රචක සහ අධ්‍යක්ෂක

පසුගිය දින කීපය තුළ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය විසින් ක්ලැරන්ස් ගේ ගීතවල අයිතිය පිළිිබඳව මාධ්‍ය තුළින් කරුණු ඉදිරිපත් කර තිබෙනු මා දුටුවේය.

1987 මා විසින් අධ්‍යක්ෂණය කළ ‘සුසීමා’ ටෙලි නාට්‍යයට සංගීතය සැපයීමට මම ක්ලැරන්ස්ට ආරාධනා කළෙමි. මට මතක විදියට ඒ වනවිට ක්ලැරන්ස් වසර 8 පමණ කාලයක් ගීතයක් නිර්මාණය කර තිබුණේ නැත. 80 දශකයේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයක් බටට පත්වුණේ ජනක රත්නායකගේ චිත්‍ර කථාවයි.

 එම චිත්‍ර කතාව ටෙලි නාට්‍යයක් ලෙස රචනා කරන ලද්දේ මා විසිනුයි. එසේම මෙම ටෙලි නාට්‍යයට ගීත නිර්මාණ කළේ පිටපතට අනුවයි. ක්ලැරන්ස් විසින් ලියන ලද ගීත සියල්ලම මට අවශ්‍ය කළ වචනයි. එසේ නොමැතිව එම පද ඔහු විසින් පෙර රචනා කොට තීන්දු ගත් පද නොවේ.

තවද මෙම ටෙලි නාට්‍යයේ නාමාවලිය අඩංගු ගීතය වන ‘දේවතාවන්’ ගීතයේ 50% පද රචනය ජැක්සන් ඇන්තනීගේය. ක්ලැරන්ස් රචනා කළ ‘දේවතාවන්’ ගීතය පටිගත කිරීමේ මැදිරියේදී මාගේ අවසරය මත ජැක්සන් විසින් රචනා කරන ලදී.

ඒ පිළිබඳව මෙම ගීත පටිගත කළ ‘සව්සිරිපාය’ ශබ්දාගාරයේ එවකට පටිගත කිරීම් ශිල්පී ලෙස කටයුතු කළ ක්‍රිස්ටි පෙරේරා මහතා සාක්ෂි දරුණු ඇත. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ජැක්සන් ගායනා කරන ‘රෑ තාරකාවෝ’ ගීතය මා විසින් ලොව ප්‍රකට ‘රෙගේ’ ගීතවල ආයාසයෙන් ක්ලැරන්ස් ලවා සාදාගත් ගීතයකි. මෙම ගීතයේ සංගීත නිර්මාණයට ජෝර්ජ් සේනානායක ද දායක වුණි.

මෙම ටෙලි නාට්‍යයේ අඩංගු ගීත හය ක්ලැරන්ස්ගේ හැරුණු විට ගායනා කරන ලද්දේ මා විසින් ටෙලි නාට්‍යය සඳහා තෝරාගත් ජැක්සන් ඇන්තනී, මැණික් කුරුකුලසූරිය සහ ජෝර්ජ් සේනානායක විසිනි. ඔවුන් තිදෙනා ඒ වකවානුව වන විට ගායන ක්ෂේත්‍රයට පිවිස සිටියේ නැත. මෙම ගීත ඔවුන් විසින් ගායනා කළ යුතු බව තීරණය කොට ක්ලැරන්ස්ට දන්වා සිටියේ මා විසිනි. එසේ නොමැතිව මොවුන් ගායකයන් ලෙස තෝරා ගන්නා ලද්දේ ක්ලැරන්ස් විසින් නොවේ.

මෙම ටෙලි නාට්‍යයේ අඩංගු මැණික් කුරුකුලසූරිය විසින් ගායනා කරන ‘තටු සලා යන්නෙමි’ ගීත 05 මාගේ අනුදැනීමකින් තොරව ක්ලැරන්ස් විසින් ධම්මිකා වල්පොල ලවා ගායනා කරවන ලදී. ධම්මිකා විසින් ගායනා කරන ලද ගීතය ටෙලි නාට්‍යයට භාවිත නොකිරීමටත් එම ගීතය ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මැණික් කුරුකුලසූරිය ලවා ගායනා කිරීමටත් තීරණය කරන ලද්දේ මා විසිනි.

මෙම ගීත සඳහා වාදනයෙන් සහාය වූ සියලුම වාදක ශිල්පීන්ට සව්සිරිපාය ශබ්ද පටිගත කිරීමේ මැදිරියට ගෙවීම් කරන ලද්දේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයයේ නිෂ්පාදක ඒ. එස්. පී. ලියනගේ මහතා විසිනි. විශේෂයෙන්ම කිව යුත්තේ ක්ලැරන්ස් මෙම ටෙලි නාට්‍යයේ ගීත සඳහා පමණක් සංගීතය සැපයූ බවයි. පසුබිම් සංගීතය නිර්මාණය කරන ලද්දේ රංජිත් පීරිස් සහ ජෝර්ජ් සේනානායක විසිනි.

ඔවුන් දෙදෙනාගේ නම් මා ටෙලි නාට්‍යයේ නාමාවලියට ඇතුළත් නොකළේ කැලැරන්ස් විජේවර්ධන නමැති ශ්‍රේෂ්ඨ සංගීතවේදියාට කරන ගෞරවයක් ලෙසය. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත විශාල මුදලකට ශීලා විජේවර්ධන විසින් නොයෙකුත් ආයතනවලට සහ පුද්ගලයන්ට අලෙවි කර තිබේ. ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත මාගේ බුද්ධිය භාවිත කරමින් නිෂ්පාදන ඒ. එස්. පී. ලියනගේ මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් ක්ලැරන්ස් විජේවර්ධන ලවා නිපද වූ ගීතය. එම ගීතවල අයිතිය ශීලා විජේවර්ධනට අයිතිය කියා ඒවා විකුණා අයථා ලෙස මුදල් ඉපැයීමට ශීලා විජේවර්ධනට කිසිිම අයිතියක් නැත.

මෙසේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීත අලෙවි කිරීම වහාම නතර කළ යුතු අතර මෙතෙක් එම ගීතවලින් උපයන ලද මුදල මෙරට කලාකරුවන්ගේ සුභසිද්ධිය සඳහා භාවිත කිරීමට ජනාධිපති අරමුදලට ලබා දිය යුතුª බවත් මම මෙයින් දන්වා සිටිමි.

එසේම මෙම ගීත මුදල් ගෙවා ගායනය කිරීමට අවසරය ලබාගත් අය සිටී නම් මා වෙත දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිමි. එසේම ක්ලැරන්ස් විජේවර්ධන නැමැති ශ්‍රේෂ්ඨ සංගීතවේදියා මෙරට බිහි නොවූයේ නම් දේශීය සංගීතය තවමත් ඉන්දීය ආභාසය ලබන බව නොරහසකි. එවන් උතුම් පුද්ගලයකුගේ නිර්මාණ අනාගත පරපුරට රස විඳීමට සහ පරිහරණය කිරීමට ඉඩ නොදීම මහ දවල් අමු අමුවේ අනුන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ල කෑමකි.

මෙම ලිපිය මා මාධ්‍යය වෙත ඉදිරිපත් කරන්නේ ‘සුසීමා’ ටෙලි නාට්‍යයේ ගීතවල අයිතිය ලබාගෙන මුදල් උපයීමට නොව ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිළිබඳව කටයුතු කරන බලධාරීන්ගේ සහ කලාවට ලැදි ජනතාවගේ දැනගැනීම සඳහා පමණි.

අනිල් භාරතී, ඇනස්ලි මාලේවන, ලාංකිකා පෙරේරා, ඉන්ද්‍රාණි පෙරේරා, මරියසෙල් ගුණතිලක වැනි ශ්‍රේෂ්ඨ ගායක ගායිකාවන්ට සිදු වී තිබෙන අසාධාරණය දකින විට ශ්‍රීී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය වෙනස් විය යුතු වේ යයි මා සිතමි.