වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




යුද වදින මහ රජුට සංඝරාජ හිමියන්ගෙන් අනතුරු හැඟවීමක් 02

යුද වදින මහ රජුට සංඝරාජ හිමියන්ගෙන් අනතුරු හැඟවීමක් 02

ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය

විජයබාහු රජය යුදයට වන්නේය. ඒ හා සමඟ දුනු හී තෝමර ආදි අවි දරමින් ද ඇත්, අස්,රිය හා පාබල යන චතුරාංගනී සේනාව ද යුදයට වන්හ. යුදය ආක්‍රමණිකයාට එරෙහිවය. මේ යුද්ධය දිනන්නේ නැත්නම් අනාගත පරම්පරාව තමන්ට සාප කරනු ඇතිය යන්න සිංහලයන්ගේ නිගමනය විය.එබැවින් නිසි නායකත්වය ලැබුණු කල සිංහලයෝ යුදට වන්හ. සාමාන්‍යයෙන් සාමකාමී ජාතියක් වුව ද සිංහලයන් යනු සංග්‍රාම භූමියේ දී ඉතා රණකාමි පිරිසක් බැව් අතීත ආක්‍රමණිකයෝ දැන සිටියහ.කාලිංග මාඝ ද මේ විසි දෙවසර ඇතුළත එය හොඳින් වටහා ගෙන උන්නේය. කවර ආකාරයෙන් තාන්න මාන්න හෝ පඬුරු පාක්කුඩම් දී සැනහුවද සිංහලයන් නිසි කල්හි තමන්ගේ එකාට අදින වග ද කාලිංග මාඝ දන්නේය. එහෙත් ඔහු යුද්ධය ආරම්භ කරන ලද්දේ අලුතින් නැඟී එන විජයබාහු මේතරම් ඉක්මනින් තමන් හා යළි යුද වදිනු ඇතැයි නොසිතමිනි.එබැවින් මාඝගේ අරමුණ වූයේ ඉතා ඉක්මනින් විජයබා සමඟ යුද වැද ඔහු පරාජය කිරීමය. එහෙත් තම තක්සේරුව වැරැදි යැයි මාඝට වැටහිණ. විජයබා යනු එසේ මෙසේ කෙනෙක් නොවේ.ඔහු සංග්‍රාම සූරයෙකි.

මෙවර යුද්ධයට යන්නට මත්තෙන් සංඝරාජ මාහිමිපාණන් මාළිගයට වැඩම කළේ විජයබාගේ ආරාධනයෙන් තොරවය.අන්තපුර බිසෝවරුන් හමුවී ඔවුන්ගෙන් සමුගෙන එන මහ රජු හමුවීමට සංඝරාජ හිමිපාණෝ ඉදිරියට වැඩම කළහ.රජතුමා සංඝරජ හිමිපාණන් හමුවේ දණ නැමුවේය.

'මං ඔබ වහන්සේ බැහැ දකින්න රජ මහා විහාරයට පැමිණෙන්නයි අදහස් කළේ.හාමුදුරුවනේ.මා දැන් යුද්ධය සඳහා පිටත් වන්නට අදහස් කරන නිසා මෙය කලබලකාරී මොහොතක් අපේ හාමුදුරුවනේ'

රජතුමා පැවසුවේ තරමක් පසුබසිමිනි. සංඝරාජ හිමිපාණන් යනු වඩාත්ම බලසම්පන්න හිමිපාණන් කෙනෙකු බැව් විජයබා දැන උන්නේය.එමෙන්ම හිමිපාණන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ද රජතුමන් කෙරෙහි තිබිණ.මාඝගේ කුරිරුකම්වලට එරෙහිව බොහෝ භික්ෂුන් සිවුරු හැර පලා ගිය අතර සමහරු කැලෑ වැදුණහ. සංඝරාජ මාහිමිපාණන් විජයබා රජු කුමරු නැඟී එන අවදියේ පටන්ම රට ජාතිය ගලවා ගැන්මට බිහිවූ මේ නායකයා පිළිබඳ අප්‍රමාණ විශ්වාසයෙන් යුතුව කල් යැව්වේය.එහෙත් නිතර රජ මාළිගාවට වැදී අර්ථයෙන් ධර්මයෙන් රජුට ඔවදන් දෙනවාට වඩා උන් වහන්සේ වැඩ කටයුතු කළේ රටේ පාලනය රජුට කරන්නට ඉඩ හැර සාසනයේ අභිවෘද්ධිය වෙනුවෙනි.තමා පාමුළදණ ගැසු රජුට ආශිර්වාද කළ සංඝරාජ හිමිපාණන් රජු නැඟිට්ට පසු කතාව ඇරඹුවේය.

"යුද්ධයෙන් තොජ ජය ගනු ඇත"

රජුට තම ආත්ම විශ්වාසය වැඩි කරන්නට එය ප්‍රමාණවත් විය.

'එය සැබෑවක් ද ස්වාමිනී'යැයි රජතුමන් යළි අසා සිටියේ වඩාත් ස්ථීර කර එය දැන ගන්නටය.

'නක්ෂත්‍රානුකූලව මෙම සටනින් තොපට ජය නියතයි"

සංඝරාජ මාහිමියන් ගේ වචනය ස්ථිරය. උන් වහන්සේ නක්ෂත්‍රයෙහි ද කෙළ පැමිණි බැව් රජු හොඳීන් අසා තිබිණ.එබැවින් විජයබා සතුටින් ඉපිළ ගියේය. තම සේනාවේ දිරිය වඩන්නට මේ වදන් පෙළ බලවත් ඖෂධයක් වනු නියත බැව් ඔහුට වැටහිණ.සංඝරාජ හිමිපාණන් යළි කතාව ඇරඹුවේය.

'නමුත්"

උන් වහන්සේ කතාව නතර කළේය.රජු තරමක් තැති ගත්තේය.

'හාමුදුරුවනේ?"

සංඝරාජ හිමිපාණන් රහසක් කියන්නට සේ සැරසිණ. හතර අත සෙනෙවි වරුන්ය.උන් වහන්සේ රජුගේ කනට කොඳුරා එහෙත් තරමක් සැරෙන් කතා කළේය.

"සෙනෙවියන් මඳක් ඉවත් වන්නේ නම් හොඳයි"

රජුගේ සංඥාවෙන් සෙනෙවි වරු ඉවත්ව ගියහ.එහෙත් හිමිපාණන් කතා කළේ වඩා හඬ නොනැගෙන්නටය.මේ කතාබහ වෙනත් කිසිවකු ගේ හෝ කනට නොයෑම මැනවැයි උන් වහන්සේට සිතිණ.

'මාලිගය ඇතුළේ අසුබ නිමිත්තක් ද පෙන්නුම් කරනවා රජතුමනි"

විජයබාවන් තැති ගත්ත ද එය පිටතට නොපෙන්වා සිටින්නට තරම් සමත් වූයේය.

'මතු යම් දිනක තොපගේ ඇවෑමෙන් කිරුළ හිමි විය යුත්තේ කාටදැයි නිවැරැදිව තීරණය කළ යුතුයි"

සංඝරාජ හිමිපාණන් කෙළින්ම මහ රජුගේ මුහුණ දෙස බැලුවේය.

'මා එය තිරණය කර හමාරයි හාමුදුරුවනේ"

විජයබා රජු පැවසුවේය.

'තොප එය තිරණය කර ඇත්තේ නිවැරැදිව නොවේ"

සංඝරාජ හිමිපාණන් හැර කිසිවකු හො එලෙස තමන්ට විරුද්ධ මතයක් දරන්නේ නැත.සිතින් සිතුවද එසේ කියන්නට හිතන්නේ ද නැත.රජු මොහොතක් කල්පනා කළේය.

"හාමුදුරුවනේ?"

සංඝරාජ හිමිපාණන් වහෙන් ඔරෝ නොකියා කෙළින්ම කියා පෑවේය.

"තොප තීරණය කර ඇත්තේ යෝනක බිසවගේ පුත් වත්හිමි කුමාරයාට ඊළඟ රජ කම දීමටයි."

මාලිගාවේ රහස් රටට යන ඉක්මන යැයි රජුට නිකමට සිතිණ. එහෙත් රහස දැන ගත්තේ කෙලෙස දැයි අසන්නට රජුට සිත් නොදුන්නාසේය.එසේ ඇසූ කළ කතාව ඇත්ත දැයි හිමි නම අසනු ඇත.

'මා එසේ බිසවට පොරොන්දු වූවා හාමුදුරුවනේ"

විජයබා ඇත්තම කියා පෑවේය.රාගය නම් අන් සමාන ගින්නක් නැතැයි බුදු රජුන් දේශනා කළ අයුරු සංඝරාජ හිමිපාණන්ට සිහි විය. මේ රජතුමන් යුද්ධයෙන් රට ජය ගත්ත ද මේ සුරූපි බිසවගේ රාග ගින්නට හසුව ඇත්තේය.එහෙත් එහි ප්‍රතිඵලය රටට අහිතකරය.මාඝගෙන් ගලවා ගන්නා රට වැටෙන්නට යන විපත සංඝරාජ හිමිපාණන්ට වැටහිණ. බෞද්ධ භික්ෂුවකගේ කාර්ය භාරය කවරේ දැයි සංඝරාජ හිමිපාණන් දැන සිටියේය.

"ඊළඟ කිරුළ හිමි විය යුත්තේ තොපගේ පළමු බිසවගේ පුත් පරාක්‍රමබාහු කුමාරයාටයි. වත්හිමි කුමාරයා සිංහල බෞද්ධ ලෙයින් සැදුණ කුමාරයෙක් නොවෙයි"

සංඝරාජ හිමිපාණන්ගේ බස තියුණුය. මේ මොහොතේ උන් වහන්සේගේ කෝපය අවුළුවාලීම කිසිසේත්ම සුදුසු නැති වග රජුට වැටහිණ.කරන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව රජු මොහොතක් අන්දමන්ද ව ගල් ගැසි බලා උන්නේය.මේ භයානක සංග්‍රාමයට යන රජුගේ සිත තව දුරටත් වෙහෙස නොකළ යුතුයැයි හිමිපාණන් කල්පනා කළේය.

එබැවින් එවර හිමිපාණන් වඩා කාරුණික වන්නට සැරසුනේය.

'දළදා සමිදුන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා"

සංඝරාජ හිමිපාණන් කියා සිටියේය. විජයබා රජතුමන් යළි සංඝරාජ හිමිපාණන්ගේ දෙපා වැන්දේය.

රජු යුද්ධයට පිටත්ව ගියේය. යුද්ධය මාස කිහිපයක්ම ඇදී ගියේය. ඒ අතර වාරයේ පතිරාජ සෙනෙවි කුමරුන්ට වඩා ආරක්ෂකයා වූයේය. මහ රාත්‍රියේ පවා කුමරු වෙනුවෙන් නිදි වරා සිටින්නට පතිරාජ ට සිදුවිය.සංග්‍රාම බිමේ වු මහ රජුට සංඝරාජ හිමිපාණන්ගේ අවවාදය වරින් වර කල්පනා වූයේය. එය සිහි බුද්ධියෙන් හෝ විවේකයෙන් හෝ කල් ගත කළ හැකි කාලයක් නොවීය.එහෙත් රජතුමන්ගේ වෙනස මහ ඇමැතිට දැනුණි.

'කිමෙක්ද මහ රජතුමනි.හිසේ ඇම්මක්ද?'

මහ ඇමැති ඇසුවේ රජුගේ වෙනස දැනුණ හෙයිනි.

"නැත මහ ඇමැති .සංඝරාජ හිමියන් අනාගත කිරුළ හිමි කුමාරයා ගැන කළ ප්‍රකාශය මා සිත පෙළයි."

සංග්‍රාමය තීරණාත්මක මොහොතක රජු ගේ සිත කම්පා කළ යුතු නැතැයි මහ ඇමැති වහා වටහා ගත්තේය.

'රජතුමනි මේ ගැන සිතන වේලවක් නොවේ.අප සිටිනුයේ සතුරු සේනාවට ආසන්නවයි.සිත කලබල කරගත යුතු මොහොතක් නොවේ.චිත්ත ධෛර්යයෙන් යුතුව සේනාව ඇමතිය යුතුයි රජතුමනි"

මහ ඇමැති කතා කළේ වැඩිහිටියකු ලෙස ය.රජු එබසට අවනත වන්නන්ට තීරණය කළේය. තමාගේ එක් ප්‍රමාදයකින් මේ සියලු ජයග්‍රහණ කණපිට හැරෙන බැව් රජු ට වැටහිණ.පුත් කුමරුගේ ගැටලුව අනාගතයට බාර දෙන්නන්ට රජු තීරණය කළේය.පාන්දරින්ම චතුරාංගනී සේනාව වැව් තාවුල්ලේ රැස් වන්නට පටන් ගත්තේය.රජු ඇත් පංතියේ මහා දළ ඇතා පිට නැංගේය.මහත් ඔල්වරසන් හඬක් නැඟිණ.එක්වර මහ නිහැඩියාවක් පැණ නැඟුනේය.ඒ අතරින් විජයබාවන්ගේ උදාර හඩ ඇසෙන්නට පටන් ගත්තේය

'මාගේ වීර සෙබළුනි.අප රට වනසන මාඝගේ පර සතුරු සේනා දඹදෙණි රාජ්‍යයෙන් හස්ති ශෛල පුරයෙන් මතු නොව අපේ මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයෙන්ම පලවා හරින්නට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නාමයෙන් පසු නොබා ඉදිරියටම ඇදෙව්.සතුරා පලා යන තුරු දිවි පරදුවට තබා සටන් වදිව්."

රජු හඩ නඟා පැවසුවේය. ඒ හඩ තමතමන්ගේ ඇට මිදුලු සම් මස් නහර ඔස්සේ ගලා යන බවක් සෙබළුන්ට දැනිණ. ඔවුන් වෙනදා නැති දිරියකින් නැඟී සිටියහ.වසර විස්සක් මුළුල්ලේ මාඝ ගේ පයට පෑගී සිටි බොහෝදෙනා මියෙම්වා රැකෙම්වා යන න්‍යායෙන් ඉදිරියට ඇදුණහ.කොහේදෝ සිට ආ සුළඟක් තම සියොලඟ වෙළෙනු ඇතැම් සෙබළෙකුට දැනිණ.අතිතයේ දවසක තම මව්බිම වෙනුවෙන් දිවි පිදූ විරුවකු තම සිරුරට පිවිසේ යැයි ඔහුට සිතුණා සේය.ඉඳීන් ඔවුහු නොබියව සටන් වදින්නට තීරණය කළහ.ඈත පුරාණයේ සිට තමන්ගේ මුතුන් මිත්තෝ මෙබඳු සංග්‍රාමයන් පුරුදු ව සිටියහ.එහිදී යුදට වන් ඔවුහු රණ ගී ද ගායනා කළහ. තමන්ට පුරුදු රණ ගීයක් ගයන්නට එක් සෙබළෙකු උගුර පෑදුවේය. එය ඇසුණු සෙස්සෝ එයට එක් වූහ.ගීතයේ හඬ රණ බිම සිසාරා පැතිර ගියේය.

ඉදිරියට ඇදෙන සෙබළුන්ට ගංගාවන් තරණය මහ වෑයමක් නොවීය. සතුරු බල සේනා පමණක් නොව බල කොටු සුණු විසිනු ව ගියේය. ජීවිතය අහිමි වන සතුරන්ගේ කෑගසන හඬ ඔවුන් හැරදා පලායෑමේ සංඛ්‍යාව සමඟ වැඩි විය.සතුරු මළසිරුරු වලින් ගැලුණ රුධිරයෙන් මහ පොළව තෙමී ගියේය.සෙනෙවියකු විජයබා රජු සමීපයට ගියේය.ඔහුගේ සිරුර ද ලෙයින් තෙත්ව ඇත්තේය.

"මහ රජතුමනි.ඔබ වහන්සේ සැබෑ වීරයෙක්.අප ජය ලද්දේ සතුරා පලා ගියේ ඔබ වහන්සේගේ බල පරාක්‍රමය නිසයි."

රජු සෙනෙවියාගේ උරහිස මත අත තැබුවේ සෙනහසිනි.

'නැත.මගේ දයාබර සෙන්පතිය."

රජතුමා සෙන්පතිගේ සිරුරේ වූ රුධිරය රෙදි කඩකින් පිසලෑවේය.

'මෙය මගේ බලපරාක්‍රමය නොවේ.තොපගේ බල පරාක්‍රමයයි.ජයග්‍රහණය කළේ තොපයි.ජයග්‍රහණය කළේ අපගේ මාතෘ භූමියයි.“

මහා ඇමැති ද සිටියේ ලේ වැකුණු සිරුරකිනි.එය දුටු විජයබාවන් මහ ඇමැති සිටි දෙසට ගියේය.එහෙත් එය බරපතළ තුවාල නොවේ.මහ ඇමැති තම වේදනාව අමතක කරමින් රජු ඉදිරියේ දණ නමන්නට සැරසුනේය.රජු එය වළකාලූයේ එය ඔහුට වේදනාකාරී අත්දැකීමක් වනු ඇතැයි සිතුණ හෙයිනි.

'මහ ඇමැති අපගේ ජයග්‍රහණය මාළිගාවට වහා දැනුම් දිය යුතුයි"

රජු ශ්වේත වර්ණ ධජයකට අත දිගු කළේය.

"ශ්වේත වර්ණ ධජයක් ඔසවා ගෙන රාජ පුරුෂයකු මාලිගාවට යවනු"

රජු අණ කළේය.

මේ මොහොතේ එයින් ඈත දඔදෙණි මාලිගයේ වත්හිමි කුමරුගේ තොටිල්ල පදවමින් සිටියේ වසුන්දරාය. වසුන්දරා අග බිසවගේ හිතවත් සේවිකාව වූවාය.කුමරු නිදියන බව දුටු වසුන්දරා එයින් මෑත්වූයේ බිසව ඇය අමතා කථා කළ හෙයිනි.බිසවගේ කනස්සලු ස්වරූපය වසුන්දරාට වැටහිණ.

"කුමාරයා නිදි.

බිසව එය කනකට නොගත් වග වටහා ගත් වසුන්දරා ඇයගේ සිත වෙනතකට යොමු කරන්නට තැත් කළාය.

'කනස්සලු විය යුතු නැත දේවිය.යුද්ධයෙන් රජතුමා ජය ලබන වගට සංඝරාජ හිමියන් අනාවැකියක් කියා තිබෙනවා."

'යුද අනාවැකියට අමතරව සංඝරාජ තවත් බොහෝදේ කියා තිබෙනවා"

බිසව වසුන්දරාට පැවසුවේ කෝපය මුසු ස්වරයෙනි.

'සංඝරාජ නායක හාමුදුරුවෝ?"

වසුන්දරා විතාළාය.බිසව මොහොතක් නිහඬව සිටියාය.බිසවගේ වදන් යළි හාරා අවුස්සන්නට වසුන්දරා තැත් නොකළාය.

'වසුන්දරා පුරෝහිත බමුණාට මෙහි එන්න කියව'

වසුන්දරා නැගී සිටියාය.ඇය එක්වරම බිසව වෙතට නැඹුරු වූවාය.

'මේ සිරි යහන් ගැබට ද දේවිය?'

ඇය ඇසුවේ සැක හැර දැන ගන්නට මෙනි.මේ යහන් ගැබට රජුට හැර වෙනත් කිසිම පිරිමියෙකුට ඇතුළු වන්නට අවසර නැති වග වසුන්දරාට සිහිපත් වූවාය.එය සියතින් ගෙල සිඳ ගන්නවා වැනි වරදකි.බිසව එය නොදන්නවා නොවේ.

'පුරෝහිතට සිරි යහන් ගැබට එන්නට අවසර නැත දේවිය"

වසුන්දරා බිසවට සිහිපත් කරන්නට තැත් කළාය. බිසව කෝපයෙන් වසුන්දරා දෙස බැලුවාය. මේ කමකට නැති කෙල්ලට අවශ්‍ය වැඩක් නොවන වග බිසව සිතුවාය.එබැවින් ඇය උන් තැනින් නැඟිට සේවිකාවට රවා බැලුවාය.

'වසුන්දරා මම අග බිසව.මේක නියෝගයක්"

වසුන්දරා පසුබට වූවාය.එයින් එහා ඇයගේ සීමාව නොවන වග ඇයට වැටහිණ.මාලිගයේ සියලු බලතල ඇත්තේ බිසවටය.වචනයක් වැරදුණහොත් තම හිස සිරුරෙන් වෙන් කරන්නට ඇයට හැකි බව වසුන්දරාට සිහිපත් විය.

ඇය පුරෝහිත සොයා එන්නට පිටත් වූවාය.

ලබන සතියේ මහලු පුරෝහිත අග බිසවගේ සිරි යහන් ගැබට කැඳවූයේ ඇයි?