වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ දුවගේ උපාධියේ ගෞරවය සිනමා රසිකයන්ටයි


 

බන්දු සමරසිංහ සමඟ වේගවත් කතාබහක්

ලාංකේය සිනමා වංශ කතාව තුළ බන්දු සමරසිංහ අපට හමුවන්නේ දැවැන්ත චරිතයක් ලෙසිනි. එදා මෙදාතුර සිනමාවේ සිනහව රැඳී තිබුණේ කොතැනද බන්දු නිරතුරුවම එතැන රැඳී උන්නේය. තම නිසඟ හැකියාවෙන් රටක් කුල්මත් කළ බන්දු රෝදය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවට තම නම ඇතුළත් කළේය.

කොතරම් දුටුවත් එපා නොවන අපේ කතාවේ නායකයා මෑත කාලයේ කතාබහට ලක්වන්නේ පීටර් වන් චිත්‍රපටය අපට තිළිණ කිරීම හේතුවෙනි. මේ කලකට පසු බන්දු සමරසිංහ සමඟ සරසවිය කළ කතා බහකි.

* පීටර් වන්. එතැනින්ම පටන් ගනිමු.

ඒක හොඳයි නේද? පීටර් වන් වැඩ පටන් ගත්තේ 2012 අගෝස්තු 05 වැනිදා. නොවැම්බර් 01 වැනිදා චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කළා. දෙසැම්බර් 18 වැනිදා රැඟූම් පාලක මණ්ඩලයේ අවසරය ලබා ගත්තා. දෙසැම්බර් 20 වැනිදා මාධ්‍ය දර්ශනය පැවැත්වූවා. 2013 මැයි 10 වැනිදා චිත්‍රපටය තිරගත කළා. මේ පින්තූරේ හදන්න ගත වුණේ ඉතාම කෙටි කාලයයි. මොකද පටන්ගත්ත දවසේ ඉඳලම මං කළේ මගේ පින්තූරේ (පික්චර් එක) හදන එක. ඒ කාලේ වෙන මොකුත්ම කළේ නෑ.

* මෙවර ඔබේ චිත්‍රපටය නිකුත්වන්නේ ස්වර්ණ ෆිල්ම්ස් නමින්?

ඔව්. ස්වර්ණා කියන්නේ මගේ බිරිද. මං හොයලා බැලුවා මේක තමයි බිරිඳගේ නමට ලියා පදිංචි කරපු පළමුවැනි චිත්‍රපට සමාගම. නැත්නං ඉතිං ගොඩක් අය දාන්නේ පොඩි පුතාගේ නම, නැත්තං ලොකු පුතාගේ නම, චූටි දූගේ නමනෙ. මං මගේ බිරිඳගේ නම දාලා චිත්‍රපට සමාගමක් හැදුවා. හොඳයි නේද වැඩේ.

* ඔබ චිත්‍රපටය ප්‍රදර්ශනයට තෝරා ගන්නේත් වෙනස්ම මණ්ඩලයක්. ඒකට හේතුව?

හේතුව තමයි මේ මණ්ඩලේ ප්‍රදර්ශනයට පෝලිම නොමැතිවිම. ඒකට හේතුවත් මං මේ දවස්වල හොයමින් ඉන්නවා.

* චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට මණ්ඩලය බලපානවද?

හැම මණ්ඩලයකම හොඳ හෝල් තියෙනවනෙ. පින්තූරයක් දුවන්න ප්‍රචාරණය තමයි වැදගත්. ඒ වගේම ඉතිං පින්තූරේ හොඳ වෙන්නත් ඕනේ. මගේ පින්තූරේ ඉහළම තත්ත්වයක නෑ. හැබැයි පහළම මට්ටමෙත් නෑ. ට්ත්‍රපටය බලන්න සෙනඟත් එනවා. කොයි මණ්ඩලේ දැම්මත් මිනිස්සු චිත්‍රපට බලනවා.

ඇයි ඒ හෝල්වල පුටු නැද්ද?

තියෙනවානෙ. එම්. පී. අයි මණ්ඩලේත් හොඳ හෝල් තියෙනවා.

* දැන් චිත්‍රපටයේ තරම මනින සාධකයක් තමයි බජට් එක. හයි බජට්, ලෝ බජට් වගේ වචන නිතරම ඇහෙනවා.

මගේ චිත්‍රපටය නං හරිම කුඩායි. ඒත් මං භාවිත කළ උපකරණ විශාලයි. මගේ චිත්‍රපට බලන පිරිසත් පොඩි මිනිස්සු. හෝලුත් පොඩියි. තරම යන කෙනෙකුට මනින්න පුළුවන්.

* චිත්‍රපටයක ගුණාත්මක බව රැකෙන්නේ මොන කාරණා මතද?

මෙහෙමයි, චිත්‍රපටය කරනකං වනචරකම් කරන්නේ නැතිනම් චිත්‍රපටය ගුණාත්මකයි කියලා කාට හරි කට ඇරලා කියන්න පුළුවන්.

* මේ චිත්‍රපටයට පුතාව ගත්තේ ඇයි?

එයා ඇත්තටම මේ චිත්‍රපටයේ හිටියේ නෑ. මට ඕනෑ වුණා මේ චිත්‍රපටයට කඩවසම් තරුණයෙක්. කීප දෙනෙක් ආව වැඩේට. එක හාදයෙක් එනව කියලා වෙලාවට ආවෙ නැහැ. නළුවකුට කතා කළා. මේ නළුවා අය කරන්නේ පැය ගාණට. බලන කොට එයා පැය ගාණට ඇවිදින කෙනෙක්. මේ මොඩ්ල් කරන හාදයෝ කණුකාරයොත් එක්ක වැඩ කරන කොට මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. හිතන්නකෝ, පැය ගාණට අය කරන නළුවො අනේ මුළු දවසම වැය කළොත් මං නැති වෙනවා. මේවා කල්පනා කරන කොට මාව වෙව්ලිලා, සීතල වෙලා දාඩිය දාලා උණ ගත්තා.

ගෙදර ගියහම මං අපේ පුතා දිහා බැලුවා. කොල්ල වැඩේට හොඳයි කියලා මං හිතුවා.

‘මේ හෙට උදේ අම්මත් එක්ක ලොකෝෂන් එකට එන්න පොඩි කාරණාවකට’

මං පුතාට කිව්වා. අම්මයි පුතයි ආවා. මං කරන්න කිව්ව රඟපෑම් ටික කරලා ආයේ ගියා. පුතා චිත්‍රපටයට සම්බන්ධ වුණේ එහෙමයි.

දැන් ඉතිං එයාගේ වැඩේ ඉවරයි. එයා දැන් තමන්ගේ පාඩුවේ අධ්‍යාපන කටයුතුවලට යොමුවෙලා ඉන්නවා. දිගටම එයාව සිනමාවේ තියන්න මගේ අදහසක් නැහැ. එයාගේ අදහස මොකක්ද කියලා මං දන්නේ නැහැ. දරුවකුට අයිතියක් තියෙනවා. ඒ නිසා එයා සිනමාවට එන්න, එහි රැඳී ඉන්න කැමැති නම් ඒ සඳහා ඔහුට ස්වාධීන තීරණයක් ගන්නටත් අයිතිය තියෙනවා.

පවුලේ ඔක්කොම එකතු වෙලා දෙයක් කරන කොට ඒක පවුලේ චිත්‍රපටයක් වෙනවා. ඇත්තටම පවුලේ වැඩ සාර්ථකයි. ඒ නිසා දරුවො සිනමාවට එනවට හිත යට අකැමැත්තක් නැහැ. ඒත් මේක වෙලාව නෙමේ. මොකද පරපුරක් තියෙන්නත් ඕනනේ. සමහර කලා පවුල් ඉදිරියට ගියේ නැති හේතුව පරපුරක් නැති එක.

* චිත්‍රපට පිටපත් ප්‍රශ්නයක් තියෙනනවා නේද දැන්?

එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා නේද? ලංකාවේ තියෙන හෝල්වලින් භාගයක් විතරම චිත්‍රපට පෙන්වන්න නුසුදුසු ඒවා. ඒ සුදුසුකම් තියෙන හෝලිවලිනුත් සල්ලි හම්බ කරන්න පුළුවන් කීපයකට විතරයි. අනෙක් හෝල්වල චිත්‍රපටය දාලා ඒකෙන් හම්බ වෙන සල්ලිවලින් ඉතිං කොත්තුවක් කන්න, ඉඳල හිටල පොළොන්නරුවෙ ගිහිං එන්න, කිරි වෙහෙර වැඳල එන්න ඇති. හැමෝටම චිත්‍රපට පෙන්වන්න ලංකාවේ තියෙන්නේ එකම හෝල්නෙ.

ඒක නිසා ප්‍රතිපත්තියක් හදා ගත්ත නම් ඒකට ගරු කළ යුතුමයි. ඒක හොඳ ගුණයක්. දැන් මෙහෙම හිතමු. මට හිතෙනවා පීටර් වන් වලට නියම වැඩක් දෙන්න. මට මාර ජවයක් එනවා එක පාරටම කරන්ට් වැදිලා වැටුණ වගේ. මම මාර මුදලාලි කෙනෙක් ටැකල් කරලා ඒ සල්ලිවලින් මුළු හෝල් හැට එකටම පීටර් වන් දානවා. වැඩේ හරිද . . . හරි නේද එතකොට . . .

මේක කර්මාන්තයක් කියල හැමෝම කියනවනේ. ‘සිනමා කර්මාන්තය’ කියලා ඒකට නමකුත් තියෙනවා. චිත්‍රපට සංස්ථාවකුත් තියෙනවා. මේක කර්මාන්තයක් නම් බෙදෙන්න යන්නේ. මේක තනි අයිතියක් නම් හොඳ ප්‍රභූවරයෙක්, උපාධිධාරී හොඳම හොඳ ප්‍රභූවරයෙක් බලල හෝල් ඔක්කොම ටික එයාට දුන්නම නම් ඉවරයි. එතකොට වැඩේ ඉවරෙටම ඉවරයි.

එහෙම ඉවර වුණාම ඒ කර්මාන්තයෙන් මිදිලා අපිට වෙන කර්මාන්තයකට යන්න පුළුවන්, වඩු කාර්මාන්තය වගේ. මොකද අපේ කර්මාන්තයට අයිතිකාරයොත් ඉන්නවනේ. එතකොට අපි මොරටුවේ විල්ලෝරවත්තෙ ටෙනීලගේ ගෙවල් හරියේ වඩු කර්මාන්තය පටන් ගන්නවා. ලීම ඉරනවා. පුටුම හදනවා. ගස් කපනවා. කුට්ටි කරනවා. හොඳම ලීවලින් තඩි පුටු හදල අර අයිතිකාර ප්‍රභූවරුන්ට දෙන්න පුළුවන්නේ සැපට වාඩිවෙලා උඹල හදන චිත්‍රපට බලාපල්ල කියලා.

* කලකිරිමෙන්ද ඉන්නේ?

හපෝ . . . නෑ. . .

* වර්තමානයේ සිනමාව යන ගමන ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන හිත සතුටින් පිරිලා ඉතිරිලා පිටාර ගලලයි තියෙන්නේ. මොකද මෙහෙම ගියහම නැත්තටම නැති වෙලා යනවනේ. එතකොට අපිට අපේ පාඩුවේ ඉන්න පුළුවන්. දැන්නම් මීටිංවලටම ගිහිං මහන්සි වෙලා ඉන්නේ. මේ යන තත්ත්වයෙන්ම ගියොත් අපි හැමෝටම අර මං කිව්ව වැඩ ටික කරන්න මොරටු ගිය හැකි.

* මේ වන විට සිනමාවට විකට නළුවන් එකතු වුණානේ. නමුත් මේ අලුත් කිසිම කෙනෙක් තමාගේ තැන ස්ථාවරකර ගත්තේ නැහැ. මේකට හේතුව මොකක්ද?

ඒකට උත්තරයක් මං හොයමිනුයි ඉන්නේ. මේකට පාඨමාලා, උපාධි නැහැ. මිනිස්සුන්ව බලෙන් හිනා ගස්සන්නත් බැහැ. මෙහෙම හිතමු. මං මිත්‍රයෙකුට කතාවක් කියනවා ළිඳක ඉන්න ඉබ්බෙක් ගැන. මං හිනා වේවී කිව්වට මගේ මිත්‍රයා ඉන්නේ බයේ. ඒකට හේතුව ඇහුවම එයා කියන්නේ ළිඳ ගැන හිතලා එයාට බය හිතුණා කියලා. ඒත් මං කියන්නේ ඉබ්බ ගැන. ඒ නිසා මිනිස්සුන්ට හිනා වෙන්න වටාපිටාවක් තිබිය යුතුයි.

මේ හැකියාව මනින මිම්මක් නැහැ. දැන් මෙහෙම හිතමු. ෆෙ‍්‍රඩී සිල්වා මහත්තයා චිත්‍රපට කීයක හිටියද? කොච්චර දැක්කත් එපා වුණේ නෑනේ. මිනිස්සු විසිල් ගහ ගහ ෆෙ‍්‍රඩී දිහා බලන් හිටියා. ඒ වගේ දක්ෂයන් බිහි වෙන්නේ සිනමා කර්මාන්තයේ වාසනාවට. දැන් කර්මාන්තය පැවැතුණොත් තමයි අපි රැෙඳන්නේ. ඒ වගේම මේ කර්මාන්තයේ අපි රැෙඳන්නේ වාසනාව නිසයි.

* රඟපෑමක් භාර ගනිද්දී මොනවද බලන්නේ?

චිත්‍රපටයේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා බලනවා. මං ගාණත් කියනවා. වැඩේ කරනවා. හැබැයි කාටවත් මාව සල්ලිවලට ගන්න බැහැ.

* අලුත් පරම්පරාව ගැන සතුටුද?

අසතුටක් නැහැ. අද හැමෝම ලෝන්ච් කරන මානසිකත්වයක් තියෙන්නේ. සින්දු ලෝන්ච් කරනවා. ඉතිං මේ ලෝන්ච් කරන අයට වඩා තවමත් ප්‍රියා සූරියසේන ඉදිරියෙන් ඉන්නවා. වික්ටර් රත්නායක තවමත් එහෙමම ඉන්නවා. අද පරම්පරාව ඉන්නේ වෙනම මනෝ ලෝකවල.

* ජීවිතය ගැනත් කතා කරමු. ජීවිතයේ සුවිශේෂිම මොහොත මොකක්ද?

ජීවිතයේ මට සුවිශේෂම සිදුවීම වුණේ මැයි 10 වැනිදා. එදා මගේ පීටර් වන් චිත්‍රපටය ජනගත වුණා. ඒත් එක්කම එදාම මගේ දුව ඇමරිකාවේ විනෝනා ස්ටේට් විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබුවා. දුව උපාධිය ලබා ගැනීම සහ මගේ චිත්‍රපටය ජනගතවීම එකම දිනයක සිදුවීම සුවිශේෂයි.

මේ දෙකෙන් මා තෝරා ගත්තේ මගේ දුවගේ උත්සවය. චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹන මොහොතේ මං හිටියේ අමෙරිකාවේ. මගේ දුව උපාධිය ලබා ගැනීමේ ගෞරවය සිනමා රසිකයන්ට හිමි විය යුතුයි. ඒ අය චිත්‍රපට බලල හම්බ කරපු සල්ලිවලින් තමයි මං මේ හැම දේම කළේ.

* බන්දු සමරසිංහ මොන වගේ කෙනෙක්ද?

තුන් හිතන්නවත් කැපී පෙනෙන්න ආසාවක් මට නැහැ. මගේ දරු පැටව්, පවුල එක්ක ලස්සනට ජීවත්වෙලා නිදහසේ මැරෙන්න තිබුණොත් ඒ මට හොඳටම ඇති.

* ඉදිරිය ගැන කතා කරමින් තාවකාලිකව නවතිමු?

ඉදිරියේදී තව චිත්‍රපට කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රඟපාන්නත් යොමු වෙනවා.