වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරයේ වේදනා ගැන ලියැවෙන්න හේතුව මගේ පේ‍්‍රමයයි

ආදරයේ වේදනා ගැන ලියැවෙන්න හේතුව මගේ පේ‍්‍රමයයි

ආචාර්ය අජන්තා රණසිංහ සමඟ කතාබහක්

‘රන් කෙන්දෙන්’ සංයුක්ත තැටිය දොරට වඩියි

අද අපේ කතා නායකයා සුවිශේෂී චරිතයක්. ඔහු හඳුන්වා දෙන්න විශේෂ අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැහැ. කලා ක්ෂේත්‍රයේ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයෙත් විශාල මෙහෙවරක් කළ ඔහුගේ සුරතින් එදා මෙදාතුර ලියවුණ සොඳුරු ගීත හෙළ සංගීත ක්ෂේත්‍රයත් සිනමාවත් ගීතවත් කරන්නේ මහත් අභිමානයකින්. ඔහු ආචාර්ය අජන්තා රණසිංහ. ගණනය කරන්නත් නොහැකි තරමට ගීත ලියා ඇති ඔහුගේ ගී එකතුවෙන් තෝරා ගත් ගීත රැගත් සංයුක්ත තැටියක් ‘රන් කෙන්දෙන්’ නමින් පසුගියදා නිකුත් කළා. මේ ඒ සමඟින් රසබර තොරතුරු විමසන්න ‘සරසවිය’ අජන්තා රණසිංහයන් හමු වූ මොහොතයි.

රන් කෙන්දෙන්’ සංයුක්ත තැටිය ගැන කියමින්ම කතාබහ ආරම්භ කරමු?

මවිසින් දශක 4 ක් පුරා රචිත චිත්‍රපට සහ ගුවන් විදුලි ගීත අතර ශ්‍රාවකයින් බෙහෙවින් ප්‍රිය කරන හරවත් ගීත 17 ක් මෙහි ඇතුළත්. පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සනත් නන්දසිරි, කලාසූරි ලතා වල්පොල, විශාරද නන්දා මාලිනී, ආචාර්ය දයාරත්න රණතුංග, අබේවර්ධන බාලසූරිය, ත්‍යාගා එන්. එඩ්වඩ්, රූකාන්ත ගුණතිලක, කරුණාරත්න දිවුල්ගනේ, මහාචාර්ය අමරා රණතුංග, විශාරද ඩබ්ලිව්. ආරියසිංහ, එච්. ආර්. ජෝතිපාල, විශාරද සුජාතා අත්තනායක, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සහ ආචාර්ය වික්ටර් රත්නායක විසින් ගැයූ යුග ගීත සහ තනි ගීත ඒ අතර අඩංගුයි. පණ්ඩිත් අමරදේව, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය දයාරත්න රණතුංග, සරත් දසනායක, ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, තිස්සසිරි පෙරේරා, සෝමදාස ඇල්පිටිගල, සරත් ද අල්විස් සහ ස්ටැන්ලි පීරිස් යන සංගීතවේදීන්ගේ ගී තනු සහ සංගීත සංයෝජන මෙහි අඩංගුයි.

මෙවැනි සංයුක්ත තැටියක් නිකුත් කරන්න විශේෂ වූ හේතුවක් එහෙමත් ඇති නේද?

එහෙම විශේෂිත වූ හේතුවක් නම් නැහැ. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ යෝජනාවකට අනුව තමයි මෙය සංවිධානය කෙරුණේ. එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ තිලකරත්න කුරුවිට බණ්ඩාර, විමල් ප්‍රේමසිරි, කෝකිල අමරසිංහ, රංජිත් වීරක්කොඩි ඇතුළු මේ සඳහා සහාය දුන් සැමට විශේෂයෙන් ස්තුති කරන්න ඕනෑ.

ඔබේ අතින් ලියවුණු ගීත රාශියක් අතුරින් මේ සඳහා ගීත තෝරා ගත් ආකාරයත් සඳහන් කරමු?

‘රන් කෙන්දෙන්’ ගී එකතුවට විවිධ තේමාවලින් යුතු ගී ඇතුළත්. භක්ති ගීතයක්, මවුපිය වන්දනා ගීතයක්, පෙම් ප්‍රාර්ථනා ගීත, ප්‍රේම ගීත, සමාජ විෂමතා ගැන කියවෙන ගීතත් ඇතුළත්. ඒ අතරේ සරසවිය සම්මාන දිනූ ගීත දෙකකුත් තිබෙනවා.

ඔබ අතින් රචනා වූ ගීත එදා වගේ අදටත් එක ලෙස ජනප්‍රියයි. කොහොමද මේ වගේ ලස්සනට අර්ථාන්විතව ගීත රචනා කරන්න හැකියාව ලැබුණේ?

කුඩා කාලයේ පටන්ම කලාවට නැඹුරු වෙන්න මට පොඩි උණක් තිබුණා. ඒ කාලයේ මම සිළුමිණ පත්තරේ කමලා ළමා සමාජයට කවි ලිව්වා. කවි දහයක් විතර යැව්වාම එකක් පළ වෙනවා. ඒ වගේම මම පැරණි සාහිත්‍ය කෘති වගේම නව සාහිත්‍ය කෘති පරිශීලනය කළා. නුගේගොඩ නවාතැනේ සිටි කාලයේදී බණ්ඩාර කේ. විජේතුංග, කරුණාරත්න අමරසිංහ, සුනන්ද මහේන්ද්‍ර, අශෝක කොළඹගේ, දයාරත්න රණතුංග අපි නිතර හමුවෙනවා. අපේ නිල නොලත් සංගමය බොහෝ සාහිත්‍ය කරුණු සාකච්ඡා කරනවා. සුනන්ද තමයි වැඩිපුරම පොත් කියවන්නේ. ඔහු ඒ දැනුම අපි හැමෝම එක්ක බෙදා හදා ගන්නවා. එයින් ලද අත්දැකීම් නිර්මාණකරණයට පෙළඹවීමක් ඇති කළා.

මේ ගීත අතර ඔබේ ජීවිතයේ අත්දැකීම් එහෙමත් ඇති නේද?

හැම ගීතයක්ම මගේ අත්දැකීම් නම් නෙවෙයි. ‘පොකුරු පොකුරු මල් ගෝමර ඔමරි ලතාවයි’ ගීතය ආදරය පිළිබඳ හැඟිම් හිතට දැනුන තරුණියක විසින් කියන ගීතයක්. මගේ නම අජන්තා වුණාට මම කාන්තාවක් නොවෙයිනේ. එය පරිකල්පනය ඇසුරින් ලියවුණ ගීතයක්. ඒ වගේමයි මම ගමේ මනුස්සයෙක්. මම ඉපදුණේ තලම්මැහැර කියන සුන්දර ගමේ. මම හැදුණේ කුඹුරු, ඇළ දොළ තියෙන සුන්දර පරිසරයක.

‘රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ’ ‘නිල්වන ලන්දේ’, ‘බොල් වී අහුරු’ වැනි ගීත රචනා වුණේ ගමේදීී විඳින්න ලැබුණු ඒ අත්දැකිම් නිසායි. ආදරයේ වේදනා ගැන නම් ලියවෙන්න හේතුව වුණේ මගේ ප්‍රේමයයි. අවුරුදු 18 දී ඇති වූ ඒ ප්‍රේමයේ විරහ වේදනාවේ ප්‍රතිඵලයක් ලෙස මා අතින් බොහෝ ගීත ලියවුණා. ‘මේ මැයි ගහ යට’, ‘දුරස්වන්නට මේ ලෙසින්’ වැනි ගීත ගොඩක් මා අතින් රචනා වෙන්න හේතුව වුණේ ඒ ප්‍රේමයයි.

දශක ගණනාවක් පුරා විවිධ යුගයන්හිදී ඔබ ගායක ගායිකාවන් රැසකට ගීත රචනා කළා. ඒ මතකයත් සිහිපත් කරමු?

පණ්ඩිත් අමරදේවයන්ගේ සිට ලංකාවේ ගායක ගායිකාවන් රැසක් මවිසින් රචිත ගීත ගායනා කළා. දවසක් එච්. ආර්. ජෝතිපාල මට හමුවෙලා කිව්වා ‘අජන්තා මම දැන් තාත්තා කෙනෙක්. මගේ දුවට නැළවිලි ගීයක් ලියලා දෙන්න. ඒක ලෝකයේ කිසිම කෙනෙක් නොලියු විදියේ එකක් වෙන්නත් ඕනෑ’ කියලා. ‘මට වාසනාවන් – මගේ ජීවිතේවන් පොඩි දූ කුමාරි’ ගීතය ලියවුණේ ඒ වෙනුවෙන්. එය මට විශාල සතුටක්.

වර්තමානයේදී පැරැණි ගීත නව තාලයෙන් ගායනා කිරීම සුලභ දෙයක්. ගීත රචකයකු ලෙස මේ පිළිබඳ ඔබේ අදහස?

අද බිහිවෙන බොහෝ ගායක ගායිකාවන් කියන්නේ පැරැණි ගීත. ඒ වගේමයි පැරැණි ගීත නව තාලයෙන් ඉදිරිපත් කිරීම අද සිදු වෙනවා. මම නම් එය පිළිගන්නේ නැහැ. එයින් බලාපොරොත්තු වන වින්දනය ලැබෙනවා කියා මම නම් හිතන්නේ නැහැ. පැරැණී ගීත නව තාලයෙන් නිර්මාණය කිරීම නොව අලුත්ම නිර්මාණ බිහි කිරීමයි සිදු කළ යුත්තේ. එදා එළිමහන් ප්‍රසංගවල ගීත ගායනා කළේ එච්. ආර්. ජෝතිපාල, අල්හාජ් මොහිදින් බෙග්, ලතා වල්පොල, සුජාතා අත්තනායක වැනි ගායක ගායිකාවන්. නමුත් අද තියෙන්නේ කණ්ඩායම් පමණයි.

පවුලේ විස්තරත් කියමු?

මම විවාහ වුණේ සරෝජිනි වීරතුංග සමඟින්. ඇය මගේ දෙවන ප්‍රේමයයි. සරෝජිනි කෝකිල දේවි වීරතුංග මහත්මියගේ බාල දියණියයි. අතීතයේදී මම විඳපු සියලුම දුක්වලට වන්දි ලෙස තමයි සරෝජිනි මට ලැබුණේ. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. සාරංගා දුව. පුතා දේවලෝචන. මිනිබිරියන් දෙන්නෙක් ඉන්නවා. චාතුර්යාට වයස අවුරුදු එකොළහයි. දෙවැනියා මාධුර්යා. ඇයට මාස පහයි.

වර්තමානයේදී ක්ෂේත්‍රයට එකතු වෙන නවකයන්ට ඔබ දෙන අවවාදය?

නිර්මාණ කළ යුත්තේ සංඛ්‍යාත්මකව නෙවෙයි. ඕනෑම නිර්මාණයක වඩා වැදගත් වෙන්නේ ගුණාත්මක බවයි. එය ගීත රචනාවකට පමණක් අදාළ වෙන්නේ නැහැ. අපි මේ තත්ත්වය දක්වා පැමිණියේ උත්සාහයෙන්. ඒ නිසා නව පරපුරට මම විශේෂයෙන් කියන්න කැමැතියි උත්සාහවන්තව කටයුතු කරන්න. එවිට කවදාවත් වරදින්නේ නැහැ.

ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් කෙටි සටහනක් තබමු?

1964 වසරේදී නිකුත් කළ ‘තිවංක රේඛා’ කෘතියේ දෙවැනි මුද්‍රණය මේ දිනවල සකස් කෙරෙනවා. නුදුරේදී එය එළි දක්වන්න කටයුතු යොදලා තියෙන්නේ.