වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මංගල ගමනට යන්න අවසරයි!

මංගල ගමනට යන්න අවසරයි!

දියණියගේ මංගල දිනයේ ගිරිරාජ්ගේ හිතේ උපන් සිතිවිලි අහුර

පුංචි දවස්වල නින්දට යද්දී

පීතු පාදං නමාමහං කියලා

වැන්ද දෙපා යළි අදත් වඳින්නම්

මංගල ගමනට යන්න අවසරයි

පියාණෙනි . . .

ලොකු දෝණියේ,

සුජාතා අත්තනායක ගායන ශිල්පිනිය ගයන මේ ගීිතයේ ස්වරය එදා මගේ හදවතෙහි ඇති කළ හැ¼ගුම්බර බව නුඹ දන්නේ නම්, නුඹට කිව හැකි නම් කොතරම් අගනේ දැයි වරෙක මට සිතේ. ඒ ස්වරයෙන් ඇසෙන ගී පද සේ, තවත් හෝරා කිහිපයකින් පසුව මගෙ දෙපා නමඳිමින් සමුගන්නට අවසර පැතූ අයුරු මගේ සිත්හි මැවේ. ඒ සිහි වනවිටම මගේ නෙතඟට උනන කඳුළු වැල් මම නුඹට නොපෙනෙන්නට සඟවා ගතිමි. මන්ද ඒ, මේ මොහොතෙහිම නුඹගේ දෙනෙත ද කඳුළු සලන්නට අවසර පතනා බැවිනි.

කල්පන පුතුගේ සුරතෙහි වෙලී සිටින නුඹ සොඳුරු මනමාලියකි. සොඳුරු රුව ඇත්තියකි. මෙතරම් සොඳුරු දියණියක් සිටින්නේ යැයි ද යම් ආඩම්බරකාරී හැඟීමක් මා සිත පෙළයි. ඒ සොඳුරු බවින් මන්මත් වන මගේ සිත, මා රැගෙන යන්නේ පුංචි ළදැරියකගේ ඒ අතීතය වෙතයි.

මමත් නුඹගේ මෑණියන්දෑත් හමු වූ ඒ සොඳුරු පරිසරය අද මෙන් මගේ සිතට රැගෙන එන්නේ චමත්කාරයකි. අප දෙදෙනා මුණ ගැසුණු මහවැලි සී කලාපය ජීවිතයේ සොඳුරු බව තීව්‍ර කරන්නට සමත් වේ යැයි කෙසේ නම් සිතන්නද? මමත් නුඹගේ මෑණියන්දෑත් අතිනත ගෙන ගෙවූ දුෂ්කර ජීවිතය සොඳුරු තෝතැන්නක් බවට පත්වූයේ නුඹ නිසාමය. කාවින්ද්‍යා නිලුපුලී දෝණියේ නුඹ නිසාමය. නුඹගේ සපැමිණීම නිසාමය. පැමිණි දුක් පැණි රස බව පසක් කරමින් අපගේ කැදැල්ලට මිණි පහන වූයේ නුඹමය.

ඒ මිණි පහන අද නව කැදැල්ලක් එළිය කරනට ඉගිල ගිය බව මම දනිමි. ඒ සොඳුරු දින මෙතරම් ඉක්මනට පිවිසේ යැයි මා කෙසේ නම් සිතන්නද? කල්පන පුතු පිළිබඳ අදහස මා ඉදිරියේ නුඹ පැවසූ අයුරු අද මෙන් මට මතකය. දියණියක ඇති දැඩි කළ ද යම් දිනෙක ඈ සමුගන්නා බව, නුඹ මට පසක් කළේ පළමුව එදින ය. දැන් එදින එළැඹ ගොසිණි. රූ සිරියෙන් මත්ව, ඇහිපිල්ලමක් නොගසා නුඹ දෙස නෙත් දල්වා සිටි නුඹගේ මෑණියන්ගේ මුවඟ ඇඳී මද සිනහව මගේ නෙත ගැටෙයි. ඒ තරමටම ඈ බොහෝ සතුටින් සිටියේ නුඹ උපත ලද දාය.

කිංස්බරි හොටල් පරිශ්‍රයේ ඒ සොඳුරු මතකයට උල්පත වූ නෑදෑ හිත මිතුරු සියල්ලන්ටම මම තුති පුදමි. සොඳුරු මනමාලියක ලෙස ලොකු දෝණි දොරට වැඩුමට, චම්පි සිරිවර්ධන, සම්පත්, ප්‍රදීප්, හසිත, ඉරුණි නුඹලා කළ උපකාර බොහොමයි. එදිනට අප සමඟ දුක හා සතුට බෙදා ගන්නට සපැමිණි නුඹලා සැමට මම ආදර තුති පුදමි.

දයාබර ලොකු දෝණියේ, අපගේ හදවතට මිණි පහන වූ නුඹ කල්පන පුතුගේ නිවෙසට ද මිණිපහනක් වනු නොඅනුමානය. අප නිවෙසෙහි වූ සොඳුරු බව ඒ නිවෙසට ද හිමි වග මම දනිමි.

ජීවිතය පුරාවට අමතක නොවන සොඳුරු මතකයක් හදවත ඉතුරු කළ ලොකු දෝණියේ නුඹව මම සිප ගනිමි. හදවතින් සිප ගනිමි.

දයාබර තාත්තා
ගිරිරාජ් කෞෂල්‍ය